ටීවී දෙරණ නාලිකාවේ විකාශය වන "හත්වෙනි මනාලි" ටෙලි නාට්‍යයේ දිගැසිගේ චරිතය මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර නිතර කතාබහට ලක්වේ. එම චරිතයට පණ පොවන්නේ රංගන ක්ෂේත්රයට නවකයෙකු වන නිලින්යා කිරිඇල්ලය. ඇය සිය රංගන ගමන සහ පෞද්ගලික ජීවිතය පිළිබඳව මාධ්‍ය සංවාදයකදී අදහස් දක්වා තිබුණේ මෙලෙසිනි.
හත්වෙනි මනාලි ටෙලි නාට්‍යය හරහා කලා ක්ෂේත්රයට පිවිසි මේ නවක තාරකාව කවුද?
මම නිලින්යා කිරිඇල්ල. මගේ පදිංචිය බණ්ඩාරවෙල. සංචාරක හෝටල් ක්ෂේත්රයේ රැකියාවක නිරත වන අතරතුර තමයි මම රංගන කටයුතුවල යෙදී සිටින්නේ.
හත්වෙනි මනාලි ටෙලි නාට්‍යයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණේ කෙසේද?
2026 දෙරණ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වී හත්වැනි ස්ථානය දිනාගැනීමත් සමඟයි මට හත්වෙනි මනාලි ටෙලි නාට්‍යයේ රඟපෑමට ආරාධනාව ලැබුණේ. කුඩා කාලයේ සිටම රංගන ශිල්පිනියක් වීමට මා තුළ විශාල බලාපොරොත්තුවක් තිබුණා. ටීවී දෙරණ නාලිකාව නිසා එම සිහිනය සැබෑ වුණා.
එම ටෙලි නාට්‍යයේ රංගනය සඳහා ආරාධනාව ලැබුණු මොහොතේ කුමක් සිතුණාද?
හත්වෙනි මනාලි කියන්නේ දැවැන්ත ටෙලි නිර්මාණයක් ලෙසයි මට දැනුණේ. ප්‍රවීණ අධ්යක්ෂ තිළිණ බොරලැස්ස අයියාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන මෙම ටෙලි නාට්‍යයට ක්ෂේත්රයේ ප්‍රවීණ සහ ජනප්‍රිය නළු නිළියන් රැසක් දායක වනවා. රංගනයට ආධුනිකයෙකු වූ මට මෙවැනි නිර්මාණයක රඟපෑමට අවස්ථාව ලැබීම විශාල උද්යෝගයක් සහ සතුටක් ගෙන දුන්නා.
දිගැසිගේ චරිතය ඔබට දැනුණේ කෙසේද?
දිගැසි කියන්නේ කෙළින් කතා කරන, කෙළින් වැඩ කරන, සරල ජීවිතයක් ගත කරන තරුණියක්. මගේ සැබෑ ජීවිතයත් බොහෝ දුරට දිගැසිගේ චරිතයට සමානයි. මමත් ආගම දහමට ඉතා ලැදි, සරල ජීවිතයක් ගෙවන කෙනෙක්.
ඔබේ පවුල් පසුබිම පිළිබඳව සඳහන් කළොත්?
මගේ පවුලේ සිටින්නේ අම්මා, තාත්තා, නංගි සහ මමයි. පවුලේ වැඩිමහල් දියණිය ලෙස නංගිවත් රැකබලා ගනිමින් අම්මාට සහ තාත්තාට ආදරණීය දියණියක ලෙස ජීවත් වනවා. පවුලේ සැමගේ ආශිර්වාදය ඇතිවයි මම රංගන ක්ෂේත්රයට පිවිසුණේ. ක්ෂේත්රයට එන විට අම්මාත් තාත්තාත් මට පැවසුවේ වැඩ කටයුතු හොඳින් කරගෙන යන ලෙසයි. ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා වන අයුරින් රංගන ක්ෂේත්රයේ කටයුතු කිරීම මගේ බලාපොරොත්තුවයි.
ඉදිරියේදී රංගනය වෘත්තියක් ලෙස තෝරාගැනීමට අදහසක් තිබේද?
මම සංචාරක හෝටල් ක්ෂේත්රයේ රැකියාවක් කරන අතරතුරම රංගනයට සම්බන්ධ වී සිටිනවා. මේ වන විට හෝටල් ක්ෂේත්රය ආශ්‍රිතව උපාධියක්ද හදාරමින් සිටිනවා. එබැවින් රැකියාවෙන් ඉහළට යන අතරම රංගන ශිල්පිනියක ලෙසත් ඉදිරියට වැඩ කිරීමටයි මම බලාපොරොත්තු වන්නේ.
නවක රංගන ශිල්පිනියක ලෙස ක්ෂේත්රයට පිවිසෙන විට ප්‍රවීණ නළු නිළියන්ගෙන් ලැබුණු ප්‍රතිචාර කෙබඳුද?
හත්වෙනි මනාලි ටෙලි නාට්‍යයේදී අනුරාධා එදිරිසිංහ, රවීන් කනිෂ්ක, අනුරාධ මල්ලවආරච්චි වැනි ක්ෂේත්රයේ අත්දැකීම් බහුල ශිල්පීන් සමඟ වැඩ කිරීමට මට අවස්ථාව ලැබුණා. ප්‍රවීණයන් නවකයන්ට කැපිලි දමන බව ඇතැමුන් පැවසුවත්, ඔවුන් සියලු දෙනා ඉතා ආදරයෙන් මාව රංගන ක්ෂේත්රයට පිළිගත්තා. මට නොතේරෙන දෙයක් ඇති වුවහොත් ඔවුන්ගෙන් විමසා දැනගෙන රංගන කටයුතු සාර්ථකව කරගැනීමට මට හැකි වී තිබෙනවා.
ඔබේ රංගනය පිළිබඳව ප්රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මොනවාද?
දිගැසි කෙළින් කතා කරන හුරුබුහුටි තරුණියක් නිසා හත්වෙනි මනාලි නරඹන බොහෝ දෙනෙක් ඇයට කැමතියි. එමෙන්ම දිගැසිගේ චරිතයෙන් කලා ලෝකයට පැමිණි මේ නවක තරුණිය කවුදැයි සොයා බලන රසිකයන් සිටින බවත් ලැබෙන ප්‍රතිචාර අතරින් මට දැකගත හැකි වනවා.
රංගන ශිල්පිනියක වීමත් සමඟ තරුණයන්ගෙන් වැඩි ආකර්ෂණයක් සහ යෝජනා ලැබෙනවා ඇති නේද?
ඔව්. හත්වෙනි මනාලි ටෙලි නාට්‍යය හරහා රංගන ක්ෂේත්රයට පිවිසි දා සිට තරුණයන්ගෙන් වැඩි ආකර්ෂණයක් සහ උනන්දුවක් ලැබෙනවා. ක්ෂේත්රයට පැමිණි ආරම්භයේදීම මට ආදරය කරන රසික පිරිසක් බිහි වී සිටීම ගැන මට සතුටුයි.
ආදරය පිළිබඳව ඔබේ අදහස කුමක්ද?
ජීවිතය ආරම්භ කළ ගමන් ආදර සම්බන්ධතාවල පැටලෙන්නේ නැතිව, රැකියාවෙන් සහ රංගනයෙන් ඉදිරියට ගොස් ජීවිතය පිළිවෙළක් කරගත් පසුව ආදරය ගැන සිතීමටයි මම කැමති.
ඔබ ආදරය විඳීමට කැමති ප්‍රේම සම්බන්ධතාවකින්ද, නැතහොත් යෝජනාවකින්ද?
මම කැමති ප්‍රේම සම්බන්ධතාවකින් ආදරය විඳීමටයි. ප්‍රේම සම්බන්ධතාවකදී දෙදෙනා කාලයක් තිස්සේ එකිනෙකා හඳුනාගන්නා නිසා සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමට හැකි වනු ඇතැයි මම විශ්වාස කරනවා.
ENGLISH SUMMARY: Emerging Sri Lankan actress Nilinya Kiriella has drawn growing viewer attention for her role as Digasi in the TV Derana teledrama Hathweni Manali, directed by veteran filmmaker Thilina Boralessa. Originally from Bandarawela, Nilinya entered the television industry after winning seventh place at the Derana Avurudu Kumariya 2026 pageant, fulfilling a childhood dream of becoming an actress. Alongside her acting debut, she works in the tourism and hospitality sector and is currently pursuing a degree in the same field, planning to balance both careers. In a recent interview, Nilinya noted that her straightforward, simple, and religious lifestyle closely mirrors her onscreen character. She also praised veteran co-stars Anuradha Edirisinghe, Raveen Kanishka, and Anuradha Mallawaarachchi for warmly welcoming and guiding her on set. Supported by her parents and younger sister, Nilinya shared that she is enjoying the positive audience response and growing fan interest, while choosing to focus on her career before pursuing a love marriage in the future.