ඒ රටේ තනිවෙලා උන්නු විසිවැනි දවසේ තමයි මගේ මේ අලුත් ගීතය ලිව්වේ - නදීමාල් පෙරේරා

Tuesday, February 02, 2021 , 0 Comments



නදීමාල් පෙරේරා කලා පවුලකින් ආවත්, තමන්ගෙම අනන්‍යයක් එක්ක කලාවේ ගමනක් යන ගායන ශිල්පියෙක්. ජීවිතයේ නොහිතූ දවස් පසු කරමින්, විවේචන මැදින් නැවතත් නැගී හිටපු නදීමාල් තමන්ට ආදරය කරන රසික පිරිස වෙනුවෙන් අලුත් වැඩකින් එළියට ඇවිත්. ඉතිං ඒ ගැන ඔහු පුවත්පතකට මෙලෙස විස්තර කියා තිබුනා.


කාලෙකට පස්සේ ‘ආදරියේ’ එක්ක කලඑළි බැහැලා. කවුද ඇත්තටම නදීමාල්ගේ ආදරී?


ආදරියේ කියන්නෙ මගේ අලුත් ගීතය. ඒ ගීතය රසිකයන් අතරට ගෙනාවා. ඒක විශේෂ කෙනෙක් වෙනුවෙන් කළ ගීතයක් නෙවෙයි. මේ ගීතය ලියන්නේ තනුව නිර්මාණය කරන්නේ එක ගායනය කරන්නේ මම. ඒ නිසා මේ ගීතය මට විශේෂයි. ඇත්තටම මේ ගීතය කාගෙවත් නමක් හිතේ තියාගෙන ලිව්ව ගීතයක් නෙවෙයි.


නදීමාල් හාහාපුරා කියලා ගීපද රචකයෙක් වෙන්නේ මේ ගීතයෙන්?


ඔව්. මම මීට කලින් ගීත ලියලා නැහැ. මේ මම ලිව්ව පළවැනි ගීතය. හැමෝම දන්නවා මීට අවුරුදු දෙකකට කලින් මට යම් සිද්ධියකට මුහුණ දෙන්න වුණා විදේශ රටකදි. මම ඒ සිදුවීමට මුහුණ දීලා ඒ රටේ තනිවෙලා වගේ ඉන්නකොට තමයි නිකන් ඉඳලා තේරුමක් නෑ, හැම චෝදනාවකින්ම නිදහස් වෙලා මගේ රටට ගිය දවසක කරන්න කියලා ගීතයක් ලියන්න පටන් ගත්තේ. මම දවස් 49 ක් එහෙ හිටියා. විසි වැනි දවසෙදි මම පොතකුයි පෑනකුයි අරගෙන එදිනෙදා වෙන දේවල්, හිතෙන දේවල් ලියන්න ගත්තා. ඒ අතරේ තමයි මේ ගීතයත් ලියැවෙන්නේ. මම ලිව්ව පොත තාම මං ළඟ තියෙනවා. මට සෑහෙන ආදරය අවශ්‍ය වුණ මොහොතක ලියපු ගීතයක්. ආදරය කරන්න කෙනෙක් ඉන්නවා කියලා හිතින් මවාගෙන ඒ කෙනාට මාව දාලා යන්න එපා කියලා මේ ගීතයෙන් ලිව්වේ.



පළවැනි ගීත රචනය නිසා මේ ගීතය නදීමාල්ට ගැළපෙයිද කියලා කාගෙන් හරි අහලා බලන්නත් ඇති නේද?


මම සාමාන්‍යයෙන් මේ වගේ වැඩවලට ලැජ්ජයි. පළවැනි ගීත රචනය කියලා ෆේල් වෙන්නත් බෑනේ. ගීතය ලියද්දි මෙය තමයි මම ඊළඟට රසිකයන් අතරට ගේන්නෙ කියලා හිතාගෙන හිටියා. ප්‍රශ්නයට මුහුණ දීලා වෙන රටකට වෙලා ඉන්න කාලේ මගේ ළඟ හිටියේ තාත්තානේ. ඉතින් මුලින්ම ලියපු ගීතය පෙන්නුවේ තාත්තට. වචන ටික හොඳයි. ලංකාවට ගියාම අනෙක් අයගෙනුත් අහලා බලන්න කියලා තාත්තා කිව්වා. මම දවස් විස්සක් තිස්සේ තනුව හිතේ තියාගෙන මුමුණ මුමුණ ඉඳලා ලංකාවට ඇවිත් ඒ ගීතය රෙකෝඩ් කරන්න කලින් පසන් ලියනගේ අයියට පෙන්නුවා. ඔහු තමයි මෙහි සංගීතය නිර්මාණය කරන්නේ. ඔහුත් කිව්වා මේක මරු කියලා. සනුක, සජිත වගේ යාළුවන්ටත් මේ ගීතය පෙන්නුවා. එයාලත් ගීතයේ වචනවල වැරැද්දක් කිව්වේ නැහැ. ඒ අයගෙන් ගීතය ගැන ඇහුවම ඇති කියලා හිතුවා.


ජීවිතේ අමාරුම කාලයක ලියවුණ ගීතයක් නිසා නදීමාල්ටත් මේ ගීතය අමතක නොවන විශේෂ ගීතයක් වෙලා ඇති?


අනිවාර්යයෙන්ම. මේ ගීතය මට සෑහෙන විශේෂයි. මට හිතාගන්න බැහැ මම කොහොම ගීතයක් ලිව්වද කියලා. ඕනෑම මනුෂ්‍යයෙකුට තනිවෙන්න වෙන කාල තියෙනවා. තනි වුණාම තමයි ගොඩක් අදහස් එන්නේ. තනිවුණාටත් වඩා ඒ මුහුණ දෙන්න වුණ සිදුවීම ඔළුවට ගොඩක් අමාරු දෙයක්. ඒ වගේ අමාරු අවස්ථාවක ගීතයක් ලියන්න පුළුවන් වීම ගැන සතුටුයි.


ගීතය නිර්මාණය වුණාට පස්සේ තාත්තාගෙන් හොඳ ලකුණක් ලැබුණද?


ගීතයේ ඔක්කොම වැඩ ඉවර කරලා මම ඒ ගීතය තාත්තට පෙන්නුවා. තාත්තා මට ලොකු ප්‍රතිචාර දෙන්නේ නැහැ. තාත්තාගෙන් මට වැදගත්ම දේ තමයි අඩුපාඩුවක් දැක්කොත් කියන එක. තාත්තා අඩුපාඩුවක් කියන්නේ නෑ කියන්නේ වැඩේ හොඳ තත්ත්වයක තියෙන නිසා කියලා හිතනවා. තාත්තා අඩුපාඩුවක් කිව්වේ නැති නිසා ප්‍රශ්නයක් නැහැ.


මේ ගීතයේ වීඩියෝව ගැනත් බොහෝ අය කතා කරනවා නේද?


ගීතයේ වීඩියෝව කරන්න දුන්නේ සජිත ඇන්තනීට. සජිත මගේ යාළුවා. ඒ නිසා මට වැඩ කරන්න පහසුයි. සජිත මගේ දෙයකට කරන්න පුළුවන් උපරිම දේ කරනවා කියලා මම දන්නවා. මෙහි කැමරාකරණය කළේ චන්න දේශප්‍රිය අංකල්. ඔහුගේ මැජික් ලැන්ටන් ආයතනයේ තමයි ඔක්කොම දේවල් කළේ. මගේ ‘නුරා වසන්තේ’ ගීතය කළේ ලිරික්ස් විඩියෝවක් විදිහට. මේ ගීතය මියුසික් වීඩියෝවක් එක්කම එළියට ගේන්න ලැබීම ගැන සතුටුයි. සජිත මේ වැඩේට නිදිවරාගෙන ගොඩක් මහන්සි වුණා. ඒකත් එක්ක වැඩේ සාර්ථක කරගන්න පුළුවන් වුණා.



මියුසික් විඩියෝව වෙනුවෙන් නදීමාල්ගේ සහය ශිල්පිනිය හොයාගන්නත් මහන්සි වුණාලු නේද?


මේ වීඩියෝවේ මාත් එක්ක රඟපාන්නේ හර්ෂි  රසාංගා නංගි. මේ සින්දුවේ වීඩියෝවට ගැහැනු ළමයෙක් හොයන්න කියලා සජිත මට භාර දුන්නා. මම සාමාන්‍යයෙන් කරන්න ආස නැති වැඩක් ඒක. මොකද කතා කරලා එන්න බෑ කිව්වොත් ලැජ්ජයිනේ. සමහර වෙලාවට එහෙම කතා කරද්දි වැරදි අදහසක් ගන්නත් පුළුවන් සමහර අය. මම මේ වැඩේට කතා කළ පළවැනි කෙනාම මට බෑ කිව්වා. එයා මගේ වැඩේට බෑ කිව්වා නෙවෙයි, පවුල් සංස්කෘතියත් එක්ක එයාට රඟපාන්න බැ කියලා කිව්වා. ඒක සාධාරණයි එයාගේ පැත්තෙන්. කොහොම හරි හර්ෂි නංගිව මම දැක්කේ ඉන්ස්ටර්ග්‍රෑම් එකෙන්. මම සජිතට කිව්වා ඒ නංගි හොඳයි කතා කරලා බලන්න කියලා. හර්ෂිට කතා කළාම එයා කැමැත්තෙන් භාර ගත්තා. මම කවදාවත් රඟපාපු කෙනෙක් නෙවෙයි. හර්ෂි නංගි මට ලොකු සහායක් දුන්නා.


කොහොමින් කොහොම හරි කාලයකට පස්සේ තමයි නදීමාල්ගේ ගීතයක් රසිකයන්ට අහන්න ලැබෙන්නේ?

අවුරුදු දෙක හමාරකට පස්සේ තමයි මම ගීතයක් රසිකයන් අතරට ගෙනාවේ. මට අත්විඳින්න වුණ සිදුවීමෙන් පස්සේ මම ලංකාවට ඇවිල්ලත් අවුරුදු දෙකකට කිට්ටු වෙන්න එනවා. එක එක ප්‍රශ්න නිසා ගීතයක් කරන එක කල් ගියා. ඊට පස්සේ කොරෝනා ප්‍රශ්නය ආවා. අවසානයේ මේ ගීතය මේ කාලෙ වෙද්දි හරි එළියට ගේන්න ලැබීම ගැන සතුටුයි.


කාලයක් නිහඬතාව රැක්කත් නදීමාල්ව අතහැරියේ නැති රසික පිරිසක් ඉන්නවා නේද?


ඔව්. මට ආදරය ලබා දෙන රසික පිරිසක් ලබන්න මොකක් හරි පෙර පිනක් ඇති. ගොඩක් අය මගේ අලුත් ගීතයක් නැද්ද කිය කිය ඇහුවා හැම තිස්සෙම. ඇත්තටම මේ ගීතය රිලීස් කළාට පස්සේ සෑහෙන ප්‍රතිචාර තියෙනවා. දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ බොහෝ ප්‍රමාණයක් ලැබුණා. මේ ගීතය හැමෝම සතුටින් භාරගෙන තිබීම ගැන සතුටුයි. මට ආදරය කරන හැමෝටම ගොඩක් ස්තුතියි.


නදීමාල්ට ආදරය කරන පිරිස අතරෙන් වැඩිපුරම තරුණියන්ගේ ආකර්ෂණය වැඩියිලු නේද?


ඒක මට හරියටම කියන්න බෑ. සමහර වෙලාවට වෙන්න පුළුවන්. මම පිරිමි ළමයෙක් නිසා එහෙම ආකර්ෂණයක් තියෙන්නත් පුළුවන්. හැබැයි මගේ නිර්මාණවලට බෙදීමක් නෑ. හැමෝම ආදරෙයි.


දැන් විශේෂ ආදරයක් ලබන කෙනෙක්ද?


එහෙම විශේෂ ආදරයක් දෙන කෙනෙක් මට නැහැ.


ගොඩක් යාළුවෝ ඉන්නවා නේද… කාවද වැඩිපුරම ආශ්‍රය කරන්නේ?


මට පාසල් කාලේ යාළුවෝ, කලා පවුල්වල යාළුවෝ වගේ ගොඩක් යාළුවෝ ඉන්නවා. නිසල් ෆර්නෑන්ඩු අපේ ගෙදර ගොඩක් වෙලාවට ඉන්න යාළුවෙක්. ඔහු එක්ක තමයි මම හැමදේම කියන්නේ. අපි දෙන්නා තමයි නිතරම කතා කරන්න හමුවෙන්නේ.


සමහර ප්‍රශ්නවලදි යාළුවෝ හොයාගන්නත් නැති වෙනවා. නදීමාල් ප්‍රශ්නයකට මුහුණ දුන්න වෙලාවේ ඔය ඉන්න යාළුවෝ ළඟම හිටියද?


මම යාළුවෝ කියලා හිතන් හිටපු අය ගොඩක් හිටියා. ඇත්තම යාළුවෝ කවුද කියලා මම තේරුම් ගත්තා. මම අදටත් කාත් එක්කවත් තරහා නැහැ. හැමෝම එක්ක මම කතා කරනවා. ඒ කවුරුවත් කිසිම දෙයකට පලි නැහැ. අපේ ජීවිතේ හැමදේම තාවකාලිකයි. අපිට කවදා හරි හැමදේම අතහරින්න වෙනවා. ඒ නිසා මම කා ගැනවත් තරහක් වෛරයක් ඇති කරගන්නේ නැතුව මගේ ගමන යනවා. කොහොම වුණත් මගේ යාළුවෝ සෑහෙන පිරිසක් මාත් එක්ක හිටියා.


ජීවිතයේ වෙන සමහර දේවල් හොඳ පාඩම් කියලා දෙනවා. ඔබත් මුහුණ දෙන්න වුණ දේවල් එක්ක ජීවිතයට පාඩමක් ඉගෙන ගන්න ඇති නේද?


හැම මොහොතකින්ම හැම කෙනෙක්ගෙන්ම අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. අපි කවුරුවත් දැන දැන වැරදි කරන්නෙ නැහැනේ. අපි කලාකරුවෝ. අපි ඉන්න ක්ෂේත්‍රය ඇතුළේ මිනිසුන්ව පෙරළා ආශ්‍රය කරන්න බැහැ. අපි ජීවත් වෙන්නේ මිනිසුන්ගේ ආදරය නිසා. මිනිස්සු කියන්නේ මොකක්ද, කරන්නේ මොකක්ද කියන එක ඒ මිනිසුන්ගේ පෞද්ගලික දෙයක්. අපිට ඒක අදාළ වෙන්නේ නැහැ. කලාවට ආදරය කරන තැනේදී යකෙක්ව වුණත් සින්දුවක් කියලා සතුටු කරන්න තියෙන්නේ. අපි ඉපදිලා තියෙන්නේ ඒක කරන්න. අපිට ඉදිරියට මොනවා වෙයිද කියන්න බැහැ. කොහොම වුණත් කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ කියලා දැන් දන්නවා.


කලා ශිල්පීන්ට රසික ආදරය ලැබෙනවා වගේම අනෙක් පැත්තෙන් මඩ, විවේචනවලට මුහුණ දෙන්නත් වෙනවා. නදීමාල්ටත් ඒ වගේ විවේචනවලට මුහුණ දෙන්න වුණා. කොහොමද ඒවා දරාගත්තේ?


මුල් කාලේ ඒ දේවල් හිසරදයක්. මගේ පවුලේ අය, අපිව ළඟින්ම ඇසුරු කරන අය දන්නවා අපි කාටවත් වැරදි කරන අය නෙවෙයි කියලා. අපි අහිංසකව අපේ දේ කරගෙන පාඩුවේ ජීවත් වෙන්නේ. මිනිස්සු නොදැනුවත්කමට අපිට මඩ ගහන්න පුළුවන්. තව කෙනෙක් කියන දෙයක් අහලා අපිට දේවල් කියන්න පුළුවන්. බොරු දේවල් කියලා සමහර මාධ්‍ය තාත්තවයි, මාවයි නැති කරලා දැම්මා. ඒ කියපු දේවල් ඇත්ත නම් මමයි, තාත්තයි මෙහෙම එළියේ ඉන්න විදිහක් නැහැ. එහෙනම් අපි ලංකාව ඇතුළේ කූඩුවක ඉන්න ඕනේ. කවුරු හරි දෙයක් කියද්දි හොයලා බලලා කියන්න ඕනේ. මිනිස්සුන්ගේ ස්වභාවය මට දැන් හුරුයි. මට දැන් ප්‍රශ්නයක් නැහැ. මම වැරදි නැති තැන මම කිසි දෙයක් ගණන් ගන්නේ නැහැ. වැරදි නම් තමයි ප්‍රශ්නයක් තියෙන්නෙ.


ජීවිතයේ ඉදිරිය ගැන මොනවද තියෙන සැලසුම්? 


මම ලොකුවට ඉදිරිය සැලසුම් කරන කෙනෙක් නෙවෙයි. හැබැයි යම් තාක් දුරකට දේවල් සැලසුම් කරනවා. මේ අවුරුද්දේ තව ගීත දෙකක් රිලීස් කරන්න තියෙනවා. මගේ point five බෑන්ඩ් එකෙත් වැඩ කරගෙන යනවා. බෑන්ඩ් එකටත් දැන් වැඩ ලැබෙනවා. ඒ නිසා හැමදේම සමබර කරගෙන වැඩ කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒ වගේම දෙවියන්ගේ පිහිටෙන් ආයෙත් මට අර සිද්ධ වුණා වගේ දෙයකට මුහුණ දෙන්නෙ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.


තිළිණි කෞශල්‍යා විජේසිංහ