මම කිසිම වැරැද්දක් කරලා නැහැ-නිමාෂා සන්දීපනී

gossiplanka image 1
 

  නිරූපණ ශිල්පිනියක මෙන්ම දක්ෂ නර්තන ශිල්පිනියක ලෙස ද කලා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන නිමාෂා සන්දීපනී රංගනය හරහා ද ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට සමත් වූවාය. විශේෂයෙන්ම 'දෙවෙනි ඉනිම' දෙවැනි අදියරේ 'චූටි' නම් චරිතය හරහා ඇය බොහෝ දෙනාගේ අවධානයට ලක්වූවාය. මේ දිනවල ඇය නව වෘත්තීය අත්දැකීමකට යොමු වී සිටින අතර, ඒ පිළිබඳව මෙන්ම සිය කලා දිවියේ සහ පෞද්ගලික ජීවිතයේ තොරතුරු පිළිබඳව ඇය පසුගියදා මාධ්‍ය වෙත මෙලෙස අදහස් දක්වා තිබුණි.


බොහෝ දෙනෙක් ඔබව හඳුනාගත්තේ 'චූටි' යන චරිතය හරහා නේද?


මම දෙවෙනි ඉනිම දෙවැනි අදියරට සම්බන්ධ වීමට පෙර ටෙලිනාට්‍ය දෙකක රඟපෑවා. ඉන් එකක් තමයි 'ආලවන්ත'. ආලවන්ත ටෙලිනාට්‍යයෙන් පසුව රංගන කටයුතුවලට යොමු නොවී සිටීමට තීරණය කරගෙන සිටි කාලයකදී තමයි දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් අයියා මට චූටිගේ චරිතය සඳහා ආරාධනා කළේ. ඒ කාලවකවානුවේදී දෙවෙනි ඉනිම ඉතා ජනප්‍රිය ටෙලිනාට්‍යයක් බවට පත්ව තිබුණා. එම ආරාධනාව ප්‍රතික්ෂේප කළ නොහැකි නිසා මම චූටිගේ චරිතය භාරගත්තා.


ජනප්‍රිය චරිතයක් බවට පත්වීමෙන් පසු හදිසියේම එවැනි තීරණයකට ආවේ ඇයි?


මම මුලින්ම කලා ක්ෂේත්‍රයට පිවිසුණේ නිරූපිකාවක් ලෙසයි. ඒ කාලයේදී මම වෙළෙඳ දැන්වීම් සඳහා දායක වුණා. පසුකාලීනව ගයාන් ශ්‍රීමාල් මහතාගේ නර්තන කණ්ඩායමේ ෆ්‍රී ස්ටයිල් නර්තන ශිල්පිනියක් ලෙස කටයුතු කළා. ඒ අතරතුරදී තමයි මට රංගනයට පිවිසීමේ අවස්ථාව උදා වුණේ. රංගනයෙන් ඉදිරියට යාමට මගේ අදහසක් තිබෙනවා. ඒ නිසා මනා හැදෑරීමක් ඇතිව මෙම ගමන යා යුතු යැයි මම සිතුවා. පසුව මම අනෝජා වීරසිංහ මහත්මියගේ 'අභිනය' රංගන පාසලට සම්බන්ධ වුණා.


රංගනය පිළිබඳ හැදෑරීමක් නොමැතිව මෙම ක්ෂේත්‍රයේ ඉදිරියට යා නොහැකි බව ඔබ විශ්වාස කරනවාද?


ඕනෑම වෘත්තියක නිරත වීමේදී ඒ පිළිබඳව හැදෑරීමක් කර තිබීම ඉතා වටිනවා. නර්තනයේ යෙදීමට වුණත් ඒ පිළිබඳ පුහුණුවක් සහ හැදෑරීමක් තිබිය යුතුයි. කිසිදු පුහුණුවකින් තොරව සෑම කෙනෙකුටම නර්තනයේ යෙදෙන්න බැහැ. රංගනයත් ඒ වගේමයි. මුල් කාලයේදී මටත් හොඳින් රඟපාන්න හැකියාව තිබුණේ නැහැ. නමුත් සාරංග සර් මා කෙරෙහි විශ්වාසය තබා ඒ අවස්ථාව මට ලබා දුන්නා. ඒ හරහා මම රංගනය පිළිබඳව බොහෝ දේ ඉගෙන ගත්තා. එලෙස හැදෑරීමක් ඇතිව කටයුතු කළ විටයි කරන කාර්යය සාර්ථක කරගත හැකි වන්නේ.


බොලිවුඩ් නළු රිතික් රෝෂන් සමඟ එකම වේදිකාවක නර්තනයේ යෙදීමට ලැබුණු අවස්ථාව ගැන කතා කරමුද?


ඔහු දක්ෂ බොලිවුඩ් නළුවෙකු මෙන්ම විශිෂ්ට නර්තන ශිල්පියෙක්. රිතික් රෝෂන් සමඟ නර්තනයේ යෙදීමට ලැබීම මගේ ජීවිතයේ ලැබූ සුවිශේෂී අවස්ථාවක්. මට එම අවස්ථාව හිමිවුණේ ගයාන් ශ්‍රීමාල් සර්ගේ නර්තන කණ්ඩායමේ සාමාජිකාවක් ලෙස කටයුතු කළ නිසයි.


මේ වනවිට ඔබ නව මාවතකට යොමු වී සිටින බව ආරංචියි?


ඔව්, මම මේ දිනවල 'අහස' රූපවාහිනී නාලිකාවේ විකාශය වන චාට් ෂෝ වැඩසටහනක නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා. එය මට සම්පූර්ණයෙන්ම වෙනස් අත්දැකීමක්. මම කවදාවත් නිවේදිකාවක් ලෙස කටයුතු කරන්න සිතාගෙන සිටියේ නැහැ. නමුත් ලැබුණු අවස්ථාව අභියෝගයක් ලෙස භාරගෙන එයට මුහුණ දී බලන්න තීරණය කළා. මගේ කතාබහ කරන විලාසය ඒ සඳහා සුදුසු බව බොහෝ දෙනා පැවසුවා. නිවේදන කටයුතු රංගනය මෙන් පහසු දෙයක් නොවෙයි. පැය දෙකක කාලයක් පුරා මෙම වැඩසටහන සජීවීව ඉදිරිපත් කරනවා. මා සමඟ තවත් කලා ශිල්පීන් සිව්දෙනෙකු මෙම වැඩසටහනට දායක වන අතර, මම සතියකට එක් දිනක් මෙම වැඩසටහන මෙහෙයවනවා.


ඔබ හදිසියේම නර්තන ක්ෂේත්‍රයෙන් ඉවත් වූ බවට පසුගිය කාලයේ කතාබහක් ඇති වුණා නේද?


මම නර්තනයෙන් ඉවත් වෙලා නැහැ. ඇයි නර්තනය නතර කළේ කියලා සමහරු මගෙන් විමසුවා. මම වසර ගණනාවක් ගයාන් ශ්‍රීමාල් සර්ගේ නර්තන කණ්ඩායමේ වැඩ කළා. එතැනින් එහාට මගේ ගමන යා යුතුයි කියා සිතුණු නිසයි මම එම කණ්ඩායමෙන් ඉවත් වුණේ. කෙසේ වෙතත් වෙනත් නර්තන කණ්ඩායමකට සම්බන්ධ වීමේ අදහසක් මට නැහැ.


නිමාෂා කාලයෙන් කාලයට විවිධ විලාසිතාවලින් දැකගන්නට ලැබෙනවා?


ඔව්, මම විලාසිතා අංශයට ප්‍රමුඛත්වයක් ලබා දෙන කෙනෙක්. මම සාම්ප්‍රදායික විලාසිතාවලින් ඔබ්බට ගිය විලාසිතා තමයි තෝරාගන්නේ. මම කිසිදු වරදක් කර නැහැ. මම මෙම ක්ෂේත්‍රයට පැමිණියේ බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන්. මම එක රැයකින් ජනප්‍රිය වූ කෙනෙක් නොවෙයි. ඒ නිසා අනෙක් අය කුමක් පැවසුවත් මම ඒ දේවල් ගැන ලොකුවට සිතන්නේ නැහැ. අපව මෙලෙස ක්ෂේත්‍රයේ ඉදිරියට රැගෙන යන්නේ අපගේ ආදරණීය ප්‍රේක්ෂකයනුයි. ඔවුන් කෙරෙහි ඇති මගේ ආදරය හැමදාමත් ඒ ආකාරයෙන්ම පවතිනවා.


පසුගියදා ඔබ විවාහ වූ බවට විශාල කතාබහක් පැතිර ගියා නේද?


අපෝ, මම තවම විවාහය ගැන සිතලාවත් නැහැ. මම මෑතකදී මනාලියක ලෙස සැරසී ඡායාරූප පෙළකට පෙනී සිටියා. එම ඡායාරූප තමයි සමාජ මාධ්‍යවල වයිරල් වුණේ. ඒවා දැකපු බොහෝ දෙනෙක් හිතලා තිබුණේ මම හොර රහසේම විවාහ වෙලා කියලයි. කලා ක්ෂේත්‍රයේ ඇතැම් අය පවා මට සුබපැතුම් එක් කර තිබුණා.


සාකච්ඡාව - වසන්ත විතාරණගේ


ENGLISH SUMMARY: Sri Lankan actress, model, and dancer Nimasha Sandeepani, widely known for her role as Chooti in the popular teledrama Deweni Inima Season 2, has stepped into television presenting with a new two-hour live chart show on Ahasa TV. In an interview conducted by Wasantha Witharanage, she spoke about taking on the weekly live hosting challenge alongside four other artists, noting that it offers a completely different experience from acting. Nimasha recalled beginning her career in modeling and commercials before joining choreographer Gayan Srimal’s freestyle dance troupe, an opportunity that also allowed her to share the stage with Bollywood star Hrithik Roshan. Addressing rumors about quitting dance, she clarified that she only left Gayan Srimal’s troupe to pursue personal growth and has no plans to join another group. After acting in dramas such as Alawantha and receiving her breakthrough from director Saranga Mendis, she joined Anoja Weerasinghe’s Abhinaya Acting School to formally study acting. Nimasha also dismissed recent rumors about a secret marriage, explaining that viral photos from a bridal photoshoot led fans and industry colleagues to mistakenly congratulate her.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post