පාස්කු ප්‍රහාරයට සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට ඇමරිකාවේ පූර්ණ සහාය ලැබේ

Monday, January 11, 2021 0 Comments

 


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් හට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකාවේ පූර්ණ සහාය ලබාදෙන බව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි. 

ශ්‍රී ලංකාවට 2019 වර්ෂයේ එල්ල වූ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් ඇමරිකානු ජාතිකයින් 5 දෙනකු ද මරණයට පත් වූ අතර එබැවින් ඔවුන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවේ. 

එමෙන්ම ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයින් තිදෙනකුට එරෙහිව පසුගිය 8 වැනිදා කැලි‍ෆෝනියාවේ ලොස් ඇන්ජලිස් නගරයේ ෆෙඩරල් අධිකරණය හමුවේ නඩු පැවරීමටද එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදි. මෙසේ නඩු පැවරීම සිදු කරන ලද්දේ මොහොමඩ් නවුෆර්, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිෆ්ලාන් සහ අහමඩ් මිල්හාන් හයිදු මොහොමඩ් යන තිදෙනාටය. 

මොවුන් හට අයි.එස්.අයි. එස්. සංවිධානය වෙත භෞතික සහාය ලබාදීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා කීපයක් එල්ල වී තිබේ. කෙසේවෙතත් මෙම සැකකරුවන් තිදෙනා ශ්‍රී ලංකාවේ අයි.එස්.අයි.එස්.  යනුවෙන් හඳුන්වා ගත් පිරිසක් බවද මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.  එමෙන්ම මේ වන විට හඳුනාගෙන සිටින මෙම සැකකරුවෝ තිදෙනා රැඳවුම් නියෝග මත මෙරට ආක්ෂක අංශ භාරයේද පසුවෙයි.

ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ ඉල්ලීම මත ඇමරිකාව මෙරට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් වෙත විමර්ශනාත්මක සහාය ලබාදීමට මෙසේ තීරණය කර ඇති අතර මෙම ත්‍රස්තවාදීන් නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ඇමරිකාව අගය කරන බවත් ඊට දරන වෑයමට පූර්ණ සහාය ඉදිරියටත් ලබා දෙන බවත් මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය පවසා තිබේ.