ප්‍රවීණ නිර්මාණ ශිල්පී ෂර්ලි පී. දෙලංකාවල අධ්‍යක්ෂණය කළ 'චාතූර්යා' යනු එම යුගයේ ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහළින්ම දිනාගත් ටෙලිනාට්‍යයකි. එහි තේමියගේ චරිතයට පණ පෙවූ ප්‍රවීණ නළු රොජර් සෙනෙවිරත්න සමඟ චාතූර්යාගේ චරිතය නිරූපණය කළේ ප්‍රවීණ රංගන ශිල්පිනී නයනා කුමාරියි. ඇයගේ එම රංගනය කොතරම් ප්‍රේක්ෂක සිත් ගත්තේද යත්, අදටත් මගතොටේදී බොහෝ දෙනෙක් ඇයව හඳුන්වන්නේ 'චාතූර්යා' යන නමිනි.
එම අතීත මතකයන් සහ වත්මන් ටෙලිනාට්‍ය කලාව පිළිබඳව මල්මි කෞෂල්‍යා විසින් නයනා කුමාරි සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.
මේ දිනවල ඔබේ තොරතුරු කෙසේද?
විශේෂයක් නැහැ. මගේ රූපලාවණ්‍යාගාරවල කටයුතු සමඟ කාර්යබහුල වී සිටිනවා. ඒ අතරතුර ටෙලිනාට්‍ය රූගත කිරීම් සඳහාද කාලය වෙන් කරනවා. මේ දිනවල 'අමුතු කල්ලිය' ටෙලිනාට්‍යය නිසා තරමක් වැඩිපුර කාර්යබහුල වී සිටිනවා.
ඔබ ටෙලිනාට්‍ය කලාවෙන් බොහෝ දුරස් වී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා?
එයට හේතු කිහිපයක් බලපෑවා. ඉන් එකක් තමයි අපි දැන් එන්න එන්න වයසට යනවා. ඒ නිසා තරුණ චරිත හෝ නොගැළපෙන චරිත රඟපාන්න බැහැ. යම් චරිතයකට ආරාධනා ලැබුණත් එය භාරගැනීමට පෙර සිතා බැලිය යුතු කරුණු රාශියක් තිබෙනවා. කෙසේ වෙතත් මම ටෙලිනාට්‍ය කලාව සම්පූර්ණයෙන්ම අතහැර දමා නැහැ. ඉඳහිට හෝ රංගනයට දායක වෙනවා.
චරිතයක් භාරගැනීමේදී සිතා බලන කරුණු මොනවාද?
මෙගා ටෙලිනාට්‍ය දීර්ඝ කාලයක් පුරා ඇදී යන බැවින් දිගින් දිගටම රූගත කිරීම්වලට සහභාගි වීම මට ගැටලුවක්. මොකද මම මගේ රූපලාවණ්‍යාගාරවල වැඩකටයුතු ගැනත් සොයා බැලිය යුතුයි. අනෙක් අතට ටෙලිනාට්‍යයක් භාරගන්නා විට ලැබෙන චරිතය හිතට දැනෙන එකක් විය යුතුයි. නිකන්ම රඟපාන්නන් වාලේ රඟපාන්න බැහැ. තවත් වැදගත් කාරණයක් වන්නේ ගෙවීම්. සියලු වැඩ අතහැර ගොස් වටිනාකමක් නැති දෙයකට සම්බන්ධ වෙන්න මම කොහෙත්ම කැමති නැහැ. එබැවින් ලැබෙන චරිතයට හොඳ වටිනාකමක් තිබිය යුතුයි. එසේ නොමැති නම් ලැබෙන මුදල වටිනා මට්ටමක පැවතිය යුතුයි. මේ දෙකම නොමැති නම් මම ටෙලිනාට්‍යයක් භාරගන්නේ නැහැ.
වෘත්තීයමය වශයෙන් රංගනයේ නියැළුණු අතීතයේදීත් ඔබට එවැනි සීමාවන් තිබුණාද?
ඒ කාලයේ මම තරුණ ජනප්‍රිය නිළියක්. එවකට සීමාවන් ගැන සිතීමට මට අවශ්‍යතාවක් ඇති වුණේ නැහැ. එයට හේතුව මට හැමදාමත් ලැබුණේ හොඳම නිර්මාණ සහ හොඳම ටෙලිනාට්‍ය අධ්යක්ෂවරුන් වීමයි. ඒ නිසා සීමා පනවා ගැනීමට අවශ්‍ය වුණේ නැහැ.
ඒ කාලයේ ටෙලිනාට්‍ය කලාව ඉතා සුන්දර අත්දැකීමක් වුණාද?
ඇත්තෙන්ම ඔව්. තෝරා බේරා ගැනීමට තරම් චරිත අපට ලැබුණා. අපට ඉහළ වටිනාකමක් මෙන්ම විශාල ජනප්‍රියත්වයක් හිමි වුණා. අපව රූපවාහිනී තිරයෙන් දකින තුරු නොඉවසිල්ලෙන් ආලින්දයේ බලා සිටි ප්‍රේක්ෂකයන් සිටි ඒ අතීතය ඉතා සුන්දරයි.
ඒ කාලයේ ඔබ අතින් ඇතැම් චරිත ප්‍රතික්ෂේප වූ අවස්ථා තිබුණාද?
ඔව්. එසේ සිදු වුණේ කාල වේලාව නොමැතිකම නිසයි.
එලෙස චරිත ප්‍රතික්ෂේප කිරීම ගැන පසුතැවුණු අවස්ථා තිබෙනවාද?
කවදාවත්ම නැහැ. එයට හේතුවක් තිබෙනවා. මම ප්‍රතික්ෂේප කළ ඒ චරිත මගේ සමකාලීන රංගන ශිල්පිනියකට ලැබුණා. එමඟින් ඔවුන්ටත් ක්ෂේත්රය තුළ නමක් ගොඩනගා ගැනීමට අවස්ථාව හිමි වුණා. ඒ ගැන මට විශාල සතුටක් දැනුණා.
නමුත් ඔබ 'චාතූර්යා' ටෙලිනාට්‍යයේ චාතූර්යාගේ චරිතය වෙනත් කෙනෙකුට ලබා දුන්නේ නැහැ?
මම එය ලබා නොදුන්නා නොවෙයි. රොජර් අයියා චාතූර්යාගේ චරිතය වෙනත් නිළියකට ලබා දීමට කැමති වුණේ නැහැ.
ඔබ එනතුරු රොජර් සෙනෙවිරත්න මාස ගණනාවක් බලා සිටියාද?
ඔව්, එයයි සිදු වුණේ. චාතූර්යා චරිතය සඳහා මට ආරාධනා ලැබෙන විට මම තවත් ටෙලිනාට්‍ය කිහිපයක රූගත කිරීම්වල නිරතව සිටියා. ඒ වන විට මට 'චාතූර්යා' ගැන විශේෂ හැඟීමක් දැනුණේත් නැහැ. ඒ නිසා මම රොජර් අයියාට කිව්වා වෙනත් නිළියකට ඒ චරිතය ලබා දෙන්න, නැත්නම් මාස තුන හතරක් බලා සිටීමට සිදුවේවි කියලා.
රොජර් සෙනෙවිරත්න ඔබ වෙනුවෙන් ඒ කාලය පුරාම බලා සිටියාද?
ඔව්. ඔහු මම එනතුරුම පුදුමාකාර ඉවසීමකින් සහ සංයමයකින් බලා සිටියා.
චාතූර්යාගේ චරිතයට ඔබම සුදුසු යැයි සිතුවේ රොජර් සෙනෙවිරත්න පමණද?
රොජර් අයියා අධ්යක්ෂ ෂර්ලි පී. දෙලංකාවල සහ චාතූර්යා නවකතාව රචනා කළ එඩ්වඩ් මල්ලවාරච්චි මහතා සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කර තිබුණා. මාව එම චරිතයට හරියටම ගැළපෙන බවට ඔහු දැරූ අදහස ඔවුන් දෙදෙනාද අනුමත කර තිබුණා.
චාතූර්යාට ඔබම ගැළපෙන බව පැවසීමට හේතුව කුමක්දැයි ඔබ විමසුවේ නැද්ද?
එයට රොජර් අයියා ළඟ නිශ්චිත පිළිතුරක් තිබුණේ නැහැ. ඔහු කිව්වේ චාතූර්යාට ඔයාම මිස වෙන කවුරුවත් නැහැ, එයට හේතුව මමවත් දන්නේ නැහැ කියලයි.
එක රැයකින් 'චාතූර්යා' ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තා?
ඇත්තෙන්ම සිතාගත නොහැකි තරමට එය ජනප්‍රිය වුණා. චාතූර්යා අඳින පලඳින ආකාරය, කොණ්ඩය සකසන විලාසිතාව සහ කොණ්ඩය ගොතා පාට වූල් පටි ඔතන ආකාරය ඒ කාලයේ තරුණියන් බහුලව අනුකරණය කළා. ඒ කාලයේ උපන් ගැහැනු දරුවන්ට 'චාතූර්යා' ලෙස නම් තැබීමට තරම් තරුණ මව්වරුන් පවා එම චරිතයට ඇලුම් කළා.
චාතූර්යා ඒ තරම් ආකර්ෂණීය නිර්මාණයක් වනු ඇතැයි ඔබ සිතුවාද?
කවදාවත්ම නැහැ. එය ඒ තරම් ජනප්‍රිය වේවි යැයි මම සිතුවේ නැහැ.
ලියුම් මිටි ගණන් සමඟ මංගල යෝජනා පවා ලැබුණු බව ඇත්තද?
ඔව්. ඒ කාලයේ ජංගම දුරකථන ජනප්‍රියව තිබුණේ නැහැ. නිවසේ ස්ථාවර දුරකථනයට විවේකයක් තිබුණේම නැහැ. දිගින් දිගටම ඇමතුම් ලැබුණා. එදා චාතූර්යා චරිතය කෙරෙහි ප්‍රේක්ෂකයන් තුළ එතරම්ම උන්මාදයක් තිබුණා.
අදටත් මගතොටේදී ඔබව දුටු විට ප්‍රේක්ෂකයන්ට චාතූර්යා සිහිපත් වනවාද?
අදටත් මාව දුටු විට බොහෝ දෙනෙක් පවසන්නේ අන්න චාතූර්යා යනවා කියලයි. 2023 වසරේදී පවා යූටියුබ් ඔස්සේ චාතූර්යා විකාශය වූ විට මිලියන ගණනක් දෙනා එය නරඹා තිබුණා. දශක තුනකට ආසන්න කාලයක් ගත වී ඇතත් චාතූර්යා තවමත් ආකර්ෂණීයයි.
'පබළු' ටෙලිනාට්‍යය හරහා ඔබ තරුණ වයසේදීම මවකගේ චරිතයකට පිවිසුණා?
එය මම ඉතා ආසාවෙන් රඟපෑ චරිතයක්. එහි මගේ පුතා ලෙස රංගනයෙන් දායක වූ සුමිත් රත්නායක මට මතක හැටියට මටත් වඩා වැඩිමහල් අයෙක්. කෙසේ වෙතත් එම චරිතයට ඉහළ ප්‍රතිචාර ලැබුණා.
තරුණ වයසේදීම මවකගේ චරිතයකට කොටු වූයේ ඇයි?
වයසට ගිය පසු මවකගේ චරිත රඟපානවාට වඩා තරුණ වයසේදී එවැනි චරිතයක් නිරූපණය කිරීම තුළ විශේෂ ආත්ම තෘප්තියක් තිබුණා. එයට ප්‍රේක්ෂක අවධානයද සුවිශේෂී ලෙස හිමි වෙනවා.
වර්තමාන ටෙලිනාට්‍ය කලාවේ ගමන් මග පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
දක්ෂ නවකයන් බිහි වී සිටියද ඔවුන්ට හිතට දැනෙන හොඳ නිර්මාණයක් කිරීමට ලැබෙන අවස්ථා ඉතා අඩුයි. ඔවුන් රංගනයේ යෙදෙනවාට වඩා තරගයකට මැදි වී සිටින බවක් පෙනෙනවා. මගේ අදහස නම් ඉඳහිට හොඳ ටෙලිනාට්‍ය බිහි වුවද, අද ටෙලිනාට්‍ය කලාව අරමුණක් නොමැති තරගකාරී ගමනක නිරතව සිටින බවයි.
ටෙලිනාට්‍ය නිර්මාණකරුවන් රූපවාහිනී නාලිකා මගින් මෙහෙයවනු ලබන බවට ඇති අදහසට ඔබ එකඟද?
සිදුවන්නේ එයම තමයි. නොනවත්වා දුවන මෙගා ටෙලිනාට්‍ය රැල්ල නිසා දක්ෂ නිර්මාණකරුවන් අද නිවෙස්වලට වී නිහඬව කාලය ගත කරනවා. හොඳ නිර්මාණයක් කිරීමට ඔවුන්ට අවස්ථාවක් ලබා දෙන කෙනෙකු නොමැති තරම්.
අවසාන වශයෙන්, ඔබේ රංගන ජීවිතය පිළිබඳව ඔබ තෘප්තිමත්ද?
අනිවාර්යයෙන්ම ඔව්. හොඳ නිර්මාණ, ජනප්‍රියත්වය සහ සම්මානනීය ඇගයීම් මධ්‍යයේ මා පැමිණි ගමන පිළිබඳව මම අතිශයින්ම තෘප්තිමත්.
ENGLISH SUMMARY: Veteran Sri Lankan teledrama actress Nayana Kumari has spoken about her current career, her selective approach to acting, and the lasting popularity of her iconic 1990s role in the teledrama Chathurya. In an interview conducted by Malmi Kaushalya, Kumari explained that she now balances her salon business with occasional acting projects, including the teledrama Amuthu Kalliya. She noted that aging, long shooting schedules for mega teledramas, and the need for either a meaningful character or fair remuneration have made her more selective about accepting roles. Reflecting on Chathurya, directed by Shirley P. Delankawala and based on Edward Mallawaarachchi’s novel, she recalled how co-star Roger Seneviratne waited three to four months to cast her opposite his character, Themiya. The drama became a massive cultural phenomenon, with viewers copying her style, naming their daughters Chathurya, and sending marriage proposals, while its 2023 YouTube release still drew millions of views. Kumari also recalled enjoying her mother role alongside Sumith Ratnayake in Pabalu, expressed concern over today’s mega-drama culture, and stated she is deeply satisfied with her acting career.