දුක් විඳින යුවතියන්ගේ හැම පීඩාවක්ම මගේ වගේ දැනෙනවා -මිෂෙල් දිල්හාරා

Tuesday, February 02, 2021 , 0 Comments

 



තරුණ නිළියක් රඟපාන්න වැඩියෙන්ම කැමැති චරිතය මොකක්ද කියලා ඇහුවොත් උත්තරය වෙන්නේ පෙම්වතියගේ චරිතය කියන එක. සුන්දර නිළියක් වුණත් මිෂෙල් දිල්හාරාගේ කැමැත්ත ඒක නෙමේ. කටුක දුක්විඳින කර්කශක යුවතියකගේ චරිතය ඇය හැමවිටම පණපොවන්න කැමතියි. සුදු ඇඳගෙන කළු ඇවිත් අයෝමා වගේම මේ දිනවල මැටි කඩුලු සකී කියන්නේ වෙනස්ම චරිතයක්. මේ චරිත ගැන ඇය පුවත්පතකට විස්තර කියලා තිබුනේ මෙලෙසයි.


මැටි කඩුලු කියන්නේ මම රඟපාන දහනව වන ටෙලිනාට්‍යය. දැනට රඟපාපු නාට්‍ය පහළොවක් විකාශය වෙලා තියෙනවා. තවත් පහක් විතර පෙන්නන්න තියෙනවා. අවුරුදු විස්සෙදි මුලින්ම කැමරාව ඉස්සරහට ඇවිත් අද වෙනකොට ඉන්න තැන ගැන  මට පුදුමකාර සතුටක් හිතේ තියෙන්නෙ. සල්සපු නා ටෙලි නාට්‍යයෙන් තමා මම මුලින්ම මේ ගමන ආරම්භ කරන්නේ. එදා පොඩි පත්තරකාරී හැටියට රඟපාපු ඒ චරිතයට අදත් විශාල ප්‍රතිචාරයක් ලැබෙනවා.  


මගේ ළමා කාලය හරිම සුන්දර ළමා කාලයක්. අපේ පවුලේ කෙල්ලොම තුන් දෙනයි. ලොකු නංගි මට වඩා අවුරුදු දෙකක් බාලයි. පොඩි නංගි අවුරුදු දාහතරක් බාලයි. මේ දෙන්නටම රඟපාන්න ඕන වුණේ නැහැ. ඒ අය අධ්‍යාපනයෙන් ඉස්සරහට යන්න උත්සාහ කරනකොට මම හිතාගත්තා නිළියක් හරි ගුරුවරියක් වෙනවා කියලා. අම්මා තාත්තා ගැනත් අනිවාර්යයෙන්ම සිහිපත් කළ යුතුමයි. මොකද ඒ දෙන්නා මට උපරිම නිදහස දුන්නා කැමැති දෙයක් තෝරගන්න.



නිළියක් වෙන්න කලින්ම මම සමාජ ක්‍රියාකාරිනියක් හැටියට වැඩ කරන්න පටන් ගත්තා. අවුරුදු පහළොවක ඉඳන් මම ළමා නිවාසවල උගන්වන්න යනවා. මේ දේවල්වලට මාව තල්ලු වෙන්න ගත්තේ හරි පුදුම විදිහට. පුංචි කාලේ මම මේ වගේ කතා කරන චරිතයක් නෙමේ. හැම දේකටම පස්සට යන හැංගිලා වගේ ඉන්න චරිතයක්. සමාජය ඉස්සරහට ඇවිත් කතා කරන්න පුදුමාකාර බයක් තිබුණේ මට.


දවසක් මම තාත්තා එක්ක මීගමුව හොස්පිට්ල් එකට ගියා මාමා කෙනෙක් බලන්න. යනකොට මම දැක්කා එවේලේ මැරුණු දෙදෙනකුගේ මෘතදේහ ඇඳ උඩ තියෙනවා. හැබැයි එක මිනියක් ගෙදර ගෙනියන්න පවුලේ අය රෝහල් කාර්ය මණ්ඩලය එක්ක ලොකු රණ්ඩුවක් ​කරනවා. මම මෙහෙම සිදුවීමක් කවදාවත්ම දැකල තිබුණේ නැහැ. අපි ආපහු එනකොට අර රණ්ඩු වෙච්ච අය මිනිය අරගෙන ගිහින්. හැබැයි අනෙක් මිනිය එතැනම තියෙනවා. මට හිතුණා ඒ කාත් කවුරුත් නැති කෙනෙක්නේ කියලා. මම ගෙදර ඇවිත් තාත්තාගෙන් විස්තර ඇහුවා. සතියක් ගියත් මගේ හිතේ වැඩ කරන්නේ අර මැරුණ කෙනාට මොකක්ද වුණේ කියලා. මගේ කරදරේටම තාත්තා ඒ ගැන හොයලා තිබුණා. ඒ මැරුණ කෙනාව භාර ගන්න කවුරුත් නොහිටිය නිසා රෝහලේම ආදාහනය කළා කියලා දැන ගන්න ලැබුණා.


එදා මට මිනිස්සු ගැන පුදුමාකාර කලකිරීමක් දැනුණේ. පුංචි කාලේම මට දැනුණා මේ සමාජය බෙදිලා තියෙන්නේ කියලා. සල්ලි තියෙන අයයි නැති අයයි බලය තියෙන අයයි නැති අයයි මිනිස්සු තරාතිරම අනුව දෙකකට බෙදිලා. සමාජයේ ගොඩක් අය ඉන්නවා තමන්ගේ හඬ සමාජගත කරන්න බැරුව. වෙන අසාධාරණය පේනවා. නමුත් කතා කරන්න බයයි. කවුරුත් ඇහුම්කන් දෙයිද කියලා විශ්වාසයක් නැහැ.


මමත් නිහඬව පස්සට යන කෙනෙක් වුණොත් මමත් සමාජයේ ගොදුරක් බවට පත් වෙනවා කියලා හිතුණා. ඒ හඬ නගන්න බැරි අය වෙනුවෙන් හඬක් නගන්න මම ඉදිරිපත් වුණා. ඒ වෙනකොට මම පුංචි ළමයෙක්. මම ළඟ සල්ලි නැහැ. ඉතිරි වෙලා තිබුණේ දැනුම විතරයි. මම ඒ දැනුම බෙදලා දෙන්න පටන් ගත්තා. දෙමව්පියන්ගේ රැකවරණය අහිමිවෙච්ච ළමයි ඉන්න ළමා නිවාසවලට ගිහින් නොමිලේ උගන්වන්න පටන් ගත්තා. මටත් නොදැනීම මගේ බය පහවෙලා සමාජ ක්‍රියාකාරිනියක් බවට පත් වුණා. අදටත් මට ලැබෙන ආදායමෙන් බාගයකට වඩා මම වැය කරන්නේ මේ දේවල්වලට.


මම ලස්සනයි කියලා හැමෝම කියනවා. ලස්සන කෙසේ වෙතත් මම සරල සාමාන්‍ය කෙල්ලෙක් වගේ ඉන්න හැම වෙලාවෙම උත්සාහ කරනවා. අනිත් කාරණාව තමයි රංගනයේදී වුණත් මම සමාජයට වැඩක් ඇති දෙයක් වෙනුවෙන් රංගනය ලබාදෙන්න කැමැතියි. රූප රාමු අතරේ පෙම්වතියක් වෙලා ෆැන්ටසියක හීන බලනවාට වඩා හොඳ දෙයක් කරලා මැරිල යන එක හොඳයි කියලා හිතුණ වාර අනන්තයි. සුදු ඇඳගෙන කළු ඇවිදින් නාට්‍යයේ අයෝමා කියන්නේ තාත්තා අහිමි වෙච්ච දරුවෙක්. Can you here me එකේ අම්මා අහිමි දියණියක්. මැටි කඩුලු නාට්‍යයේ කිසා කියන්නෙ ආර්ථික ප්‍රශ්න නිසා අම්මා රට ගිය දියණියකගේ චරිතයක්. මේ හැම චරිතයක්ම සමාජයේ ජීවත් වෙනවා. සමහර විට ඔවුන්ට මෙතනින් එහාට යන්න බැරුව අසරණ වෙලා ඉන්න පුළුවන්. ඒ හැමෝම වෙනුවෙන් තමයි මම සමාජයේ ප්‍රශ්න විතරක් කතා කරන චරිත තෝර ගන්නෙ.



මැටි කඩුලු නාට්‍ය නිසා මට බොහෝ දේවල් දැනගන්න ලැබුණා. කොහොමත් මම රඟපාපු බොහෝ නාට්‍ය රූපගත කළේ දුෂ්කර ප්‍රදේශවල. ඒ අතරිනුත් මැටි කඩුලු රූපගත කළ ගම මට අමතක වෙන්නෙ නැහැ. මේ අයගේ ගමේ ජීවිතය හරිම වෙනස්. උදේ නැගිටිනවා. නානවා. කනවා. බොනවා. නිදාගන්නවා. එතනින් එහා වෙන කිසිම දෙයක් හිතන්නෙ නැහැ. මේ ගම තියෙන්නෙ ඉබ්බාගමුවෙ ඉඳන් හුඟාක් ඇතුළට ගියාම. කොටින්ම කෝල් එකක් ගන්නනම් එක තැනක තියන ගහක මුදුනට නගින්න ඕනේ. මේ ගමේ ඉන්නවා සුපර් මාර්කට් එකක් දැකපු නැති ළමයි. කඩේකින් කෑම කාපු නැති ළමයි. මේ පුංචි ලංකාව ඇතුළේ මෙච්චර ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනගත්තේ රඟපාන්න මේ ගමට ගිය නිසා. අනාගතයේ මේ ළමයි වෙනුවෙන් යමක් කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ අයගේ ගමට ගිහින් අපි රඟපාලා එනවා. හැබැයි අපි රඟපාපු එක දකින්න ඒ ගමට පහසුකම් නැහැ.


මම හිතන්නේ මම හරිම වාසනාවන්ත නිළියක්. හැම චරිතයක්ම රඟපාන්න මට අවස්ථාව ලැබුණා. පිටසක්වල ජීවිතයක් වගේම යක්ෂණියකගේ චරිතයක් රඟපාන්න මට අවස්ථාව ලැබුණා. මම රඟපාපු චරිතවලින් අයෝමා මහිමා කියන චරිතවලට තමයි වැඩියෙන්ම ඇලුම් කරන්නේ. සමාජ ප්‍රශ්න හමුවේ ඒවාට මුහුණ දෙන්න යන චරිත මේ සමාජයේ කොටසක් කියලා මම විශ්වාස කරනවා.ඒ වගේම මැඩි කඩුලු කිසාටත් හුඟක් කැමතියි. 


මම රඟපාන්නේ මුදල් හොයන්න නෙමේ. ජීවත් වෙන්න යම් මුදලක් ලැබුණාම ඇති. සමාජය වෙනුවෙන් කළ යුතු කාර්යභාරය විශාලයි. ඒක හැමොටම අමතක වෙලා. මේ ජීවත් වෙන සමාජයට අපෙන් ඉටු විය යුතුකම අමතක කළොත් අනාගත සමාජයක් ඉතිරි වෙයිද. තෝරා බේරාගෙන හරි ඒ යුතුකම වෙනුවෙන් මම පෙනී ඉන්නවා.


සමාජයේ අසාධාරණය ගැන කතා කරනකොට ක්ෂේත්‍රයේ තිබෙන ප්‍රශ්න ගැනත් කතා නොකර බැහැ. නවක නිළියකට මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යෑමේදී සිදුවන අසාධාරණකම් සිදුවෙනවා නේද?


මම නම් ඒ වගේ දේවල්වලට මුහුණ දීලා නැහැ. හැබැයි ඔය වගේ ප්‍රශ්න ගැන කතා කරනවා ඇහිලා තියෙනවා. ඒක අහිංසක යුවතියක් මුහුණ දෙන ප්‍රශ්නයක් හැටියට ගන්න පුළුවන්ද. ක්ෂේත්‍රයේ අනෙක් කෙනාට පරයා යන්න දරන උත්සාහය තුළ සිදුවන මෙවැනි කතා ගැන කතා කිරීමත් නිෂ්ඵලයි. රැකියාවේ ඇති වැදගත්කම තේරුම් අරගෙන වැඩ කළොත් කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නැහැ. අත්දැකීමෙන්මයි මම එය කියන්නෙ. තමන් ආවේ රඟපාන්න නම් එය නිවැරදිව කළ යුතුයි. එහෙම නැතිව කෙටි පාරවල්වලින් යන්න ගියාම තමයි ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන්නේ.


පුංචි තිරයෙන් මිදී සිනමාවට ඇතුළු වෙන්න කැමැත්තක් නැද්ද?


චිත්‍රපටයක රංගනය සඳහා ඇරයුම් ලැබිලා තියෙනවා. කොරෝනා ප්‍රශ්නය නිසා තමයි වැඩේ ප්‍රමාද වුණේ. ඉතා ඉක්මනින් එහි කටයුතු ආරම්භ කරන්න කැමැත්තෙන් ඉන්නවා.



රංගනය තුළදී සිදුවූ අමතක නොවන අත්දැකීමක් මතක් කළොත්?

මැටි කඩුලු නාට්‍ය රූපගත කරන කොට තමා මේ සිදුවීම්වලට මුහුණ දුන්නේ. මටයි අනුරාධා එදිරිසිංහටයි තිබුණා පාලමකින් දුවගෙන් යන්න. මේ පාලම අබලන් වෙච්ච පාලමක්. යම් අවදානමක් තිබුණා. නමුත් රංගනය තුළ අවදානම් ගත යුතුමයි. ඒ දර්ශන රූපගත කරනකොට පාලම කැඩෙන්න ගියා. අදටත් මම හිතනවා අපේ ජීවිත බේරුණේ අනූ නවයෙන් කියලා.


ඇය අවසාන වශයෙන් තමා නිළියක් ලෙස ලබාගත් ජයග්‍රහණ පසුපස සිටි සියලුම ප්‍රේක්ෂකයන්ට ස්තුතිය පුද කර සිටියා.


රජ මාලිගාවේ ඉඳන් දුප්පත් ගෙදර දක්වා මට යන්න ලැබුණේ නිළියක් වෙච්ච නිසා. දේශපාලකයෙක්ගේ දුවෙක් හැටියට වගේම අන්ත අසරණ යුවතියකගේ චරිතයට මම මුහුණ දුන්නා. මගේ නිල ෆේස් බුක් පිටුවට සම්බන්ධ වුණොත් හැමෝටම මේ දේවල් මගෙත් එක්ක බෙදා ගන්න පුළුවන්. සුදු ඇඳගෙන කළු ඇවිත් නාට්‍යයේ මම දාපු වීඩියෝවලට මිලියන ගාණක ප්‍රතිචාර ලැබිලා තිබුණා. දැන් මම රඟපාන මැටි කඩුලු නාට්‍යයේ වීඩියෝ එකට ලක්ෂ දෙකකට ආසන්න ප්‍රතිචාර පැයක් ඇතුළත ලැබුණා. සමාජය වෙනුවෙන් මට යමක් කරන්න ශක්තිය ලබාගත්තේ මේ ප්‍රතිචාර වලින්. ඒ ශක්තිය ලබා දෙනවාට හැමෝටම ගොඩක් පින්.


ක්‍රිෂාන්ත පුෂ්ප කුමාර