බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ නවතම සිනමා නිර්මාණය වන 'King' හි විදෙස් සිනමා ප්‍රදර්ශන අයිතිය ඉන්දීය රුපියල් කෝටි 175ක දැවැන්ත මුදලකට අලෙවි වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මෙය ඉන්දීය සිනමා ඉතිහාසයේ චිත්‍රපටයක විදෙස් ප්‍රදර්ශන අයිතිය වෙනුවෙන් ගෙවූ ඉහළම මුදල ලෙස සැලකෙන අතර, මීට පෙර කිසිදු ඉන්දීය චිත්‍රපටයක විදෙස් ප්‍රදර්ශන අයිතිය වෙනුවෙන් කෝටි 100ක සීමාව ඉක්මවූ ගනුදෙනුවක් සිදුව නොතිබීම විශේෂත්වයක්.
'Pinkvilla' වෙබ් අඩවිය වාර්තා කරන පරිදි, අමෙරිකානු ඩොලර් මිලියන 18කට අධික වටිනාකමකින් යුත් මෙම ගනුදෙනුව සිදුකර ඇත්තේ ජාත්‍යන්තර චිත්‍රපට බෙදාහැරීමේ ප්රබලයෙකු වන 'Phars Films' සමාගම විසින්. මීට පෙර ෂාරුක්ගේ 'Pathaan' සහ 'Jawan' වැනි චිත්‍රපටවල විදෙස් බෙදාහැරීම් සිදුකළේ 'Yash Raj Films' සමාගම වුවද, මෙවර එම වාඩුව 'Phars Films' විසින් බිඳ දමා ඇති බවයි සඳහන් වෙන්නේ.
කෙසේ වෙතත්, මෙම අතිවිශාල මුදල නිසා 'King' චිත්‍රපටයට ඉදිරියේදී දැවැන්ත ආදායම් ඉලක්කයක් සපුරාලීමට සිදුව තිබෙනවා. සිනමා විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ගනුදෙනුවේ පිරිවැය පියවා ගැනීමට පමණක් මෙම චිත්‍රපටය විදෙස් වෙළෙඳපොළෙන් කෝටි 350ත් 375ත් අතර දළ ආදායමක් උපයාගත යුතු බවයි.
ප්‍රකට අධ්යක්ෂ සිද්ධාර්ත් ආනන්ද් විසින් අධ්‍යක්ෂණය කරන 'King' චිත්‍රපටයේ විශේෂම විශේෂත්වය වන්නේ, ෂාරුක් ඛාන් සිය ආදරණීය දියණිය වන සුහානා ඛාන් සමඟ පළමු වරට එකම තිරයක රංගනයෙන් දායක වීමයි.
මීට අමතරව දීපිකා පදුකෝන්, අභිෂේක් බච්චන්, රාණි මුඛර්ජි සහ ජයිදීප් අහ්ලාවත් ඇතුළු තරු රැසක් මීට රංගනයෙන් එකතු වෙනවා.
ලොව පුරා සිනමාහල් වෙත එළැඹෙන දෙසැම්බර් 24 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිත මෙම සුපිරි චිත්‍රපටය බොලිවුඩ් බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කිරීමට සමත් වේද යන්න පිළිබඳව මේ වන විටත් ලොව පුරා සිනමා ලෝලීන්ගේ දැඩි අවධානය යොමුව තිබෙනවා.