‘වන්ෂොට් 2’ කරන්න රන්ජන් හැර සුදුසු කෙනෙක් ක්ෂේත්‍රයේ නැහැ - හර්ෂ උඩකන්ද

Thursday, January 21, 2021 , 0 Comments






සිනමාවට සුවිශාල මෙහෙවරක් කළ නව පරපුරේ අධ්‍යක්‍ෂවරයෙක් තමයි දේශමාන්‍ය හර්ෂ උඩකන්ද. පසුගිය කාලේ ඔහුගේ ලොකු සැලසුමක් තිබුණා ‘වන්ෂොට්-2’ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කිරීමට. එහෙත් ‘වන්ෂොට්’ එහෙමත් නැතිනම් අපේ සිනමාවේ හිරෝ රංජන් රාමනායකට අත්වුණු ඉරණම ඔබ අප දන්න කරුණක්. ඔහු ගැන  බොහෝ දෙනා  මේ දවස්වල කතාබහ කරනවා. ඉතින් ‘වන්ෂොට්-2’ චිත්‍රපටයට මොකද වෙන්නේ කියලා හර්ෂට පුවත්පතකට මෙලෙස විස්තර පවසා තිබුනේ මෙලෙසයි.


ඔබ නිර්මාණය කිරීමට සූදානම් වුණු ‘වන්ෂොට්-2’ චිත්‍රපටයට මොකද වෙන්නේ?

මේ වන විටත් ‘වන්ෂොට්-2’ චිත්‍රපටයේ තිර රචනා කරලා අවසන්. මමත්, රංජන් අයියාත්, අපේ නිෂ්පාදන කණ්ඩායමත් ලොකු සැලසුමක් එක්ක කතාබහ කරලා අප්‍රේල් මාසයේ ‘වන්ෂොට්-2’ චිත්‍රපටය පටන්ගන්න හිටියේ. රංජන් අයියත් කිවුවේ ඉක්මනට පිටපත ලියලා බලන්න දෙන්න කියලා. ඒ සියලුම වැඩකටයුතු අවසන් වෙනකොට නොසිතපු දෙයක් තමයි වුණේ.


 ඒ කියන්නේ රංජන් රාමනායක නැතුව වෙන කෙනෙක් යොදාගෙන ‘වන්ෂොට්-2’ නිර්මාණ කිරීමට අදහසක් නැද්ද?

කවදාවත් එහෙම කරන්න අදහසක් නැහැ. ඔහු නැවැත එනකම් අපි බලාගෙන ඉන්නවා. ඔහු හැර මේ චිත්‍රපටය කරන්න සුදුසු කෙනෙක් මේ ක්‍ෂේත්‍රයේ තවම නැහැ. මෙයට සුදුසුම කෙනා ඔහුම තමයි.


 ඔබගේ ඉදිරි සැලසුම?

‘වන්ෂොට්-2’ තිරපිටපත සුක්‍ෂිත කරගෙන මගේ ඉදිරි වැඩකටයුතු පටන් ගන්නවා සේද මාවත චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායම එකතුවෙලා අලුත් චිත්‍රපටයක් කිරීමට සැලසුම් කරගෙන යනවා. ඒ වගේම ‘මරුවා සමඟ වාසේ’ ටෙලිනාට්‍යයේ වැඩකටයුතු ළඟදීම පටන්ගන්නවා.


සිනමාවේ ලොකු පෙරළියක් කිරීමට ඔබේ ලොකු සැලසුමක් තිබුණා. ඇයි ටෙලිනාට්‍යයක් කිරීමට අදහස් කළේ?

‘මරුවා සමඟ වාසේ’ මගේ අවසාන ටෙලිනාට්‍ය වෙන්න පුළුවන්. පසුගිය කාලෙම සිනමා ශාලා වහලනේ තිබුණේ. ඉතින් චිත්‍රපටයක් කරලා වැඩක් නැති නිසා නිර්මාණකරුවන් විදියට අපිට නිකම්ම ඉන්න බැහැ. නිර්මාණයක් කළේ නැතිනම් හරියට කෑවේ නැහැ වගේ. ඒ නිසා තමයි ටෙලිනාට්‍යයක් කරන්න හිතුවේ.


ඔබ නිර්මාණය කළ ‘කබඩි’ චිත්‍රපටය රසවිඳීමට බොහෝ දෙනෙක් බලාසිටිනවා. මේ වසරේ තිරගත කිරීමට අදහසක් නැතිද?

මාස කිහිපයකට පසු සිනමා ශාලා නැවැත විවෘත වුණා විතරණේ. තවම චිත්‍රපටය නැරැඹීමට ප්‍රේක්‍ෂකයන් එනවා අඩුයි. එයට සුදුසුම කාලය ආවට පසු ‘කබඩි’ තිරගත කිරීමට සැලසුමක් තිබෙනවා.


වසන්ත විතාරණගේ