‘මිස් අර්ත් ශ්‍රී ලංකා’ කිරුළ දිනාගැනීමෙන් අනතුරුව ඔබේ ජීවිතයේ විශාල වෙනසක් සිදුවන්නට ඇති නේද?
මිස් අර්ත් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගැනීමෙන් පසු මගේ ජීවිතයේ සිදු වූ ප්‍රධානතම වෙනස ලෙස මම දකින්නේ මගේ ආත්ම ශක්තිය සහ ආත්ම විශ්වාසය අසීමිත ලෙස වර්ධනය වීමයි. කිරුළ දිනාගැනීමට පෙර සිටම මම මගේ සිහින වෙනුවෙන් කැප වී කටයුතු කළ තරුණියක්. නමුත් එම ජයග්‍රහණයත් සමඟ මීට පෙර කිසිදා අත්නොවිඳි විශාල වගකීමක් මගේ ජීවිතයට එකතු වුණා. රටවල් සියයකට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වන ජාත්‍යන්තර වේදිකාවකදී මිලියන 22කට අධික ජනතාවක් වෙසෙන මගේ මවුබිමේ අභිමානය සහ අනන්‍යතාව වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම විශාල අභියෝගයක් වුණා. එදා පටන් සෑම වේදිකාවකටම ගොඩවන විටත්, අදහස් දක්වන සහ ඉදිරිපත් කිරීම් සිදුකරන සෑම අවස්ථාවකදීමත් මම නියෝජනය කරන්නේ මාව පමණක් නොව මගේ රට බව මට නිරන්තරයෙන් දැනුණා. එම හැඟීම මාව තවදුරටත් ශක්තිමත් කළා. මේ කිරුළ මට ලබාදුන් වටිනාම දායාදය සුන්දර මතකයන් හෝ කීර්තිය නොවෙයි. ඕනෑම වේදිකාවකට බියකින් තොරව පිවිසීමටත්, ඕනෑම අභියෝගයකට ශක්තිමත්ව මුහුණ දීමටත්, මගේ හැකියාවන් ගැන කිසිදා සැක නොකර ඉදිරියට යාමටත් අවශ්‍ය ආත්ම විශ්වාසයයි. කිරුළ මගේ හිසෙන් ඉවත් වුවත්, එය මගේ හදවත තුළ ගොඩනැඟූ විශ්වාසය කිසිදා ඉවත් කළ නොහැකියි.
ඔබේ රූප ස්වභාවයත් සමඟ රංගනය සඳහා ආරාධනා ලැබී නැද්ද? රංගන ක්ෂේත්රයට පිවිසීමේ කැමැත්තක් තිබේද?
2023 මිස් අර්ත් රූ රැජින තරගාවලියට සහභාගි වීමත් සමඟ විවිධ අවස්ථා සහ යෝජනා මට ලැබෙමින් පවතිනවා. එහෙත් යම් ක්ෂේත්රයකට පිවිසිය යුත්තේ අවස්ථාවක් ලැබුණු පමණින් නොව, ඒ සඳහා අවශ්‍ය කැපවීම, දැනුම සහ නිසි සූදානම ඇතිව බව මම සැමවිටම විශ්වාස කරනවා. මගේ වැඩිම උනන්දුව සහ කැමැත්ත පවතින්නේ නිරූපණ ක්ෂේත්රයටයි. විශේෂයෙන්ම විලාසිතා සහ රන්වේ නිරූපණය (Fashion and Runway Modelling) පිළිබඳව මම විශේෂයෙන් හදාරා ඇති අතර ඒ තුළින් බොහෝ දේ ඉගෙනගෙන තිබෙනවා. ඒ නිසා රංගනය කෙරෙහි මට එතරම් ලොකු ආශාවක් තිබුණේ නැහැ. රංගනය යනු බාහිර පෙනුමෙන් පමණක් කළ හැකි දෙයක් නොවෙයි. එය චරිතයක් තුළ ජීවත් වෙමින් හැඟීම් ප්‍රකාශ කළ යුතු, විශාල අධ්‍යයනයක් අවශ්‍ය වන කලාවක්. ඒ නිසා කවදා හෝ මගේ හැකියාවන්ට සහ පෞරුෂයට ගැළපෙන, අභියෝගාත්මක සහ අර්ථවත් නිර්මාණයකට ආරාධනාවක් ලැබුණහොත් ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම විවෘත මනසකින් සලකා බලනවා. මට අවශ්‍ය ජනප්‍රියත්වය වෙනුවෙන් ක්ෂේත්රයක් තෝරාගැනීමට නොව, මගේ හැකියාවන්ට නව අරුතක් එක් කළ හැකි නිර්මාණයක් වෙනුවෙන් දක්ෂතාව කැප කිරීමටයි.
සිරස ඩාන්සින් ස්ටාර් සීසන් 2 වැනි දැවැන්ත රියැලිටි වැඩසටහනක විනිශ්චයකාරියක ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව ඔබට හැඟෙන්නේ කෙසේද?
සිරස ඩාන්සින් ස්ටාර් සීසන් 2 වැනි විශාල වේදිකාවක විනිශ්චයකාරියක ලෙස කටයුතු කිරීමට ලැබුණු අවස්ථාව මම දකින්නේ මගේ ශාස්ත්‍රීය පසුබිම සහ කලාත්මක හැකියාව එකම වේදිකාවකදී මුණගැසුණු සුවිශේෂී අවස්ථාවක් ලෙසයි. සිරස වැනි රටේ ප්රමුඛ පෙළේ මාධ්‍ය ආයතනයක් මා කෙරෙහි විශ්වාසය තබා මෙවැනි දැවැන්ත වැඩසටහනක විනිශ්චය මණ්ඩලයට මාව තෝරාගැනීම පිළිබඳව මම හදවතින්ම කෘතඥ වෙනවා. එය හුදෙක් අවස්ථාවක් පමණක් නොව, මා මෙතෙක් පැමිණි ගමනට ලැබුණු වටිනා ඇගයීමක් ලෙසත් මම සලකනවා. මේ අවස්ථාව ගැන මට දැනෙන්නේ විශාල ආඩම්බරයක්. මන්ද මෙතෙක් කල් මගේ වෘත්තීය අනන්‍යතාව තුළින් බොහෝ දෙනා මාව හඳුනාගෙන සිටියේ නිරූපණ ශිල්පිනියක සහ රූ රැජිනක ලෙස පමණයි. නමුත් අද මගේ ජීවිතයේ තවත් ගැඹුරු පැතිකඩක් වන නර්තනය ඔස්සේ මගේ දැනුම සහ හැකියාවන් බෙදාගැනීමට හැකි වීම ඉතා වටිනවා. මගේ එම පැතිකඩ හඳුනාගෙන ඊට නිසි වේදිකාවක් ලබාදීම වෙනුවෙන් සිරස ආයතනයට නැවතත් මගේ හෘදයාංගම ස්තුතිය පිරිනමනවා.
ඔබේ ජීවිතය තුළ නර්තනයට හිමිවන ස්ථානය කෙබඳුද?
බොහෝ දෙනෙක් මාව රූ රැජිනක සහ නිරූපණ ශිල්පිනියක ලෙස පමණක් හඳුනාගෙන සිටියත්, මගේ ජීවිතයේ ඉතා ගැඹුරු සහ සංවේදී තවත් පැත්තක් තිබෙනවා. ඒ තමයි ශාස්ත්‍රීය කලාව සහ නර්තනය. මට නර්තනය යනු හුදෙක් දක්ෂතාවක් හෝ විනෝදාංශයක් පමණක් නොවෙයි. එය මගේ ජීවිතයේත්, අනන්යතාවයේත් කොටසක් වන අතර මගේ ආත්මය ප්‍රකාශ කරන මාධ්‍යයයි. නර්තනය මට ඉවසීම, කැපවීම, විනය සහ ආත්ම විශ්වාසය පමණක් නොව, මාව නිවැරදිව හඳුනාගැනීමටත් මග පෙන්වා තිබෙනවා.
නර්තනයේ නියැළුණු අයෙකු ලෙස තරගකරුවන් විනිශ්චය කිරීම ඔබට පහසු කටයුත්තක්ද, නැතහොත් අභියෝගයක්ද?
මගේ අදහසට අනුව එය පහසු කාර්යයකට වඩා විශාල වගකීමක් සහ අභියෝගයක්. මමත් නර්තනය ශාස්ත්‍රීයව හදාරා ඇති කෙනෙකු නිසා නර්තනාංගයක් පිටුපස පවතින කැපවීම, පුහුණුව, විනය සහ මානසික වෙහෙස පිළිබඳව මට හොඳ වැටහීමක් තිබෙනවා. සෑම තරගකරුවෙකුගේම දක්ෂතාව, නිර්මාණශීලීත්වය, තාක්ෂණික හැකියාව සහ ඉදිරිපත් කිරීමේ ගුණාත්මකභාවය සාධාරණව ඇගයීම ඉතා වැදගත්. එමෙන්ම විනිශ්චයකාරියක ලෙස මගේ වගකීම ලකුණු ලබාදීමෙන් පමණක් අවසන් වන්නේ නැහැ. තරගකරුවන්ගේ දක්ෂතා හඳුනාගනිමින් සහ අඩුපාඩු පෙන්වා දෙමින් තවදුරටත් දියුණු වීමට අවශ්‍ය ධෛර්යය ලබාදීමත් අත්‍යවශ්‍යයි. හොඳ විනිශ්චයකාරියක යනු ජයග්‍රාහකයෙකු තෝරාගන්නා අයෙකු පමණක් නොව, තරගකරුවෙකු තුළ සිටින සැබෑ කලාකරුවා හඳුනාගෙන ඊළඟ ජයග්‍රහණය කරා මග පෙන්වන කෙනෙකු බව මම විශ්වාස කරනවා.
ඔබේ ජීවිතයේ විශාලතම සිහිනය කුමක්ද?
එය රහසක්. මන්ද මම මගේ ජීවිතය එකම සිහිනයකට හෝ එකම අරමුණකට සීමා කරගැනීමට කැමති කෙනෙක් නොවෙයි. මට සිහින රාශියක් තිබෙන අතර ඒවා සැබෑ කරගැනීම වෙනුවෙන් මම නිරන්තරයෙන් මහන්සි වෙනවා. මගේ ජීවිතය තුළ මම සිහින දකින්නේ මා වෙනුවෙන් පමණක් නොවෙයි. මගේ ආදරණීයයන් වෙනුවෙනුත් සිහින දකිමින් ඒවා සැබෑ කරගැනීමට වෙහෙසෙන කෙනෙක්. ඒ නිසා මගේ විශාලතම සිහිනය එක වාක්‍යයකින් පැවසීම මට අපහසුයි.
අවසාන වශයෙන් ප්‍රේක්ෂකයන්ට පැවසීමට ඇත්තේ කුමක්ද?
සිරස ඩාන්සින් ස්ටාර් සීසන් 2 වැඩසටහන ආදරයෙන් නරඹන අතරතුර, එහි තරග වදින සියලුම දක්ෂයන්ට ඔබේ ආදරය සහ සහයෝගය ලබාදෙන ලෙස මම ප්රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
(සාකච්ඡාව - ස්ටෙෆනි කොතලාවල)
ENGLISH SUMMARY: Sri Lankan model, dancer, and Miss Earth Sri Lanka 2023 titleholder Viyana Peters has opened up about her journey in the entertainment industry and her new role on the judging panel of Sirasa Dancing Star Season 2. Speaking in an interview conducted by Stephanie Kothalawala, Peters shared that winning the Miss Earth Sri Lanka crown significantly strengthened her self-confidence and sense of responsibility, especially while representing Sri Lanka and its population of over 22 million people on an international stage alongside nearly 100 countries. Although she has received various offers following the Miss Earth 2023 pageant, Peters explained that her primary passion lies in fashion and runway modelling, a field she has formally studied. She noted that while acting is not a major ambition for her, she would consider a meaningful and challenging role suited to her abilities rather than pursuing fame. Expressing gratitude to Sirasa for giving her a platform to showcase her classical dancing background, Peters described dance as an essential part of her identity and stated that judging contestants is a serious responsibility aimed at guiding emerging artists toward future success.