ඉදිරියේදී සම්මානයක් ලැබෙයි කියලා හිතනවා - ඩිස්නි රාජපක්ෂ

Wednesday, January 06, 2021 , 0 Comments




රූප රාජිනියක වශයෙන් ශ්‍රි ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙනයන්න සමත් වූ ඇය අද වන විට ප්‍රේක්‍ෂක ආදරය දිනා ගත් දක්ෂ රංගන ශිල්පිනියක් බවට පත්ව සිටිනවා. ඇය නමින් ඩිස්නි රාජපක්ෂයි. මේ දිනවල ඇයගේ අලුත්ම තොරතුරු ගැන ඇය  පුවත්පතකට පවසා තිබුනේ මේ ලෙසයි.


ඩිස්නි මොනවාද මේ දවස්වැලවල අලුත් විස්තර?

මේ දවස්වල අලුත් නිර්මාණයක් භාර ගෙන තියෙනවා. එහි මට අදාළ චරිතය සඳහා සූදානම් වෙනවා. ඒ වගේම මගේ උසස් අධ්‍යාපන කටයුතුවලත් නිරත වෙලා ඉන්නවා. සහ මම Online ඉගැන්වීම් කටයුතු කරන නිසා ඒ වැඩ කටයුතු සමඟ තමයි කාලය ගත කරන්නේ.


විකාශය වුණු සත්‍ය ටෙලිනාට්‍යයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා නේද?

ඔව්. ශාක්‍ය කියන්නේ ඉතා හොඳ පාලනයක් සහිත, මීට පෙර කරපු කෙළිලොල්, දහකාර චරිතවලට වඩා වෙනස්ම වූ චරිතයක්.


රාවණ ටෙලි නිර්මාණයෙහි ඔබගේ චරිතය පිළිබඳව කතා කළොත්?

එක මම හරිම ආසාවෙන් කළ චරිතයක්. එය ඉතාම වීර, ආවේගශීලි, ක්ෂණික තීරණ ගන්නා චරිතයක්. කයිකේසිට පුදුමාකාර හොඳ ප්‍රතිචාර ගොඩක් ලැබුණා. ලොකු - කුඩා භේදයකින් තොරව හැමෝම ඒ චරිතයට ආදරේ කළා සහ මෙතෙක් කළ චරිතවලින් වැඩියෙන්ම ප්‍රතිචාර ලැබුණත් කයිලන්සිගේ චරිතයට.


ක්ලික් සහ රාවණ ටෙලි නාට්‍ය තුළ එකිනෙකට වෙනස් චරිතයන් සඳහා දායක වෙන්න ලැබුණා නේන්ද?

ඔව්. ක්ලික් ටෙලි නාට්‍යයෙහි චරිතය පොහොසත් පවුලක බොහෝම කෙළිලොල්, දඟකාර, බොළඳ තරුණියකගේ චරිතයක්. රාවණහි චරිතය ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. ඉතින් වෙනස් වූ චරිත කරන්න මම හරිම කැමැතියි.


ඉදිරියට යන්න නම් විවිධාකාරයේ චරිත නිරූපණයට අවස්ථාව ලැබිය යුතුයි. ඔබට එම අවස්ථාව තිබෙනවා කියලා විශ්වාස කරනවාද?

ඔව්. විවිධ චරිත නිරූපණය කරන්න ලැබීම රංගන ශිල්පියකුට ලැබෙන හොඳ අවස්ථාවක්. මට එම වාසනාව ලැබුණා. මා තුළින් බටහිර පෙනුමක් දිස් වුවත් ඕනම චරිතයක් නිරූපණය කරන්න පුළුවන් ධාරිතාව මා තුළ තිබෙනවා කියලා මම හිතනවා. සක්කාරං ටෙලි නාට්‍යයෙහි කොමලි ගමේ නැටුම් ගුරුන්නාන්සේගේ නංගි. එම ගැමි චරිතයට මට ඉතාම හොඳ ප්‍රතිචාර හිමි වුණා. ඒ නිසා අවශ්‍ය වන්නේ ඕනෑම චරිතයකට ප්‍රවිෂ්ට වීමට ඇති හැකියාව පමණයි. එයට තම පෙනුම අදාළ වෙන්නේ නැහැ.


ඔබ නවක ශිල්පිනියක් විධියට ක්ෂේත්‍රය දකින්නේ කොහොමද?

වර්තමානය වන විට කලා ක්ෂේත්‍රය පවතින තත්වයත් එක්ක විශේෂ දෙයක් කිව යුතුයි. මේ ක්ෂේත්‍රය ඉතාම වටිනාකමක් සහිත ගෞරවනීය ක්ෂේත්‍රයක්. එමෙන්ම මේ ක්ෂේත්‍රයට පිවිසීම සහ රැඳී සිටීමත් ලෙහෙසි නැහැ. ඒ නිසා මෙහි වැඩ කරන සියලුම දෙනා සහ අලුතෙන් එකතු වෙන අය ක්ෂේත්‍රය පිළිබඳ යම් හැදෑරීමක් සමඟ මේ තුළට පිවිසෙනවා නම් ඉතාම වටිනවා.


හැමදාමත් මේ ක්ෂේත්‍රයේ සාර්ථකව රැඳෙන්න නම් හැදෑරීම කියන දේ වැදගත් නේද?

අනිවාර්යයෙන්ම හැදෑරීමක් අවශ්‍යයි. හැදෑරීමකින් තොරව මේ තුළ සාර්ථක ගමනක් යන්න අමාරුයි. ක්ෂේත්‍රය පිළිබඳ පොත පත කියවීමත් සමඟ සමාජය පිළිබඳවත් හොඳින් හැදෑරිය යුතුයි. 


වේදිකාවට සහ සිනමාවට ප්‍රවේශ වෙන්න අදහසක් නැද්ද?

මම රංගනයෙන් එක් වුණු චිත්‍රපට කීපයක්ම තියෙනවා. ඒ අතරින් ප්‍රධාන චරිතය කරන චිත්‍රපට 2ක් එන්න තියෙනවා. තවත් චිත්‍රපටයකට ජනවාරි මාසයේදී සම්බන්ධ වෙනවා.

වේදිකාවටත් මම ගොඩක් කැමැතියි. ඒ අතරින් ඉංග්‍රීසි මාධ්‍ය තුළින් නිර්මාණය වන වේදිකා නාට්‍යවලට ඉදිරියේදි සම්බන්ධ වෙන්න වැඩි කැමැත්තක් තියෙනවා.


නවක රංගන ශිල්පිනියක් විධියට මේ ක්ෂේත්‍රය තුළ ඔබ දකින අභියෝග මොනවාද?

ක්‍ෂේත්‍රය තුළ අපේ දක්ෂතා එළිදක්වන්න පුළුවන් තරම් හොඳ නිර්මාණයන් නිර්මාණය වෙනවා අඩුයි. ඒ සඳහා ආර්ථිකය ඇතුළු විවිධ හේතූන් බලපානවා. ඒ හැරුණු කොට මට තිබෙන එකම අභියෝගය ඉතින් මමම තමයි.


කැපිලි කෙටිලි වගේ දේවල්වලට මුහුණ දීලාම නැද්ද?

කැපිලි කෙටිලි මම එතරම් අදාළ කරගන්නේ නැහැ. මොකද මගේ හැකියාවන් සහ උනන්දුව, කැපවිම පිළිබඳ මට හොඳ විශ්වාසයක් තියෙනවා. මම යම් වැඩක් භාරගත්තොත් එය හරියටම කරනවා. ඒ නිසා අනිකුත් දේවල් මට අදාළ නැහැ.


නර්තනයට තිබෙන හැකියාව වැඩිදියුණු කරගන්න සහ එයින් යමක් කිරීමට අදහසක් නැද්ද?

මම නර්තනය ඉගෙන ගත්තේ චන්න විජේවර්ධන සගෙන් සහ උපුලි පණිභාරත ගුරුතුමියගෙන්. ගොඩක්ම ආස නර්තනයට තමයි. ඉදිරියේදී නනය පැත්තෙන් යමක් කරන්න හිතන් ඉන්නවා. 


රයිගම් ටෙලි සම්මාන උලෙළේදී ජනප්‍රියම නිළිය කියන කැටගරි එකේදී අවසන් 10 අතරට එන්න ඔබට හැකි වුණා. ඒ ගැනත් කියමු?

ඇත්තටම ඒක අහම්බෙන් වගේ සිදුවුණු දෙයක්. මම විශ්වාසය කරනවා අපි දෙයක් හරියට කරනවා නම් එහි ප්‍රතිඵල අපි වෙත ලැබෙයි කියලා. ඒ නිසා මම ඒ පිළිබඳව ලොකුවට හිතුවේ නැහැ.


ඉදිරියේදී සම්මානයට සහ ඇගයීමට ලක් වෙයි කියලා ඔබ හිතනවාද?

ඉදිරියේදී සම්මානයක් ලැබෙයි කියලා හිතනවා. නමුත් ඉතින් ප්‍රේක්‍ෂකයගෙන් ලැබෙන ආදරේ තමයි මට ගොඩක්ම වැදගත් වෙන්නේ.


තරුණ රංගන ශිල්පිනියක් වශයෙන් නිතරම ඔබගේ සිරුරට ගැළපෙන ආකාරයට ඇඳුම් පැලඳුම් තෝරා ගැනීම කෙරේ වැඩි අවධානයක් ලබා දෙනවා. ඒ සඳහා වෙනත් පාර්ශ්වයකගේ සහාය ලබා ගන්නවාද?


මගේ ඇඳුම් ඩිසයින් කරන්නේ මමම තමයි. ඇඳුම් මහන්නේ ලක්මා විජේරත්න කියලා මගේ යෙහෙළියක් විසින්. 


රංගන ක්ෂේත්‍රය තුළ දිගටම රැඳෙන්නද බලාපොරොත්තුව?


මම තවම ඒ පිළිබඳව හිතලා නැහැ. රංගනය සම්බන්ධ ලොකුවට අනාගත බලාපොරොත්තු නැහැ. දැනට කරන වැඩ වික හොඳින් කරගෙන ඉන්නවා.


කෙටි කාලයක් තුළ මේ තරම් ප්‍රේක්ෂක ප්‍රසාදයක් දිනා ගැනීමට හැකිවීම ගැන මොකද හිතෙන්නේ?


මම සමාජ මාධ්‍යජාලා වුවත් වැඩි වශයෙන් භාවිත කරන කෙනෙක් නෙවෙයි. ඒ නිසා මෙතරම් ඉහළ ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක් ලැබීම ගැන හරිම සතුටුයි. 


ඩිස්නිගේ පවුලෙන් හෝ පෙම්වතාගෙන් විරෝධයක් නැද්ද රඟපෑමෙහි යෙදෙනවාට?

නැහැ. ඔහුගෙන් මට කිසිම බලපෑමක් නැහැ. නමුත් මුල් කාලයේදී මම මේ ක්‍ෂේත්‍රයට එනවට මගේ මවුපියන් තුළ යම් අකැමැත්තක් තිබුණා. නමුත් දැන් නම් ඔවුන්ගෙනුත් මට විශාල සහයෝගයක් ලැබෙනවා.


පවුලේ විස්තරත් කියමු?

මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, නංගිලා දෙන්නයි, මමයි. ලොකු නංගි ගුවන් සේවිකාවක්. පොඩි නංගි  වෛද්‍යවරියක් විමට ඕස්ට්‍රේලියාව තුළ ඉගෙන ගනිමින් සිටිනවා. අම්මා ජාත්‍යන්තර පාසලක් පවත්වාගෙන යනවා. තාත්තා ව්‍යාපාර කටයුතු තමයි කරන්නේ. 












දිනුෂා මනෝරි නිශ්ශංක