මගේ ජිවිතේ මම ගත්ත හොඳම තීරණේ තමයි රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට යොමු වීම - අභිෂේකා විමලවීර

Thursday, February 11, 2021 , 0 Comments




කුඩා කල සිටම විවිධ වූ කලා හැකියාවන්ගෙන් පරිපූර්ණ වූ ඇය අද වන විට අප රට තුළ සිටින දක්ෂ ජනප්‍රිය තරුණ ගායිකාවක් වශයෙන් නමක් දිනාගෙන සිටිනවා. ඇය අභිෂේකා විමලවීරයි. ඊයේ දිනයේදී මතක නම් වූ ඇයගේ නවතම ගීතය එළිදැක්වුවා. ඒ පිළිබඳව සහ ඇයගේ ව්‍යාපාරික කටයුතුවල නවතම තොරතුරු  ගැන ඇය පුවත්පතකට මෙලෙස පවසා තිබුනා.


කොහොමද ඉතින් ?

මේ දවස්වල හිතට අමාරු කාලයක්. හස්බන්ඩ්ගේ අම්මටයි තාත්තටයි අසනීපයි. ඒ නිසා බොහොම අපහසුවෙන් ගෙවෙන කාලයක්. ඒ දේවල් එක්ක සුපුරුදු වැඩ ටික කරගෙන යනවා.


ඒ අතර සතුටු හිතෙන කාරණාවකුත් තිබෙනවා නේද?

මගේ පළමුවැනි නවකතාව තමයි කර්මජ. එය මේ අවුරද්දී ගොඩගේ සාහිත්‍ය තරගයෙන් හොඳම නවකතා 05 අතරට තේරුණා. ඒ ගැන හුඟාක් සතුටුයි.


අලුත් වැඩේට කොහාමද ප්‍රතිචාර?


මා අතින් ලියවූ මගේ නවතම ගීතය තමයි මතක. එය කරුණාරත්න දිවුල්ගනේ මහතා සමග යුග ගීතයක් විධියට තමයි නිර්මාණය වුණේ. එහි විඩියෝ එක සඳහා හේමාල් රණසිංහ සහ මනෝජා ෆනෑන්ඩෝ තමයි  ඉන්නේ. එකේ මාත් කුඩා කොටසකට රංගනයෙන් දායක වෙනවා.


එවැනි ආදර ගීතයක් කරන්න විශේෂ හේතුවක් තිබෙනවාද?

ඔව්. නේත්‍රා, චන්ද්‍රමණ්ඩලය කියන ගීත දෙකම අම්මා සහ තාත්තා ගැන කියැවෙන ගීතනේ. එනිසා ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් තිබුණා ආදරය ගැන ගීතයක් කියන්න කියලා. මේකෙ ඉතින් ආදරය ගැනම කියැවෙන ගීතයක්. අමුතු වැඩක්. ඒ නිසා අනිවාර්යයෙන්ම මට හිතෙනවා මේ ගීතයට ප්‍රේක්ෂකයෝ ආදරය කරයි කියලා.


තවත් අලුත් වැඩක් කළා නේද?

ඔව්. මගේ ගීතයේ නමින්ම මතක් කියලා මගේ පොත එළියට ආවා. ආදරය ගැන ජීවිතය ගැන, එක එක කාලවලදී මට හිතුණු අදහස් තමයි ඒ තුළ ලියවී තිබෙන්නේ .


එයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඒකටත් හුඟාක් ප්‍රතිචාර ලැබුණා. පොත එන්නත් කලින් හුඟාක් විකුණුනා. ගොඩාක් කට්ටිය පොත ජීර ඕඩර් කළා. තාම පොත පොත්කඩවලට දාගන්නවත් ලැබුණේ නැහැ. මොකද ප්‍රින්ට් කරන සියල්ලම පොත් විකිණි අවසන් වෙනවා. මතක මැරුම් කියලා මම ගායනා කරන ගීතයත් ඒ පොත තුළ තියෙනවා.


ඔබ සතු කලා කුසලතාව උපතින් සහ පවුල් පසුබිම මත ලැබුණු දෙයක් කියා ඔබ සිතනවාද?

අනිවාර්යයෙන්ම. ගීත ගායනය කියන දේ උපතින් තාත්තාගෙන් අම්මාගෙන් පෙර ආත්මයේ කරපු පින්වලින් මට ලැබුණු දෙයක් කියලා මම හිතනවා.


කලාව තුළ ඔබ අද සිටින තැන ගැන තෘප්තිමත්ද?

ඔව්. සියයට සියක්ම තෘප්තිමත්. සාමාන්‍යයෙන් මම හුඟක් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. හැබැයි සමහර කාලවලදී මම නිහඩව සිටියා. ඒ ඇරෙන්න මම කරපු නිර්මාණ තුළ මම සියයට සියයක්ම තෘප්තිමත්.


ඔබ වෘත්තීයමය ගායන ශිල්පිනියක්ද?

මෙහෙමයි. මම රැකියාවක් විදියට ගායනයෙන් විතරක් ජීවත් වෙන්න තරම් හම්බ කරන්නේ නැහැ. ඒ නිසා වෘත්තියක් වශයෙන් කරන්නේ රූපලාවණ්‍ය තමයි. නමුත් ගායනය වෘත්තියක් වශයෙන් ගත්තොත් මම ඒ සඳහාත් උපරිම සාධාරණයක් කරලා තිබෙනවා. නමුත් ඉතින් ගායනය කියන්නේත් ඉතා හොඳ වෘත්තියක්.


රූපලාවණ්‍ය වැනි ක්ෂේත්‍රයකට යොමු වීම හොඳ තීරණයක් කියලා ඔබ සිතනවාද?

ඔව්. මගේ ජීවිතයේදී මම ගත්ත හොඳම තීරණය ඒක කියලා මම හිතනවා. පැය 8 රැකියාවකට ගියොත් තවත් කෙනෙක් යටතේ වැඩ කරන්න වෙනවා. මම දැන් මවක්, බිරියක් නිසා මට අවශ්‍ය නිදහස තියෙනවා. මේ වනතුරු මගේ ආර්ථික මට්ටමත් ස්ථාවරයි. ඒ වගේම මම දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක් වශයෙන් වැඩ කරනවා. එනිසා මම උගත් දෙයින් මෙන්ම අම්මාගෙන් ලද දෙයිනුත් මම රටට සේවයක් කරනවා.


ගායන ක්ෂේත්‍රයට අලුතින් එන නවක පිරිස ගැන ඔබට මොනවද කියන්න තිබෙන්නේ?

ඒ තුළත් දක්ෂයෝ ඉන්නවා. නමුත් මේ ක්ෂේත්‍රය තුළ රැඳී සිටීම තේල්සි නැහැ. එමෙන්ම බොහෝ අය තමන් කරන වෘත්තිය පිළිබඳව එතරම් සැලකිලිමත් වෙන්නේ නැහැ. ඕනෑම කාර්යයකදී පෙර සූදානම, එයට ලබා දෙන කාලය, එහි ගුණාත්මක බව පිළිබඳවත් සිතිය යුතුයි.  


ක්ෂේත්‍රයට අලුතින් එන  බොහෝ පිරිසට ස්ථාවරත්වයක් සහ පැවැත්මක් නැති වීමට හේතුව වශයෙන් ඔබ දකින්නේ කුමක්ද?


අපේ ජීවිතය ලැබෙන සියලුම අවස්ථාවන් ගන්න ඕනි කියලා මම හිතන්නේ නැහැ. ඕනෑම කෙනෙක්ට තෝරා ගැනීමක් තිබිය යුතුයි. හොඳම දේ විතරක් තෝරාගෙන කරනවා නම් පැවැත්මක් තියනවා.


ගීතයකට video එකක් අත්‍යවශ්‍යයි කියා ඔබ සිතනවාද?

ඉස්සර නම් ගීතයක් ගායනය, පද රචනය සංගීත කියන ප්‍රධාන කොටස් 3 විතරයිනෙ තිබුණේ. දැන් තාක්ෂණික දියුණුවත් සමඟ දෘශ්‍ය මාධ්‍යත් ගීතයට එකතු වෙලා. වර්තමානයේදී ගීතයක් අහන මෙන්ම බලන පිරිසකුත් ඉන්නවා. නමුත් විඩියෝ එක විතරක් ලස්සන වෙලා මදි. කිලින් කිව්ව මූලික කාරණා සියල්ලක්මත් සම්පුර්ණ විය යුතුයි.


අද සිටින නව පරපුර පැරණි ගීත තුළින් නව නිර්මාණ කිරීමට පෙලැඹී සිටිනවා. ඔබට ඒ ගැන මොනවාද කියන්න තිබෙන්නේ?

පෞද්ගලිකව මම නම් මගේ ගිත නව පරපුරේ අය ගයනා කරනවාට හරිම කැමතියි. හැගිලා තියෙන ගීත නැවත ප්‍රේක්ෂකයන් අතරට ගෙන ඒමකුත් ඒ තුළින් සිදු වෙනවා. නවකයෙක් මගේ ගීතයක් තෝරාගැනීම ගැන මට ඇති වෙන්නේ සතුටක්. එය මට ලොකු වටිනාකමක්.


නමුත් මෙවැනි නව නිර්මාණයන් තුළින් මුල් ගීතයට යම් හානියක් වෙන්නේ නැද්ද?

මෙහෙමයි. ඒ වෙනකොට Original එක ප්‍රේක්ෂකයන් අහලා ඉවරයිනේ. ඒ නිසා ප්‍රේක්ෂකයන් තීරණය කරයි එය හොඳද නැද්ද කියලා.


නමුත් බොහෝ අවස්ථාවලදී නීතිමය ගැටලු ඇති වූ අවස්ථාත් අපි දැක තිබෙනවා.?

ඔව්. එහිදී මුල් ගායකයාට තම අයිතිය පිළිබඳව ගැටලු ඇති විය හැකියි. විශේෂයෙන්ම මෙහිදී මේ දේ මතක් කළ යුතුමයි. එනම් යම් නවකයෙක් ප්‍රවීණයන්ගේ එවැනි වටිනා ගීතවලින් නව නිර්මාණයක් කරනවා නම් අදාළ පාර්ශ්වයන්ගේ අනුදැනුම මත කටයුතු කරන්න ඕනි සහ ගීත ගායනා කරන අවස්ථාවේදී මුල්පාර්ශ්වයන් දැනුවත් කළ යුතුයි. එවිට ගැටලු ඇති වන්නේ නැහැ.


පවුලේ විස්තර ටිකක් මතක් කරමු?

තාත්තා ප්‍රවීණ ගීත රචක සුනිල් විමලවීර. ඔහු දැන් ජීවතුන් අතර නැහැ. අමා දමයන්ති විමලවීර. පවුලේ ඉන්නේ මම විතරයි. මගේ හස්බන්ඩ් නිරාන් අලහකෝන්. විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරුවෙක් විධියට වැඩ කරනවා. දුව ෆෙයරි අහිලාස්‍ය අලහකෝන්. එයාට දැන් අවුරුදු 7යි. ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ දෙක ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.


ඉදිරි වැඩකටයුතු මොනවාද ?

ඉදිරියේදී අලුත් නිර්මාණ කිහිපයක්ම එන්න තිබෙනවා.