ආදරණීය පවුලක හැදුණු වැඩුණු ‘පූජන’ එහෙමත් නැතිනම් ‘චූටි අයියාට’ මේ දවස්වල ආදරණීය රසිකාවියන්ගෙන් ලොකු ආදරයක් ලැබෙනවා. ඒ තරමට කෙල්ලන් වශී වෙලා චූටි අයියාගේ ඒ අහිංසක බැල්මට. මේ දිනවල ඔබ ආදරයෙන් වැලඳගත් ‘මල් බිඟුන්’ ටෙලිනාට්යය හරහා ඔබට සමීප වෙන චූටි අයියා සමගයි මේ ආදරණීය කතාබහ.
මේ දවස්වල චානුකට ආදරය හිත පුරාම දැනිලා නේද?
මල් බිඟුන් ටෙලිනාට්යය මේ දවස්වල මගේ ජීවිතේ සෑහෙන්න තෘප්තිමත් කරන නාට්යයක් කියලා කිව්වොත් හරි. මල් බිඟුන් කියන්නේ ඇත්තටම ආදරණීය කතාවක්. ඒ ආරදය හිත පුරාම බෝකරගෙන අනිත් අයටත් බෝකරමින් මේ කාලය හරිම සුන්දරව ගතකරනවා. මල් බිඟුන් හසුන් සමීර අයියා තමයි අධ්යක්ෂණය කරන්නේ. තිරරචනය ගංගා ෂයිනි අක්කාගේ. මට මේ ටෙලිනාට්යයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙන්නේ චාමික හත්ලාහවත්ත සර්ගේ කොළඹ හතේ තොරණ නාට්යය හරහා. මේ දවස්වල ප්රේක්ෂකයන් ආදරයෙන් වැලඳගත්ත ටෙලිනාට්යයක් ලෙසට මල් බිඟුන් හඳුන්වන්න පුළුවන්. ඔය විදියට තමයි පූජන එහෙමත් නැත්නම් චූටි අයියා විදියට මම රඟපාන්නේ.
අන්සතු ප්රේමයකට ආදරය කරන එක ඒ තරම් හොඳ මදි නේද?
මල් බිඟුන් කතාව මගේ වටා එතෙන්නේ අන්සතු ආදරයකට පෙම් බඳිනවා කියන තැනින්. පූජනට තමන්ගේ නොවන ඔහුට ග්රහණය කරගන්න බැරි සීමාවකට හිත යනවා. ඒ ආදරය ප්රතික්ෂේප වෙනවා. නමුත් ඒ ආදරය පූජන හිතේ තද කරගෙන ඇය දෙස බලාගෙන ඉන්නවා. ඒකපාර්ශ්වික ප්රේමය, සහෝදරත්වය, දරාගැනීම, අහිමිවීම, පරිත්යාගය හරහා තමයි පූජනගේ චරිතය ගලාගෙන යන්නේ.
නොසිතූ විදියට මේ සියලු චරිතවලට ප්රේක්ෂක ග්රහණයක් ලැබිලා තියෙනවා?
ඇත්තටම ඒ කතාව හරි. මල් බිඟුන් වටා සෑහෙන ප්රේක්ෂක පිරිසක් එකතු වෙලා ඉන්නවා. මේ මල් බිඟුන් කණ්ඩායම ඒ ආදරය සතුටින් භාරගන්නවා. ඒ බැඳීම තමයි අපිව තව තවත් ඉදිරියට අරගෙන යන්නේ කියලා විශ්වාස කරනවා. ප්රේක්ෂකාගාරයේ පූජනටත් ඒ ආදරය ඒ විදියටම තමයි. ඔහුව ආදරයෙන් වැලඳගන්න ලොකු පිරිසක් මගතොටදී හමුවෙනවා. දැන් මේ සියලු චරිත ප්රේක්ෂකයන්ගේ වී හමාරයි.
පූජනගේ චරිතය ඔබට දැනුණේ කොහොමද?
රූපවාහිනී කතා මාලාවක් වුණත් ඒ තරම් ආදරණීය පවුලක මට ජීවත් වෙන්න ලැබීමත් භාග්යයක්. පවුල් දෙකක කතාවක් තමයි ගලාගෙන යන්නේ. නමුත් ඒ පවුල තුළ තියෙන සහෝදරත්වය, දාරක ස්නේහය, ආදරය කවදාවත් මොන ප්රශ්න ආවත් ඒ බැඳීම් දුරස් වෙන්නේ නැති තරම්. එකිනෙකාට බැඳිලා ඉන්නවා. ඒක තමයි මම හිතන්නේ මගේ ජීවිතයට ගත්ත ලොකු ආදර්ශය.
චානුකට රඟපාන්න වගේම තවත් බොහෝ දක්ෂතාවයන් තියෙනවා කියලා ආරංචියි?
මේ දිනවල චාමික හත්ලාහවත්ත සර්ගේ කොළඹ හතේ තොරණ, චාලක රණසූරියගේ පෝරකයක මඟුල් ගෙයක් වේදිකා නාට්යවල රඟපානවා. ඒ වගේම සංගීත අධ්යක්ෂණයෙන් සහ සංගීත වාදනයෙන් සංගීත ක්ෂේත්රයේ වැඩ කරනවා. මේ දිනවල මම අපේ සංගීත කණ්ඩායම ‘තකහනියේ’ කොන්සර්ට් එකට සූදානම් වෙනවා. මේ සියලු වැඩකටයුතු අතරේ මම ගුරුවරයකු ලෙසට කොළඹ අශෝක විද්යාලයේ සේවය කරනවා. පාසලෙන් මට ලොකු සහායක් ලැබෙනවා මගේ කලා කටයුතු සඳහා.
කුඩා අවධියේම තමයි චානුක කලාවට පිවිසෙන්නේ?
ආනන්ද අබේනායකගේ තක්සලාව ටෙලිනාට්යයේ නන්දසේන චරිතය රඟපානකොට මට වයස අවුරදු 10ක් ඇති. ඔහුගේම අප්පචි ටෙලිනාට්යයේ චාමර ලෙසට ළමා චරිතය රඟපෑවා. රංගන අත්දැකීම් හරිම සුන්දරයි. ආනන්ද අබේනායක ඉතාමත් දක්ෂ අධ්යක්ෂවරයෙක්. කුඩ අවධියේම ප්රවීණ දක්ෂ ශිල්පීන් රැසක් සමග මට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ජැක්සන් ඇන්තනී, චාන්දනී සෙනෙවිරත්න, ආනන්ද කුමාරඋන්නැහේ වැනි නිර්මාණකරුවන් සමග කටයුතු කරන්න ලැබුණු ඒ අවස්ථාව මගේ ජීවිතයේ අමතක නොවන අත්දැකීමක්.
පෝරකයක මඟුල් ගෙයක් ගැන කතා කළොත්?
චාලක රණසූරිය අයියගේ කලින් නිර්මාණවල වාදකයෙක් ලෙසට සම්බන්ධ වුණා. මේ තමයි ඔහුත් සමග රංගනයෙන් සහ සංගීත අධ්යක්ෂණයෙන් මම වැඩකරන පළමු අවස්ථාව. පෝරකයක මඟුල් ගෙයක් වේදිකා නාට්යය මගේ ජීවිතයේ මට ලැබුණු හරිම විරල අවස්ථාවක්. මම රඟපාන පෙම්වතාගේ චරිතය මට ලොකු වෙනසක් දැනුණා. පෝරකයක මඟුල් ගෙයක් තුළ වැඩකරන සියලු දෙනාගෙන් ලොකු සහායක් ලැබුණා මගේ චරිතය ගොඩනගා ගන්න.
වසන්ත විතාරණගේ