එදාරෑ හි මිල්ටන් මල්ලවාරච්චිගේ බිරිඳ වෙන්න ලැබීම සතුටක් යොවුන් රංගන ශිල්පිනි – නෙත්මි රොෂෙල්

gossiplanka image 1
 


ඇය සුරංගනාවියක් බඳුය. සිත් මන්මත් කරවන සිනහව ඇගේ රූ සෝබාව තව තවත් තීව්‍ර කරන්නීය. පුංචි තිරයේ රුවැත්තියක් ලෙස කිරුළ පළන් ඈ අද වනවිට සිනමා තිරයද හැඩකරන්නීය. දෙවෙනි ඉනිම මාලා නාටකයෙන් ප්‍රේක්ෂකයාගේ ආකර්ෂණීය දිනාගත් ඈ යොවුන් රංගන ශිල්පිනි නෙත්මි රොෂෙල් ය. ඇය මේ දිනවල ඉතා කාර්‍යබහුල රංගන ශිල්පිනියකි. කොතරම් කාර්‍යබහුල වුවත් ඇය කලාවට සවිය දෙන සරසවිය අමතක නොකරන්නීය. පසුගිය දා අතිසාර්ථකව නිමවූ 37 වැනි ප්‍රයිම් සරසවිය සම්මාන උලෙළ වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවට සහභාගී වූවා සේම, සම්මාන රාත්‍රිය ඇගේ නර්තනයෙන් සුන්දර කළාය. ඇය මේ දිනවල කර්‍යබහුල වන්නට හේතු දෙකක් ඇත.පළමු වැන්න නෙත්මි ප්‍රධාන චරිතයෙන් දායක එදා රෑ චිත්‍රපටය අතිසාර්ථකව තිරගත වන නිසාය. ඇය ගැන මේ දිනවල බොහෝ දෙනා කතා කරති. ඒ මන්ද, නෙත්මි එදා රෑ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ පොවන නිසාවෙනි.


මේ දිනවල නම් මම හරිම සතුටින් ඉන්නේ. මම රඟපාපු එදා රෑ ” චිත්‍රපටය අතිසාර්ථකව තිරගත වෙනවා. ඒ වගේම එදා රෑ චිත්‍රපටය සඳහා නොසිතූ ලෙස ප්‍රතිචාර ලැබෙනවා..


“එදා රෑ” චිත්‍රපටය සැප්තැම්බර් 18 වෙනිදා සිට තිරගත වීම ආරම්භ වුණා. අපේ රටේ පමණක් නෙවෙයි ලෝකයේ රටවල් විසි හතකමේ වන විට එදා රෑ චිත්‍රපටය තිරගත වෙනවා. මම එහි රඟපාන්නේ “ස්වර්ණා මල්ලවාරච්චි කියන චරිතය. මිල්ටන් මල්ලවාරච්චි ගායකයාණන්ගේ බිරිඳගේ චරිතය. එය මට ලැබීම විශාල භාග්‍යයක්. එදා රෑ අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන අයියා මගේ පළමු අධ්‍යක්ෂවරයාද වෙනවා. මම මුලින්ම රංගන ක්ෂේත්‍රයට එන්නේ ඔහුගේ සක්කාරං ටෙලි නිර්මාණයෙන්. ඒ මුණගැසීම සිදුවුණේ අහම්බෙන්. මම ජාතික රූපවාහිනී අවුරුදු කුමාරි විදිහට කිරුළ දැරූ කෙනෙක්. ඒ නිසා රූපවාහිනියේ නුගසෙවණ වැඩසටහනට මට ආරාධනා ලැබුණා. එදා වැඩසටහනේ නිවේදිකාව වුණේ අංජලී අක්කා. අරුණ ජයවර්ධන අයියගේ ආදරණීය බිරිඳ.


අංජලී අක්කා වැඩසටහන අවසන් කරල මගෙන් ඇහුවා රඟපාන්න කැමතිද කියලා. ” අපි ටෙලි නාට්‍යයක් කරනවා. රඟපාන්න කැමතිද කියලා මගෙන් ඇහුවා. ඒ වෙනකොට මගේ තාත්තා මට නීතියක් දාල තිබුණේ රඟපාන්න යන්න එපා කියලා. දිග කොණ්ඩයක් තියෙන, නටන්න පුළුවන් ගැහැනු ළමයෙක් හොයන බවයි අංජලී අක්කා කිව්වේ. මමත් කැමති වුණා නටන්න ආස නිසා. ඒ විදිහට තමයි අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ ” සක්ක්කාරං ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ. මේ ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු හතක් වෙනවා. මේ මොහොතේ ඔහුගේ සිනමා නිර්මාණයකට දායක වීමට ලැබීම සතුටක්.එදා රෑ චිත්‍රපටය කරන්න සූදානම් වී සිටියදී අරුණ අයියා දුරකතන ඇමතුමක් දුන්නා. ඔහු අලුත් විදිහේ වැඩක් කරන්න ඉන්නවා ඒකට මාව සම්බන්ධ කරගන්නවා කියලා කිව්වා. ජනප්‍රිය ගායක මිල්ටන් මල්ලවාරච්චිගේ ගැන චිත්‍රපටයක් කරන්න තීරණය වී තිබෙනවා කියා මට පැවසුවා. එහි මිල්ටන් මල්ලවාරච්චිගේ බිරිඳ ලෙස මාව තෝරා ගත් බව පැවසුවා. ඒ කියන්නේ මිල්ටන් මල්ලවාරච්චිගේ ගායකයාණන්ගේ බිරිඳ ස්වර්ණා මල්ලවාරච්චිගේ චරිතය. මට හිතා ගන්න බැරි සතුටක් දැනුණා. ඊට කලින් එදාරෑ නිෂ්පාදන කණ්ඩායමෙන් මට ඒ බව දැනුම් දී තිබුණත් මට ලැබෙන චරිතය කුමක්ද කියා පැවසුවේ නැහැ. අරුණ ජයවර්ධන අයියා දීපු කෝල් එකෙන් තමයි මම දැන්ගත්තේ මම මිල්ටන් මල්ලවාරච්චි ගායකයාණන්ගේ බිරිඳ ලෙස තෝරාගත් බව. මට සතුටක් වගේම පුංචි චකිතයකුත් දැනුණා. මිල්ටන් මල්ලවාරච්චි මේ වන විට අපි අතර නැති කලාකරුවෙක්. එහෙත් ඔහුගේ ආදරණීය බිරිඳ සහ දරුවන් ඉන්නවා. ඉතින් මට සිතුණා මේක ලොකු අභියෝගයක් කියලා. මට ඇයව පළමු වරට මුණ ගැසුණේ එදා රෑ මුහුරත් උලෙළෙ දී.


එදා මම ඇය සමඟ කතා කළා. ඇගේ ගතිගුණ, ඇගේ චරිත ලක්ෂණ ගැන මම හොඳීන් සැලකිලිමත් වුණා. ඇයත් සමඟ කතා කරද්දී මම ඇගෙන් බොහෝ කරුණු ගැන විමසුවා. ඇය මිල්ටන් මල්ලවාරච්චි සමඟ ගෙවූ ජීවිතය ගැන, ඔහුත් සමඟ තිබූ ප්‍ර්‍රේමය ගැන. හරියට මට කතාවක් කියනවා වගේ ඒ සියල්ල මට පැවසුවා. මෙහිදී විශේෂ දෙයක් මට කියන්න තියෙනවා. ඔවුන් දෙදෙනා හරිම ආදරෙන් ඉඳලා තියෙනවා. තාමත් ඒ ආදරය ඒ අයුරින්ම තිබෙන බව ඇගේ කතාවෙන් මට හැඟී ගියා. මම ඇගේ චරිතය රඟපානවා කියා දැනගත්විට ඇය ඉතා සතුටට පත්වුණා.


” අනේ දුවේ මට හරිම සතුටුයි ඒ චරිතය කරනවට ” ඇය හරිම ආදරණීය චරිතයක්. ස්වර්ණා මහත්මිය මට ලොකු සහයෝගයක් දුන්නා ඒ චරිතය සාර්ථක කර ගන්න. ඇගේ පරණ ඡායාරූප පවා පෙන්නුවා මට.


ස්වර්ණා මහත්මිය එදා රෑ මංගල දර්ශනය සඳහා පැමිණියා. චිත්‍රපටය බලලා ඇය බොහෝම සංවේදී වෙලා තිබුණා. ඒ නිසාම ඇය ටිකක් අසනීපත් වෙලා තිබුණා. ඒත් පසුදින ඇය මට දුරකතනයෙන් කතා කළා. ඇය බොහෝම සතුටින් ඒ වෙලාවේ කතා කළේ. ඇගේ ජීවිතය අලුත් වුණා වගේ හඟීමක් හිතට දැනුණා කියලා කිව්වා. ඒ පැය දෙකේදී නැවතත් ඇය අතීතයට ගිය බව පැවසුවා. මගේ රංගනය වර්ණනා කළා. මට හරිම සතුටුයි ඇගෙන් එවැනි ප්‍රතිචාර ලැබීම ගැන. එදා රෑ කණ්ඩායම සාර්ථකව ඒ කටයුත්ත කළ බවට ඒ ප්‍රතිචාර වලින් ඔප්පු වුණා. මිල්ටන් මල්ලවාරච්චිගේ පුත් රනිල් මල්ලවාරච්චි , මංගල දර්ශනය දවසේ තමයි චිත්‍රපටය දැක්කේ. ඔහු ඉතාමත් සතුටට පත්වුණා. ඔහුගේ බිරිඳ නිරාශා අක්කත් මේ වැඩේදී අපි එක්කම හිටියා.


එදාරෑ චිත්‍රපටයේ මගේ චරිතය ගැන නැවතත් කතා කරනවනම්, එය මට අභියෝගයක් ගෙන දුන් චරිතයක් වුණා. පාසල් සිසුවියක් ලෙසටත්, පෙම්වතියක් ලෙසටත්, බිරිඳක් ලෙසත්, දරුවන් හතර දෙනෙකුගේ මවක් ලෙසත් මගේ චරිතය විහිදෙනවා. වයස අවුරුදු හතළිස් පහක් දක්වා දිව යන චරිතයක්. අරුණ අයියා ඒ සඳහා මාව හොඳීන් මෙහෙයවූවා. මම පාසල් කාලය නිම කරලත් අවුරුදු අටක් වෙනවා. ආයෙමත් රංගනයකින් හෝ පාසල් කාලයට යන්න හැකිවීම සතුටක්. එතනදී මට මගේ පාසල් කාලය සිහියට නැඟුණා. ආදර කතා මතක් වුණා. ඒ රූගත කිරීම් හරිම සුන්දර විදිහට සිදුවුණා. ඒ වගේම දරුවන් හතර දෙනෙකුගේ අම්මා කෙනෙක් විදිහට රංගනයේ යෙදීම හරි අපූරු අත්දැකීමක් වුණා. දවස් හතළිහක් පමණ රූගත කිරීම් තිබුණා. ඒ කාලේ අපි ඔක්කොම හරිම සතුටින් විනෝදෙන් ගතකළා.


විශේෂයෙන් රොෂාන් රවීන්ද්‍ර අයියා ගැන කියන්න අවශ්‍යයි. ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුත් එක්ක රඟපාන්න ලැබීමත් භාග්‍යයක්. රොෂාන් අයියත් එදාරෑ චිත්‍රපටය බලලා තිබුණේ පළමු වතාවට මංගල දර්ශනය දවසේ. ඔහුගෙන් මට හොඳ ප්‍රතිචාර ලැබුණා. අපි දෙන්නම හරි ලස්සනට ඵජපඥඥද එකේ පේනවා කියලා රොෂාන් අයියා කිව්වා. ඒ වගේම තමයි මංගල දර්ශනය දවසේ අනිකුත් කලාකරුවන්ගෙන් ලැබුණ ප්‍රතිචාර. මෙවැනි චරිතයක් මේවගේ හොඳට කරයි කියලා ඔවුන් හිතුවේ නැහැ කියල කිව්වා. විශේෂයෙන් අම්මා කෙනෙකුගේ චරිතය.


එදා රෑ චිත්‍රපටයේ ඇඳුම් ගැනත් කවුරුත් කතා වෙනවා. ඒවා හරි අපූරුවට නිර්මාණය කර තිබුණා. චිත්‍රපටයට එයත් ආලෝකයක් වී තිබුණා. මංගල දර්ශනයට අපි ඇන්දෙත් ඒ විදිහට. නිරාශා අක්කා තමයි එහෙම අඳීන්න කියල ප්ලැන් කළේ. ඇය ගොඩක් මහන්සි වුණා ඒ වෙනුවෙන්. අපි සියලු දෙනාම සම්බන්ධ කරගෙන හරිම නිර්මාණශීලීව ඒ කටයුත්ත ඇය විසින් සිදුකළා.


එදා රෑ චිත්‍රපටය ලංකාවේ වගේම ලෝකයේ රටවල් විසිහතක ප්‍රදර්ශනය වෙනවා. ඒ රටවල සිනමා ලෝලීන්ගෙන් ලැබෙන ප්‍රතිචාරත් ඉතා ඉහළයි. දවසට දුරකතන ඇමතුම් දහයක් පමණ ලැබෙනවා විදෙස් රටවල ඉන්න අයගෙන්. ඔවුන් එදා රෑ චිත්‍රපටය ඉතාමත් ආසාවෙන් වැළඳගෙන තියෙනවා. ඒ සෑම රටකම සිනමාශාලා ඩධභඵඥ ටභතත.


මිල්ටන් මල්ලවාරච්චි කියන්නේ ලංකාවම ආදරය කරන ගායකයෙක්. කවදාවත් අමතක නොවන ගීත සිය ගණනක් ගායනා කළ ගායකයෙක්. අදටත්, මතුවටත් ඒ ගීත රස විඳීය හැකියි. ඔහුට තියෙන ආදරය , කැමැත්ත නැති වෙලා නැහැ. 1998 දී ඔහු මිය ගිහින් තියෙන්නේ. ඒ වන විට මම ඉපදිලා නැහැ. ඒත් මම ඒ ගීත වලට ප්‍රිය කරනවා. රස විඳීනවා.


එදා රෑ චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා. ඔවුන් නිසා තමයි මෙතරම් සාර්ථක වුණේ . ඔවුන් සෑම කෙනා ගැනම හොඳීන් සොයා බැලුවා. චිත්‍රපටයේ රඟපාන්න ආපු හැමෝම හරිම ආසාවෙන් තමන්ගේ කොටස රඟපෑවේ. හැමෝම කණ්ඩායම් හැඟීමෙන් වැඩකළා.


ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහළ යන බව එදා රෑ මංගල දර්ශනය දිනයේදීම දැක ගන්න පුළුවන් වුණා. ඉතාමත් අලංකාර ලෙසින් මංගල දර්ශනය පැවැත්වූවා. එදා රෑ චිත්‍රපටයේ විධායක නිෂ්පාදකවරයා වන චමක මංජුල අයියා ඇතුළු නිෂ්පාදක කණ්ඩායමත් මම මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. ඒ අය නිසයි එදා රෑ සාර්ථක වුණේ. ඒ වගේම අරුණ ජයවර්ධන අයියාගේ මහන්සිය කැපවීම අගය කළයුතුයි. මෙහි තිරරචනය කළ සුනෙත් මාලිංග අයියා ඇතුළු දායකත්වය සැපයූ සියලු දෙනාගේ කැපවීම එදා රෑ චිත්‍රපටය සාර්ථක වෙන්න රුකුලක් වුණා.


මම සිනමාවේ සහ ටෙලි නාට්‍ය යන අංශ දෙකේම රඟපානවා. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ඇවිත් කාලයක් ගෙවුණාට පසුවයි මට සිනමාපටවල රංගනයට වරම් ලෑබුණේ. ටෙලි නාට්‍ය රංගනයට වඩා සිනමාවේදී මහන්සි වෙන්න වෙනවා. එය දැන් මට හුරුයි. සිනමාවේ මට ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඒත් ගම්බද ජීවත්වන අයට ටිකට් පතක් මිලදී ගෙන චිත්‍රපටයක් බලන්න ඒමේ අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා ඔවුන් ටෙලිනාට්‍ය වටා රොක් වෙනවා. ඒ නිසා අපිත් ඔවුන්ගේ ජීවිතවල කොටසක් කරගෙන.


මම මුලදී සඳහන් කළා මම නර්තනයට කැමති බව. පසුගියදා අති උත්කර්ෂවත්ව පැවති 37 වැනි සරසවිය සම්මන උලෙළදි මට නර්තනයේ යෙදෙන්න අවස්ථාව සැලසුණා. මම නර්තනයේ යෙදුණේ මෙවර සරසවිය සම්මාන උලෙළෙ ජනප්‍රිය නළුවා වූ දමිත් විජයතුංග සමඟ එයත් මගේ නර්තන ජීවිතයේ සුවිශේෂි අවස්ථාවක් වුණා. මම මුලදීත් සඳහන් කළා මම නර්තනයට ඉතා ප්‍රිය කරන කෙනෙක් බව. ඉතින් සම්මාන උලෙළෙ නර්තන අංගයට මම ඉදිරිපත් වුණේ බොහෝම ආසාවෙන්. එහි නර්තන නිර්මාණකරුවා වූ කවිඳු මධුෂාන් ඉතා සුන්දර අයුරින් දමිත් අයියාගේත් මගේත් නර්තන අංගය නිර්මාණය කර තිබුණා.


මගේ මේ කටයුතු හැමදේකටම මගේ පිටුපස සිට මට සහය දෙන්නේ මගේ නංගී. කලින් මගේ තනියට සිටියේ මගේ බාප්පා. ඒත් දැන් නංගී මගේ ළඟින් ඉන්නවා. මගේ වැඩවලදී තීරණ ගන්න කොට ඒවාට හයියක් වෙන්නේ නංගී. ඒ නිසා මට වැඩකරගෙන යන්න පහසුයි. ඉතින් මගේ වැඩ මම සාර්ථකව කරගෙන යන්නේ නංගී නිසා. ඒ වගේම මගේ ආදරණීය ප්‍රේක්ෂකයින්. ඔවුන් නිසා තමයි මම මෙතන ඉන්නේ. ඒ නිසා මම ආදරෙන් ඉල්ලා සිටින්නේ මා රංගනයෙන් දායක වූ චිත්‍රපට නරඹන්න කියලා. ඔවුන්ගෙන් මට ලැබෙන ප්‍රතිචාර වටිනවා. මම මගේ රසිකයන්ට සහ ප්‍රේක්ෂකයන්ට ආදරෙයි. ඉදිරියේදීත් සිනමා සහ ටෙලි නිර්මාණ වලින් ඔබ හමුවට එන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රේක්ෂකයාට දැනෙන චරිත වලින් ඉදිරියේදීත් ප්‍රේක්ෂකයන්ට මාව දැක බලා ගන්න හැකිවේවි.


නයනාංජලි දෙහිපිටිය

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post