මව් රටින් එපිට පදිංචිව සිටියත් ඇය කලාවට ආදරය කළාය. දැනුමෙන් පෝෂණය වන්නට දුරු රටකට ගියත් තමන්ට ලැබෙන කලා කටයුතු සඳහා මව් රටට පියඹා එන්නට ඇය පසුබට නොවන්නීය. සිනමාවේදී චරිත තෝරා බේරා ගනිමින් සීරුවෙන් පියමං කරන ඇයගේ අපූරූ රංගනයක් දැක ගත හැකිවූයේ සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ සීරුවෙන් චිත්‍රපටයෙනි. ඇය සුරූපී නිළි ඩිස්නි රාජපක්ෂය. සිනමා අධ්යක්ෂ සුරංග ද අල්විස් විසින් නිර්මාණය කරන ලද Room No 106 තිරගත කර මාස කිහිපයක් ගත වී ඇතත්, සිනමා ලෝලීහු තවමත් ඒ ගැන කතා කරති. විශේෂයෙන් පසුගිය කාලයේ වැඩි වශයෙන් කතාබහ ඇතිවූයේ අධධථ ව්ධ. 106 ප්‍රධාන චරිතය රඟපෑ ඩිස්නි රාජපක්ෂ ගැනයි. ඇතැම් උදවියට ඇගේ රංගනය ගැන නොව, මංගල දර්ශනය සඳහා ඇය සැරසී ආ ඇඳුම පිළිබඳ බොහෝ ප්‍රශ්න මතු වී තිබුණි. ඇය විලාසිතාවන්ට ප්‍රිය කරන්නියකි. එනිසා කිසිදු අයුරකින් ඈ ගැන කියූ කතා ගැන සැලුනේද නැත. Room No 106 චිත්‍රපටයට පසුබිම් වී තිබුණේ පසුගිය කාලයේ ලංකාවේ ඇතිවූ බිහිසුණු ඝාතනයක් පිළිබඳ සිදුවීමකි. එයට මූලික වූ තරුණියගේ චරිතයට පණ පෙවූයේ ඩිස්නිය. එමනිසා ඩිස්නි රාජපක්ෂ පිළිබඳ සටහනක් තැබිය යුතුමය. මන්ද Room No 106 චිත්‍රපටයේ ඇයගේ රංගනයේ විශේෂතවයක් තිබූ නිසාවෙනි. කාර්යබහුල ජීවිතයක් ගත කරන අතරේ සරසවිය වෙනුවෙන් ඇගේ කාලයෙන් බිඳක් වෙන්කිරීමට අමතක නොකළාය.
Room No 106 සඳහා ලැබුණු ප්‍රතිචාර ගැන හිතා ගන්න බැරි තරම්. එහි මංගල දර්ශනය තිබුණ දා සිට අද වෙනකන් ප්‍රතිචාර ලැබෙනවා. අති සාර්ථකව Room No. 106 දිවයින පුරා තිරගත් වුණා. තිරගත වී කාලයක් යනවිට ප්‍රතිචාර අඩු වෙනවා. ඒත් මට එසේ වුණේ නැහැ. කොහේ ගියත් මට මගේ රංගනය සඳහා ප්‍රතිචාර ලැබෙනවා. Room No 106 සඳහා ආරාධනා ලැබෙන අවස්ථාවේ මම හිටියේ ඕස්ට්‍රේලියාවේ. මගේ උසස් අධ්‍යාපන කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ .මම මීට කලින් සිනමා අධ්යක්ෂ සුදේශ් වසන්ත පීරිස්ගේ සීරුවෙන් චිත්‍රපටයේ රඟපෑවා. සුරංග ද අල්විස් මහත්මා සුදේශ් වසන්ත මහත්මාගෙන් අසා තිබෙනවා මා ගැන. ඉන්පසු තමයි සුරංග මහත්මාගෙන් මට ආරාධනා ලැබෙන්නේ. ඒ ආරාධනාව මම බොහෝම ආසාවෙන් පිළිගත්තා.
සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක රංගනයෙන් දායක වන්නට ලැබීම මට සතුටක්. ඔහු මට කතාකළා. පිටපත මා අතට පත්වුණා. ඒ වන විට සුරංග ද අල්විස් අධ්යක්ෂවරයා කවුද කියන්න මා එතරම් දැනගෙන හිටියේ නැහැ. පොඩි බයකුත් හිතට දැනුණා. මෙම චිත්‍රපටයට පාදක වී තිබුණේ ලංකාවේ සිදුවූ සත්‍ය කතාවක්. ඝාතනයට ලක්වූ තරුණියකගේ කතාවක්. මෙවැනි සිදුවීම් ගැන එයට හේතු වූ චරිත ගැන සමාජයේ කතාබහ ඇති වෙනවා වැඩියි. ඒ වගේ චරිත ගැන කතා කරල සමහරු අවධානය ගන්න බලනවා. ඒ වගේ දෙයක්ද මේ කතාවේ තියෙන්නේ කියලා මගේ හිතේ පොඩි තිගැස්මක් ඇතිවුණා. ඒත් පිටපත කියවද්දී ඒ තිගැස්ම පහව ගියා. එවැනි චරිත ගැන කතා කරලා අවධානය ගන්න උත්සාහ ගන්න පිරිස් ගැනත් පිටපතේ සඳහන් වෙලා තිබුණා.
Room No 106 චිත්‍රපයයේ පිටපත ලියා තිබුණේ සුනෙත් මාලිංග ව්සින්. ඒක හරිම වෙනස් ආරයකින්, ලස්සනට ලියල තිබුණ පිටපතක්. ඝාතන සිද්ධියක් වුවත් බිහිසුණු අවස්ථාවන් ගැන පිටපතේ සඳහන් වෙලා තිබුණේ නැහැ. එය අපි හැමෝටම හිතන්න දෙයක් ඉතුරු කරල ලියපු පිටපතක් බව මට තේරුණා. කිහිපවතාවක් මම පිටපත කියෙව්වා. ඒ කියවපු හැම වතාවකම අලුත් දෙයක් පිටපතෙන් මම සොයා ගත්තා.
Room No 106 චිත්‍රපටයට හේතු වූ තරුණියගේ චරිතය මට අභියෝගයක් වුණා රංගනය පැත්තෙන්. මේ තරුණියගේ පසුබිම කොයි වගේද , එයාගේ ගතිගුණ කොහොමද, ඇය ප්‍රියකළ දේවල් මොනවාද, ඇය කොයි තරම් ආදරණීය කෙනෙක්ද, කතාවේ විදිහට ඇය තැන්පත් තරුණියක් වෙන්නත් බැහැ. මේ හැම දෙයක් ගැනම මම හිතුවා.. මම මේ චරිතය බාර ගන්නා කාලේ මම හිටියේ ඕස්ට්‍රේලියාවේ. Room No 106 තිරපිටපත කියවන්න මට කාලය අවශ්‍ය වුණා. මම ඒ වෙලාවේ හිටියේ මගේ විභාග කටයුතුවලට මුහුණ දෙමින්. එත් සුරංග ද අල්විස් අධ්යක්ෂවරයා ඒ සඳහා මට කාලය ලබා දුන්නා. ඇතැම් අධ්යක්ෂවරු කියන්නේ ඉතා ඉක්මනින් කියවන්න කියලා. මට පිටපත කියවන්න දවස් හතරක් පහක් ගතවුණා. පිටපත කියවූ පසු සුරංග මහත්මයාට මම කතාකළා. මම ඔහුට පැවසුවා චිත්‍රපටය රූගත කිරීම් වලට එන්න කලින් ඕස්ට්රේලියාවේව් තියෙන වැඩකොටස අවසන් කළයුතු බව. ඔහු මට නිතර නිතර කතා කළෙත් නැහැ. ලංකාවට පැමිණියාට පසු ඔහු මට අවශ්‍ය සියලු දේ කිව්වා.
ලංකාවේ මේ ඝාතන සිදුවීම ගැන දන්නවාද කියා සුරංග මහත්මයා මගෙන් ඇහුවා. මම කිව්වා ” නැහැ” කියලා. ඒ වෙලාවේ ඔහු තරමක් පුදුම වුණා.මේ ළමයා ඒ ගැන මුකුත් දන්නේ නැහැනේ වගේ හැඟීමක් ඔහුගේ හිතට එන්න ඇති.ඒත් පසුව ඔහු ඒ ගැන විස්තර සියල්ල මට හොයලා දුන්නා. ඔහුගෙන් මට ලැබුණේ ලොකු සහයක්. ඒ වගේම ඒ චරිතය සඳහා ඔහු මගේ මනස හැදුවා. Room No 106 චිත්‍රපටයේ මට මට අමතරව බිමල් ජයකොඩි, දමිතා අබේරත්න, ශ්‍යාම් ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන රංගනයෙන් දායක වුණා. එවැනි අයත් එක්ක රඟපෑමත් අභියෝගයක් වුණා. මට රඟපාන්න තිබුණේ බිමල් අයියා එක්ක. මට ඔහුව ඊට කලින් මුණගැසී තිබුණේ නැහැ. බිමල් අයියා එක්ක රඟපාපු ඒ කාලය හරිම සුන්දරයි. අලුත් නිළියක් කියලා දැගත්තහම ඔහු අකමැති වෙයිද කියන හැඟීමක් මගේ හිතට ආවා. ඒත් එහෙම වුණේ නැහැ. ඔහු මට හැම වෙලාවෙම සහය දුන්නා. දර්ශනයක් රූගත කරන්න කලින් ඔහු මගේ හිතේ තියෙන බය නැති කළා. ඔහුත් මගේ චරිතයට සුදුසු විදිහට මගේ මනස සැහැල්ලුවෙන් තියා ගන්න උදව් වුණා. හැම වෙලාවේම අපි වැඩකළෙ විනෝදෙන්, විහිළු තහළු කරගෙන. බිමල් ජයකොඩි අයියා ගැන කියන්න මට වචන මදි. Room No 106 චිත්‍රපටයේ පටන් ගැන්මේ සිට මංගල දර්ශනය දක්වාත්, ඉන්පසු මේ දක්වාත් අදටත් මට අවවාද අනුශාසනා ලබා දෙනවා. හැම වෙලාවේම ඔහු මා වෙනුවෙන් සිට ගත්තා. ඒ කාලේ හරිම සුන්දර කාලයක් වුණා.
මගේ අධ්‍යාපන කටයුතු නිමවුණා. ඒ නිසා මම තීරණය කළා වැඩි කාලයක් ලංකාවේ රැඳෙන්න. මම ඕස්ට්‍රේලියාවේ සිටි නිසා නිර්මාණ තෝරා බේරා ගන්න මට පුළුවන් වුණා. ලංකාවේ සිටියා නම් මට ලැබෙන හැම චරිතයක්ම බාර ගනීවි. මම එහේ හිටපු නිසා ටෙලිනාට්‍ය මඟ හැරුණා. දැන් මම බලාපොරොත්තුවෙන් ඉන්නවා හොඳ ටෙලි නාට්‍යයක රඟපාන්න. මට මේ තාක් ලැබුණ චරිත ගැන සැහීමකට පත්වෙනවා. ඒත් මට මීට වඩා අවස්ථා ලැබෙන්න ඕන කියලා මට හිතෙනවා. නිළියක් විදිහට රඟපාන්න ආස චරිත තියෙනවා. විවිධ චරිත කරන්න මම ආසයි. හැබැයි නවකයෙක් විදිහට මට හොඳ චරිත ලැබිලා තියෙනවා. උදාහරණයක් විදිහට මින් පෙර රඟපෑ ජැක්සන් ඇන්තනී මහතා සමඟ රඟපාන්න ලැබුණා. ඒ සීරුවෙන් චිත්‍රපටයේ, මම රඟපෑ පිස්zoo, රතී තිරගත වෙන්න තියෙනවා.
රංගනය සඳහා තවත් අවස්ථාවන් ලැබී තියෙනවා. ඒ පිළිබඳ මම සරසවියට පසුව කියනවා. තවත් හොඳ නිර්මාණ ඔස්සේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් ඉදිරියට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.