කාලයක් තිස්සේ ලංකාවේ නොසිටීමත් හිතට දුකක්. හැබැයි ඇමරිකාවේ ඉඳගෙනත් මම ලංකාව වෙනුවෙන් බොහෝ වැඩකටයුතු කරනවා. ඒ එක්කම මෙහෙදි රූපගත කිරීම් කළ නිර්මාණ කිහිපයකට මම දායක වුණා. ඒ වගේම මම මෙහෙ ඇවිත් හිටියත් 2024 වෙනකම්ම මම දායක වූ කලා කටයුතු ප්රේක්ෂකයන්ට දැකගන්න ලැබුණා. ඒක මම දැක්කේ සුබදායි විදිහට. මොකද මොනයම් විදිහකට හෝ ප්රේක්ෂකයන් අතරට එන්න මට අවස්ථාව ලැබුණු හින්දා.
ආයෙමත් නිර්මාණයකට ඇරයුම් ලැබුණොත් භාර ගන්නවද?
රංගනය කියන්නේ මගේ ජීවිතයේ කොටසක්. ඒ නිසා කවදාවත් ඒක මගෙන් ඈත් වෙන්නේ නැහැ. නැවතත් හොඳ චරිතයක් ලැබුණොත් මම රංගනයට දායක වෙන්න කැමතියි. මේ වන විටත් ඒ විදිහේ නිර්මාණ කිහිපයකටම මට ආරාධනා ලැබුණා. නමුත් මම කැමති චරිතයක් ලැබුණොත් පමණයි මම රඟපාන්නේ යනුවෙන් අලුත් ආරාධනා ලැබුණොත් භාරගන්නවා ද යන පැනයට ඇය එසේ පැවසුවාය.
ගයේෂා දැන් දක්ෂ ව්යවසායිකාවක් වෙලාද කියලා ඇහැව්වහම අපිට ලැබුණේ මේ වගේ අදහසක්.
මම ඇමරිකාවේ පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්යස්ථානයක් පවත්වාගෙන යනවා. ඒවායේ වැඩකටයුතු නිසා මම කාර්යබහුලයි. සතියේ දින පහම එම ව්යාපාර කටයුතු වෙනුවෙන් යොදවනවා. ඉතිරි දින දෙක මගේ අනෙකුත් ව්යාපාර වන Gayesha perera films සහ Prem Group ආයතනය වෙනුවෙන් කාලය යොදවනවා.
ඇය ගයේෂා පෙරේරා ෆිල්ම්ස් ආරම්භය ගැනත් සිහිපත් කළාය.
ගයේෂා පෙරේරා ෆිල්ම්ස් ආයතනයක් හැටියට ලියාපදිංචි කළේ 2024දී. නමුත් මම 2020 ඉඳන් ඉඩ ලැබෙන පරිදි චිත්රපට ප්රදර්ශනය කරගෙන ආවා. ගයේෂා පෙරේරා ෆිල්ම්ස් ආයතනය ආරම්භ කළ මුල් කාලයේදීම අපි ‘රාණී’ චිත්රපටය ඇමරිකාවේ තිරගත කළා. එම චිත්රපටයට ඇමරිකාව පුරා විශාල අවධානයක් දිනාගැනීමට හැකිවුණා. ‘රාණී’ චිත්රපටය ඇමරිකාව පුරා දහසය වතාවක් පමණ තිරගත කිරීමට අපේ ආයතනයට හැකිවීමත් අප ලැබූ විශාල භාග්යයක් ලෙස සලකනවා.
ගයේෂා පෙරේරා ෆිල්ම්ස් ‘එදා රෑ’ සමග ඇමෙරිකාවේ වාර්තා අලුත් කරමින් සිටින්නීය.
මේ වෙද්දී අපි තියපු රෙකෝඩ් එක අපිම කැඩුවා. මුලින්ම අපි වාර්තා අතරට ආවේ ‘රාණී’ චිත්රපටය එක්ක. ඒ රෙකෝඩ් එක තමයි ඇමරිකාව පුරාම නගර පහළොවක දර්ශන වාර දාහතක්, ඒ රෙකෝඩ් එක අපි ‘මදර් ලංකා’ ප්රදර්ශනය කරමින් අලුත් කළා. එතැනදී අපි නගර විස්සක දර්ශනවාර විසිතුනක් ප්රදර්ශනය කළා. මේ වෙද්දී ‘එදා රෑ’ එක්ක ලේසියෙන් කඩන්න බැරි වාර්තාවක් තියෙනවා. මේ වෙද්දී අපි ටිකට්පත් පන්දහසක් අලෙවි කරලා අවසන්. අපේ ඉලක්කය තමයි ප්රාන්ත විස්සක නගර විසිහයක දර්ශන වාර හතළිහකට වඩා ටිකට්පත් අලෙවි කිරීම.
ලංකාවෙන් ගිහින් ඇමරිකාවේ නගර රැසකට ලාංකීය සිනමාව රැගෙන යන ආකාරය ගැනත් ඇගේ අදහස පැවසුවාය.
ඇත්තටම ඒක ඉතාමත් අසීරු කාර්යක්. මොකද ඇමරිකාව කියන්නෙම ප්රාන්ත පනහක් එකතු වුණු රටක්. හරියටම බැලුවොත් රටවල් පනහක් වගේ. ඉතින් ශ්රී ලාංකිකයන් සුළු ප්රමාණයක් ඉන්න ප්රාන්තවලට ලාංකික චිත්රපට ගෙනියන එක සහ ඔවුන්ව සිනමාහල් වෙත ගේනඑක ලොකු චැලේන්ජ් එකක්. මෙතැනදී මට ශක්තියක් වුණේ මගේ සැමියා වන හසන්ජිත්ගේ හසා එන්ටර්ටේ්රන්ට්මන්ට් ආයතනය. හසන්ජිත් කාලයක් තිස්සේ ඇමරිකාව පුරාම ශ්රී ලාංකික සංගම්, ආදිශිෂ්ය සංගම්, ක්රීඩා සංගම් එක්ක එකතු වෙලා ප්රසංග සංවිධානය කරනවා. ඔහුට නගර විස්සක විතර නියෝජිතයන් ඉන්නවා. ඒ හරහා ඒ නියෝජිතයන්වත් සම්බන්ධ කරගෙන ඒ හරහා තවත් පිරිසක් මේ හා එකතු කරගෙන තමයි අපි මේ වැඩේ සාර්ථකව කරගෙන යන්නේ. මේ වෙද්දී අපි එක්ක වැඩ කරන නියෝජිතයන් 40ක් පමණ ඉන්නවා. ඒ අය එක්ක සහ සමහර නගරවල අපි තනියමත් චිත්රපට ප්රදර්ශනය කරනවා.
ගයේෂා චිත්රපට නිෂ්පාදනයට සූදානමක් තියෙනවාද යන කතවේ ඇත්ත නැත්ත ගැනත් විමසුවා.
ඔව්. ලංකාවේ සිනමාව වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ එක්කම ඔස්කා ඇතුළු විශේෂ සිනමා උළෙල නියෝජනය කරන චිත්රපටවලට හොලිවුඩ් හි විශේෂ දර්ශනවාර සහ ඇමරිකාවේ විශ්වවිද්යාලවල විශේෂ දර්ශනවාර ප්රදර්ශනය කරන්න අවශ්ය කටයුතු සම්පාදනය කරලා දෙනවා. ඒ වගේම මමත් මගේ සැමියා හසන්ජිත් එකතුවෙලා 2027 වසරේදී අපේ පළමු චිත්රපටය නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.