කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලේ නොසන්සුන් තත්ත්වයක්

Thursday, January 07, 2021 0 Comments



වොෂින්ටන් කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලෙහි හටගත් නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් එම නගරයට ඇඳිරි නීතිය පනවා තිබේ.  කලහකාරීන් ඉවත්කිරීමට පොලිසිය කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට ඇතුළු වුවත් ඔවුන්ට සහය දීම පිණිස අතිරේක හමුදාවන් එවන මෙන් ද වොෂිංටන් අගනුවර නගරාධිපතිනි මියුරියල් බව්සර් අසල්වැසි වර්ජීනියා සහ මේරිලන්ඩ් ප්‍රාන්තවලින් ඉල්ලීමක් කර ඇත.

කොංග්‍රස් ගොඩනැගිල්ල තුළ හටගත් මෙම තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව ජනපතිවරණයේ ප්‍රතිඵල සනාථ කිරීමේ රැස්වීම නැවත ආරම්භ විය. එහිදී  අදහස් දැක්වූ රිපබ්ලිකන් පාක්ෂික සෙනෙට් සභික බෙන් සෙස් මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවලට අනුබල දීම ගැන ජනාධිපති ට්‍රම්ප් හට ඍජු චෝදනා එල්ල කර තිබේ. 

මේ අතර ප්‍රචණ්ඩ ක්‍රියා අතරවාරයේ වෙඩි පහරකට ලක්ව තුවාල ලැබූ කාන්තාවක් මියගිය බව ද එරට පොලිසිය තහවුරු කර ඇත.

එමෙන්ම අමෙරිකානු මැතිවරණ ක්‍රියාදාමයට බාධා කරමින් කොංග්‍රස් ගොඩනැගිල්ලේ හටගත් මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමති බොරිස් ජොන්සන් ඇතුළු ලෝක නායකයෝද විවිධ අදහස් පල කර ඇත. ප්‍රංශයේ විදේශ අමාත්‍යාංශය මෙය "ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ බරපතල පහරක්" බවද පවසා තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පලකළ  මීළඟ ජනාධිපතිවරයා ලෙස ඡන්දයෙන් තේරී පත්ව සිටින ජෝ බයිඩන්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් පසුපසට ගොස් ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයට ඉදිරියට යාමට ඉඩ සැලසිය යුතු බවද පවසා ඇත. එමෙන්ම මෙය විරෝධතාවක් නොවන බවත් මෙය කැරැල්ලක් බවත් ඔහු පවසා ඇත. 

මෙම විශේෂ රැස්වීම කැඳවා තිබුණේ ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් සිදුවූ ජෝ බයිඩන්ගේ පත්වීම තහවුරු කිරීමට අදාළවයි. කෙසේවෙතත් මෙම අවස්ථාවට පැමිණි ඇතැම් විරෝධතාකරුවන් ආයුධ සන්නද්ධව සිටින අයුරු ඡායාරූපවල දැක්වේ. මෙම විරෝධතාකැරුවන් මෙම අවස්ථාවේ "අපට ඕනෑ ට්‍රම්ප්" යනුවෙන් හඬ නගා ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් බයිඩන් පවසා ඇති ප්‍රකාශයන්ට විරුද්ධ අදහස් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ද ප්‍රකාශ කර ඇත. 

සිය අධාරකරුවන් උද්ඝෝෂණය උග්‍ර ස්වරූපයකට ගෙන යද්දී ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ජනාධිපති ට්‍රම්ප් "පොලිසියට හා නීතිය ක්‍රියාත්මක කරන පිරිස්වලට සහය දෙන්න" යනුවෙන් විරෝධතා කරුවන්ගෙන් ඉල්ලා සිට ඇත.

කෙසේවෙතත් මෙම කැපිටල් ගොඩනැගිල්ලේ මතු වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් වැළැක්වීමට කඳුළු ගෑස් ප්‍රහාරයන් ද එල්ල කරන ලද බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.