ශනෙල් මට අභියෝගයක්- ගයාන් විතාන

Wednesday, February 24, 2021 , 0 Comments






ඔහු ‘ශනෙල්.’ ජීවිතය පටන්ගත්තේ ව්‍යාපාරිකයකු ලෙසටයි. ඔහුගේ ජීවිතයට එන අභියෝග ජය ගනිමින් කෝටිපතියෙක් බවට පත්වෙනවා. ඒත් එය බලන් ඉන්න බැරි ගොඩදෙනෙක්ට ඇස්වලට වැලිගසන්නාක් මෙන් වේදනාවක් දැනෙනවා. ඉන්පසු ශනෙල්ගේ ජීවිතයට අත්වන ඉරණම කොයිවගේද කියා දැනගැනීමට ‘SNAP’ ටෙලිනාට්‍ය නරඹන්නට වෙනවා. විවිධ චරිත නිරූපණය කළ ‘ශනෙල්’ගේ චරිතයට ජීවය දෙන ඔහු දර්ශන ගයාන් විතාන. ඒ වගේම ඔහු ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක් නිෑපණය කරන පළමු අවස්ථාවද මෙය වන අතර, ඔහුගේ ඉදිරි කලා දිවිය ගැන පුවත්පතකට මෙලෙස විස්තර කියා තිබුනා.


ඔබ පළමු වතාවට තමයි ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක් ලෙසට ‘ශනෙල්’ගේ චරිතය රඟපාන්නේ. එය ගැන අපි මුලින් මොකද හිතෙන්නේ?


ඔව්…  මම ටෙලිනාට්‍ය කිහිපයකම චරිත නිරූපණය කළා. ‘SNAP’ ටෙලිනාට්‍ය මේ දවස්වල ස්වර්ණවාහිනියේ විකාශය වෙනවා. මම පළමු වතාවට තමයි ප්‍රධාන චරිතයක් රඟපාන්නේ. ‘ශනෙල්’ගේ චරිතයට මාව සුදුසුමයි කියලා ‘SNAP’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ පසිඳු පෙරේරා මාව තෝරාගත්ත එකට ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා. 


ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීම හිතන තරම් පහසු දෙයක් නෙවෙයි නේද?

මට කැමරාව කියන දෙය නුහුරු දෙයක් නෙවේ. මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා අවුරුදු 17ක් විතර වෙනවා. ඒ සියලුම අත්දැකීම් මට ශක්තියක් වුණා මේ චරිතය ගොඩනඟා ගැනීමට. හැබැයි ශනෙල්ගේ චරිතය මට අභියෝගයක් වුණා. මොකද කාල තුනක චරිත නිරූපණය කිරීමට තිබෙන නිසා.


 ‘ශනෙල්’ චරිතය හරියටම ප්‍රේක්‍ෂකයන්ට තවමත් තේරුම් ගැනීමට අපහසු බවක් දැනෙනවා. එය ගැන යමක් කිව්වොත්?

‘ශනෙල්’ ජීවිතයේ පොඩිම තැනක ඉඳල නැඟිටපු කෙනෙක්. ඔහු අවසානයේ ව්‍යාපාරයකින් ඉහළම තැනට එනවා. ඉන්පසුව ‘ශනෙල්’ගේ ජීවිතයට විවිධ බාධක එනවා. ඒ හැලහැප්පීම් එක්ක මුහුණ දෙන චරිතයක් තමයි ‘ශනෙල්’. අපේ රටේත් ඕනෑතරම් එවැනි චරිත ඇති කියලා මම විශ්වාස කරනවා. ‘SNAP’ ටෙලිනාට්‍ය තවම පටන් අරගෙන වැඩි කාලයක් නැහැ. ඒ නිසා එය ප්‍රේක්‍ෂකයන්ට තේරුම් ගැනීමට අපහසු ඇති.


SNAP ටෙලිනාට්‍ය තරුණ කණ්ඩායමක උත්සාහයක් නේද?

එය ගැන කිවයුතුමයි. මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා තරුණ දක්‍ෂතාවයන් පෙන්වන්න කිසිම අවස්ථාවක් අපට තිබුණේ නැහැ. අපි කණ්ඩායමක් ලෙසට සාකච්ඡා කරලා මෙහෙම දෙයක් කරමු කියලා එකතුවෙලා අපේ තරුණ කොල්ලෝ සෙට් එක මුල්කොටස් හතකට විතර සල්ලි දාලා තමයි මෙම ටෙලිනාට්‍ය නිර්මාණය කළේ. රූපවාහිනී නාළිකා කිහිපයකට අපි මෙය බාර දුන්නා. ඒත් ප්‍රතික්‍ෂේප කළා. අවසානයේ ස්වර්ණවාහිනිය ‘SNAP’ නිර්මාණය බාර ගත්තා. ඉන්පස්සේ ස්වර්ණවාහිනිය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මඟපෙන්වීම යටතේ තමයි අපිට ‘SNAP’ ටෙලිනාට්‍යයේ ඉදිරි කටයුතු කරගෙන යෑම සඳහා රංගන ශිල්පිනී අමිෂා කාවින්දි අපට සම්බන්ධ කරලා දුන්නේ. 87%ක අලුත් පිරිසක් මූලිකවෙලා ඉන්නේ මේ නිර්මාණයේ පිටුපස.


ඔබට ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමට නොහැකි වුණේ චරිතවලට කොටුවීමක් වුණු නිසා නේද?

‘අත්තම්මා’ ටෙලිනාට්‍යයේ මැරයෙක්ගේ චරතියක් මම කළා. එතැන පසු මම ටෙලිනාට්‍යවල මැර චරිතවලට කොටු වුණා. ඔය කොටුවීම මේ ක්‍ෂේත්‍රයේ දක්‍ෂ පිරිසකට සිදුවන දෙයක්. එය අසාධාරණයි. ඔවුන් හිතන්නේ දැකපු පළමු චරිතයෙන්ම ඔවුන්ට කරන්න පුළුවන් ඒ වගේ චරිත විතරයි කියලා. ඉතින් ඒ දේම මටත් වුණා. ඉතින් දක්‍ෂතා තියෙන ගොඩදෙනෙක් කොටුවෙලා. ‘ශනෙල්’ගේ ඒ චරිතය ඒ හැම දෙයටම පිළිතුරු දෙයි.


ප්‍රවීණ රංගන ශිල්පිනී දූලිකා මාරපනගේ නිර්මාණවලට ඔබ ලොකු සහායක් දෙන බව අපි දකිනවා?

ඇයව මට මුලින්ම හමුවන්නේ ‘අත්තම්මා’ ටෙලිනාට්‍ය තුළින්. ඒ දැනහැඳුනුම්කමත් එක්ක අපි අතර සහෝදර බැඳීමක් ගොඩනැඟුණා. ඇයගේ ගම්පළාතත් කෑගල්ලේ, මමත් කෑගල්ලේ. ඇයගේ නිර්මාණ කිහිපයකටම මම සම්බන්ධවෙලා මට කළ හැකි උපරිම සහාය ලබා දුන්නා


ඔබව රූපවාහිනියේ ඇගැයීමට ලක්වීමට පෙර වේදිකාවේ ඇගැයීමට ලක්වුණා නේද?

ටෙලිනාට්‍ය සම්මාන ගන්න තරම් මම එහෙම චරිත නිරූපණය කරලා තිබුණේ නැහැනේ. 2010 රාජ්‍ය නාට්‍ය උළෙලේ බොක්ස් වේදිකා නාට්‍යයට හොඳම වේදිකා පරිපාලන ලෙසටත්, 2013 රාජ්‍ය නාට්‍ය උළෙලේ ‘ජූලියස් සීසර්’ වේදිකා නාට්‍යයේ හොඳම වේදිකා පරිපාලන ලෙසට මට සම්මාන ලැබුණා. ඉතින් මට එක දිගටම වේදිකා නාට්‍යවල වේදිකා පරිපාලනයට ආරාධනා ලැබුණා. ඒ අතර සුළු චරිත නිරූපණය කළා.


ගයාන් ඔබ මේ ක්‍ෂේත්‍රයේ හැම අංශයකින්ම ඔබේ හැකියාවන් ප්‍රගුණ කළ ශිල්පියෙක්. මීළඟ ඔබේ ප්‍රයත්නය කොයිවගේද?

මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ හැම පැත්තකින්ම ඉගෙන ගත්තා. ඒ වගේම වැඩ කළා. මොකද මගේ එකම අරමුණ අධ්‍යක්‍ෂවරයෙක් වීමයි. ඉතින් දැනීමක් නැතුව නිර්මාණයක් කරලා වැඩක් නැහැනේ. මට ඕනෑ ජාත්‍යන්තරයත් එක්ක තරග කරන්නයි. හැම පැත්තකින්ම මම ඉගෙන ගත්තාම මගේ ඒ වැඩවලට පහසුයි එතකොට. මේ වසරේ මම නිර්මාණයක් කරනවා.


වසන්ත විතාරණගේ