පුංචි තිරයේ මාරම්බරිය වීම ගැන ඉශංකා ජහන්වී කියපු දේ

gossiplanka image 1
සිනමා රංගනශිල්පිනියක් වෙලා රසිකයො අතරට ආපු ඉශංකා ජහන්වී, මේ දිනවල විකාශයවන මාරම්බරී ටෙලිනාට්‍යයෙන් පුංචි තිරයේ රංගන ශිල්පිනියක් විදිහට රසිකයො අතරට ඇවිත් ඉන්නවා. ඒ ගැන දැනගන්න ඉශංකා එක්ක කතා කරන්න අපි හිතුවා. 

1. ඉශංකගේ රංගන ජීවිතය පටන්ගත්තෙ කොහොමද ? 

මම පුංචි කාලෙ ඉදලා රූපවාහීනී වෙළෙද දැන්වීම් වලට සම්බන්ධ වුණා. පාසල් අධ්‍යපනය අවසාන කලාට පස්සෙ 2022 වසරෙදි ආශාවරී චිත්‍රපටය හරහා සිනමාවට පිවිසෙන්න අවස්ථාව ලැබීමත් එක්ක මට සිනමා නිලියක් වෙන්න ලැබුනා. 

2. රංගන ශිල්පිනියක් වුන ඉශංකා ගුවන් සේවිකාවක් වුනේ ඇයි ? 

පුංචි කාලෙ ඉදලා රංගනයට මම යොමුවෙලා හි⁣ටියට කවදාහරි ගුවන් සේවිකාවක් වෙන හීනය මගේ හීතේ පැලපදියම් වෙලා තිබුනා. ඉතින් ශ්‍රි ලංකා ගුවන් සේවයේ ඇබෑර්තු තියන වෙලාවක මම අයදුම් කළා. මගේ සුදුසුකම් අනුව මට ගුවන් සේවිකා රැකියාව හම්බවුනා. හැබැයි ඒ වෙද්දි මම චිත්‍රපට 3 ට රංගනයෙන් දායකවෙලා නිලියක් විදිහ⁣ට රසිකයො අතර ප්‍රතිරූපයක් හදාගනිමිනුයි හිටියෙ. ඉතින් ගුවන් සේවිකාවක් වෙන්න ලැබුනත් මම රගපෑම අතාරින්නෙ නැතුව දිග⁣ටම කරගෙන ගියා.

3. රැකියා දෙකක් එකට, අපහසුවක් නැතුව කරන්න පුළුවන්ද ? 

ඔව්. ගුවන් සේවිකා රැකියාව කරන කාලයේදි රැකියාවට අවංකවත් රංගන වෘත්තියෙදි රංගනයට අවංක වෙන්නත් මම පුරුදුවෙලා ඉන්නවා. කිසිම වෙලාවක මේ රැකියා දෙක පටලවගෙන උඩින් පල්ලෙන් කරන පුරුද්දක් මගේ නැහැ⁣. ගුවන් සේවා ආයතනය මට ඉඩ දීලා තියන්නෙ රැකියා වෙලාවෙන් පස්සෙ රංගන කටයුතු කරන්න. ඒ වගේම මම රංගනයෙන් දායකවන නිර්මාණකරුවන් මට නිදහස දීලා තියෙන්නෙ ගුවන් සේවා රැකියාවට බාදාවක් වෙන්නෙ නැතුව රංගන කටයුතු වලට වෙලාව හදාගන්න. ඒ නිසා කිසිම මානසික පීඩනයක් නැතුව මේ රැකියා දෙකම මම නිදහසේ කරනවා. 

4. ඉශංකා සිනමාවෙන් ටෙලිනාට්‍යය වලට පිවිසුනේ කොහොමද ? 

සිනමාව සහ ටෙලිනාට්‍ය කියන්නෙ කලා මාධ්‍ය දෙකක්. මට සිනමාව ගැන අත්දැකීම් තිබුනට ටෙලිනාට්‍ය ගැන අත්දැකීම් තිබුනෙ නැහැ⁣. ඉතින් ටෙලිනාට්‍ය ගැන අත්හදා බැලීමේ අරමුණින් පහුගිය වසරෙදි මගේම දෝ ටෙලිනාට්‍යයට මම සම්බන්ධ වුණා. එතනින් පස්සෙ මට දැනුනා ටෙලිනාට්‍යයවල රගපෑමේ හැකියාවක් මට තියනවා කියලා. ඉතින් වැඩිය දිගට ඇදෙන්නෙ නැති කොටස් 80 - 100 අතර ටෙලිනාට්‍ය තෝරාබේරාගෙන රගපාන්න මම තීරණය කළා. 

5. පුංචි තිරයට, ආපහු කාලෙකට පස්සෙ මාරම්බරී ටෙලිනාට්‍යයෙන් ආපු අත්දැකීම දැනෙන්නෙ මොනවිදිහටද ? 

අරුණ ජයවර්ධන අධ්‍යයක්ෂණය කරන මාරම්බරී ටෙලිනාට්‍යයෙන් කියන්නෙ අසම්මතය සහ සම්මතය ගැන කතාවක්. මම කාලයක් තිස්සෙ බලාගෙන හිටියා අරුණ ජයවර්ධන වගේ ප්‍රවීනයෙක්ගෙ වැඩකට සම්බන්ධවෙන්න. ඉතින් ඒ අවස්ථාව මට මාරම්බරී හරහා උදා වුණා. 

6. මාරම්බරී ටෙලිනාට්‍යයේ ඉශංකා කවුද ? 

ස්නේහාගේ චරිතයෙනුයි මාරම්බරී ටෙලිනාට්‍යයෙන් මම ප්‍රේක්ෂකයො අතරට එන්නෙ. ස්නේහා කියන්නෙ miss sri lanka තරගය දිනලා නිරූපිකාවක් විදිහට වැඩ කරන තරුණියක්. හැබැයි රෝස මල් අතුරපු සුවපහසු ජීවිතයක් නම් නෙමෙයි ස්නේහා ගෙවන්නෙ.

ගැහැණු දරුවෙක් වීම නිසා පවුල සහ සමාජය තුළ ස්නේහට මුහුණ දෙන්න වුන බලපෑම් සහගත දේවල් වලින් ස්නේහගේ ජීවිතය අවුල් වෙලයි තියෙන්නෙ. ඉතින් ආදරය කියන මානුශීය හැගීම, තමන්ට වෙද හෙදකම් කරන වෛද්‍යවරයාගෙන් බලාපොරොත්තුවීමත් සමග

සමාජය විසින් පනවලා තියන සදාචාරාත්මක නීති, සම්මතයන් අභිබවලා ගිහින් සංකීර්ණ සිදුවීම් මාලාවකට ස්නේහාට මුහු⁣ණ දෙන්න වෙනවා. 

7. ස්නේහාගේ චරිතය වෙනුවෙන් ඉශංකා  හැඩගැහුනෙ කොහොමද ? 

ස්නේහාගේ චරිතය සාම්‍ප්‍රදායික අහිංසක පෙම්වතියකගේ චරිතයක් නෙමෙයි. ජීවිතයේ විවිද හැලහැප්පීම් වලට ලක්වෙලා ආදරය බලාපොරොත්තුවන තරුණියක්. ඉතින් චරිතය ගැන අධ්‍යයනය කරලා අධ්‍යක්ෂක අරුණ ජයවර්ධනගෙ සහ බිමල් ජයකොඩි වැනි ප්‍රවීනයන්ගේ උපදෙස් අරගෙන ස්නේහගේ චරිතය මම ගොඩනගාගත්තා. 

8. අසම්මතයේ ප්‍රේමවන්තයා විදිහට බිමල් ජයකොඩිව හමුවීම ගැන මොකද හිතන්නෙ  ? 

බිමල් ජයකොඩි අයියව මට මුලින්ම හම්බවුනේ මගේ පළවැනි චිත්‍රපටය වුන ආශාවරී චිත්‍රපටයෙන්. මම බිමල් අයියව දැක්කෙ අනෙත් නළුනිලියන්ට සහ නිෂ්පාදක කණ්ඩායමට ලොකු සහයෝගයක් ලබා දෙන කෙනෙක් විදිහට. බිමල් අයියගේ රංගන විලාසය දැකලා රංගනය ගැන ගොඩක් දේවල් මම ඉගෙනගත්තා. ආශාවරී චිත්‍රපටයෙන් අවුරුදු කීපයකට පස්සෙ නැවතත් බිමල් අයියව මාරම්බරී ටෙලිනාට්‍යයෙන් මට හම්බෙලා ඉන්නවා. බිමල් අයියා වගේ දක්ෂ විදිහට රගපාන, ප්‍රේක්ෂකයන්ගේ හිතට දැනෙන විදිහට හැගීම් ප්‍රකාශකරන රංගන ශිල්පියෙක් මාරම්බරී ටෙලිනාට්‍ය හරහා මගේ අසම්මත පෙම්වතා වීම ගැන සතුටුයි. 

9. සම්මතය සහ අසම්මතය කියලා ප්‍රේමය වෙන්කරන්න පුළුවන්ද ? 

ඔව්. ප්‍රේමයේදි සම්මතය සහ අසම්මතය බෙදුම් ඉරකින් වෙන්කරන්න පුළුවන් කියලා මම හිතනවා. සම්මත ප්‍රේමයට වඩා අසම්මත ප්‍රේමයෙදි විදින්න වෙන හැලහැප්පීම් වැඩියි. ඒ ගැන මාරම්බරී ටෙලිනාට්‍යයෙන් ලස්සනට කියනවා. 

10. ඉශංකා ආදරය විදිනවද ? 

ඒක මම මේ විදිහට කියන්නම්. ආදරය නැතුව අපි කාටවත් ජීවත් වෙන්න බැහැ. ඉතින් මමත් ආදරය ගොඩක් බලාපොරොත්තුවෙන කෙනෙක්. 

11. පිරිමි ළමයින්ගෙන් ලැබෙන ආකර්ශනය ගැන අදහස මොකක්ද ? 

පිරිමි ළමයි මට ආකර්ශනය වුනාට මම ඒ හැම ආකර්ශනයක්ම මම බාරගන්නෙ නැහැ⁣. පිරිමි ළමයෙක්ගෙන් මම බලාපොරොත්තුවන ගුණාංග තියනවා. ඒ තමයි අවංකකම සහ උගතක්ම. අවංකකමයි උගතක්මයි නැතුව එකට ජීවත් වෙන්න බැහැ කියලයි මම හිතන්නෙ. 

12. විදේශ නිලියකට සමාන පෙනුමක් ඉශංකට තියනවා කියලා රසිකයො අතර ප්‍රසිද්ධයි... 

ඔව්. සමහර රසිකයො කියනවා මට බොලිවුඩ් නිලියකගෙ පෙනුමක් තියනවා කියලා. තවත් සමහර රසිකයො කියනවා මම හොලිවුඩ් නිලියක් වගේ කියලා. මගේ පෙනුමට හේතුව අම්මයි තාත්තයි. මගේ අම්මා නුවර. තාත්තා කතෝලික බක්තිකයෙක්. ඉතින් මේ ජාන එකතුවෙලා තමයි මාව හැදිලා තියෙන්නෙ. 

13. ජීවිතය ගැන ඉශංකගේ බලාපොරොත්තු මොනවද ? 

ජීවිතය ගැන මට දැන් ලොකු බලාපොරොත්තු  නැහැ⁣. පුංචි කාලෙ ඉදලා බලාපොරොත්තුවුන දේවල් මම මේ වෙද්දි ඉටුකරගෙන ඉවරයි. දැන් ඉතින් ආදරයයි සතුටයි විතරයි මම ජීවිතයේදි බලාපොරොත්තු වෙන්නෙ. 

ලක්ෂාන් ජයසූරිය

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post