කොවිඩ් මර්දන ප්‍රථම එන්නත අද සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයකුට

Friday, January 29, 2021 0 Comments


කොවිඩ් මර්දන ප්‍රථම එන්නත අද පෙරවරු 8.30ට ලබා දෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැති සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා තිබුණි. 

එම පළමු එන්නත කොළඹ අයි.ඩී.එච්. රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයකුට ලබා දෙන බවද ඊට අමතරව තවත් රෝහල් පහකදී මෙම එන්නත ලබා දීමට අද කටයුතු යොදා ඇති බවද එතුමිය වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

එම රෝහල් පහ ලෙස කොළඹ ජාතික රෝහල, නැගෙනහිර කොළඹ රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, හෝමාගම මූලික රෝහල සහ උතුරු කොළඹ ශික්ෂණ රෝහල නම් කර ඇත. 

එමෙන්ම මෙම එන්නත්කරණ ක්‍රමවේදය යටතේ දළ වශයෙන් රෝහල්වල මුළු කාර්ය මණ්ඩලයෙන් සියයට 25කට පමණ එක් දිනකදී එන්නත් කිරීම් කරන බවත් දින 5ක් ඇතුළත එන්නත කිරීම සිදුකර අවසන් කරන බවත්, මීට අමතරව අනෙකුත් දිස්ත්‍රික්කවල ඖෂධ ගබඩාවලට එන්නත බෙදාහැරීම අවසන් වූ පසු එම රෝහල් තුළද එන්නත් කිරීම සිදුකරන බවත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා තිබේ.