හීන හැබෑ වෙනකොට තාත්තා මං ළඟ නෑ-දසුනි සිනෙත්මා

gossiplanka image 1
දසුනි සිනෙත්මා රොෂාන් රණවනගේ පෙම්වතිය විදිහට ‘රයිඩර්’ චිත්‍රපටයේ රඟපානකොට වයස අවුරුදු දහසයයි. ඉන් පස්සෙ ඇය තවත් චිත්‍රපට තුනකට තම රංගන දායකත්වය ලබා දෙනව. ලබන 29 වැනිදා තිරගත වීමට නියමිතව තියෙන්නෙ ඒ අතරින් එකක් වන ‘අග්නිජය’.


සිනමාලෝලීන්ට වෙනස්ම අත්දැකීමක් අරගෙන තිරයට එන ‘අග්නිජය’ තුළ සිනෙත්මාගේ විස්තරය මොන වගේද කියල අපි ඇයගෙන් ඇහුවා.


මුලින්ම මාව සිනමාවට අරගෙන එන්නෙ රොෂාන් රණවන අයියත් එක්ක රඟපෑ ‘රයිඩර්’. ඒ වෙනකොට මට වයස අවුරුදු දහසයයි. ඉන් පස්සෙ ‘විලන්’ සහ ‘ගඟුලක ගිනියම’ යන චිත්‍රපට දෙකට රංගනයෙන් දායක වුණා.


‘අග්නිජය’, මගේ හතර වැනි සිනමා නිර්මාණය. ඒකට සම්බන්ධ වෙන්න කියල මට කතා කරන්නෙ ඩොනල්ඩ් අංකල්. එක දවසක් මම රිහර්සල් කරන තැනට මංචනත් එක්ක ඩොනල්ඩ් අංකල් ආවා මාව මුණගැහෙන්න. එතැනදි අපි කතාබහ කරල පිටපත හුවමාරු කරගෙන වැඩේ පටන්ගත්තා.


ඩී. ඕ. පී. ඇතුළුව අපේ කණ්ඩායමේ හිටපු ගොඩක් දෙනෙක් ඉන්දියානුවන්. මෙවැනි කණ්ඩායමක් එක්ක වැඩ කරන පළමු වතාව නිසා ඒක මටත් අලුත් අත්දැකීමක්.


මේ පිරිසේ අපේ රටේ ශිල්පීන් කිහිප දෙනකුත් ඉන්නව. ඒ අතර බිමල් අංකල් එක්ක මම ‘රැල්ල වෙරළට ආදරෙයි’ ටෙලි නාට්‍යයේත් වැඩ කරල තියෙනව. එවැනි ප්‍රවීණයන් සමග මේ නිර්මාණයේත් වැඩ කරන්න ලැබීම මට ලැබුණ වටිනා අවස්ථාවක්.


මෙගා ස්ටාර් වැඩසටහනේදි සිදු වුණ අනතුරක් නිසා මගේ කකුල කැඩුණා. ඒ කාලය අතරතුර කාලයේදිමයි මට ‘අග්නිජය’ රූගත කිරීම්වලට සහභාගි වෙන්න සිදු වුණේ. ඉතිං ඩාන්සින් වගේ වැඩිපුර මහන්සි වෙන තැන්වලදි අපහසුතාවලට මුහුණ දෙන්න සිදු වුණා. අදටත් සම්පූර්ණ සුවයක් ලැබිල නැහැ.


‘අග්නිජය’ටත් වඩා ‘කැලෑ හඳ’ ෂූටිං කරද්දි මට ගොඩක්ම අපහසුතාවට මුහුණ දෙන්න සිදු වුණා. මොකද ඒ අනතුර සිදු වුණ මුල්ම කාලෙ නිසා.


‘කැලෑ හඳ’ කියන්නෙ මීට කලින් තිරයට ගෙනාපු නිර්මාණයක් වගේම අසහාය රංගන ශිල්පිණී රුක්මණී දේවි මහත්මිය රඟපෑ චරිතය තමයි මට නැවත ප්‍රතිනිර්මාණය කරන්න සිදු වෙන්නෙ. එතැනදි මුල් නිර්මාණය රසවිඳපු ප්‍රේක්‍ෂකයාට අලුත් නිර්මාණය ඒහා නිරායාසයෙන්ම සංසංදනය වෙනව. අන්න ඒ ලෙවල් එක දෙන එක මට විශාල අභියෝගයක්. ඒ නිසා මම සාර්ථකයි කියන දේ මට කියන්න බැහැ. ඒක ප්‍රේක්‍ෂකයා විසින්ම තීරණය කරන්න ඕනා.


‘කැලෑ හඳ’ අවුට් කරන්න කලින් බලපු කිහිප දෙනෙක්ම ඉන්නව. ඔවුන් මට පුද්ගලිකවම කතාකරල කිව්වෙ, ඔයා මාරයි නංගී, අපි මේ වගේ දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ කියල. මීට කලින් මම යම් යම් චිත්‍රපටවලට රංගනයෙන් දායක වෙලා තිබුණට ගොඩක් දෙනෙක් මාව හඳුනාගත්තෙ නැහැ. මම හිතනව, මේ නිර්මාණය මම රිදී තිරයේ දිගටම රැඳෙනවද නැද්ද කියන දේ තීරණය වෙන ලොකු ප්‍රජෙක්ට් එකක් කියල.


රිදී තිරය කියන්නෙ ටෙලි නාට්‍යයට වඩා වෙනස් අත්දැකීමක්. ටෙලි නාට්‍ය අපිට එදිනෙදා ජීවිතයේදි ප්‍රේක්‍ෂකයන් එක්ක බෙදාගන්න පුළුවන් වුණත් චිත්‍රපටයක් එහෙම වෙන්නෙ තිරගත වෙනතුරු පමණයි.


අපේ පවුලෙ හැම කෙනෙක්ම වගේ නර්තනයට දක්‍ෂයි. ඉතිං මමත් පොඩි කාලෙ ඉඳන් පුරුදු පුහුණු කළ නර්තනය දෙරණ ලිට්ල් ස්ටාර් හරහා තමයි එළිදකින්නෙ.


නර්තනය කියන්නෙ මම ලබපු ලොකු දායාදයක් වගේම ලක් එකක් කිව්වත් හරි.


පාසල් යන කාලෙ ඉඳන්ම විවිධ ස්ටයිල් අධ්‍යයනය කරමින් ඉගෙන ගන්න මගේ ලොකු කැමැත්තක් තිබුණා. ඉතිං මම හිතන විදිහට කලාකරුවකුට නර්තන හැකියාවක් තියෙන්න ඕනා. මොකද හොලිවුඩ්, බොලිවුඩ් බැලුවත් මම හිතන්නෙ අපිට ඒක ගොඩක් දුරට දැකගන්න පුළුවන්.


නිළියක් වෙනවාට වඩා මට ආසාව තිබුණෙ තරගයකින් ජයග්‍රහණය කරල තරුවක් වෙන්න. මගේ තාත්තා තමයි ඒ පැත්තට මාව යොමු කරන්නෙ. මම තරුවක් වෙලා කප් එකක් අතේ තියාගෙන ඉන්නව දකින්න එයා ගොඩක් ආසා කළා. නමුත් මම ඒ තැනට එනකොට තාත්තා මේ ලෝකෙන් සමුගෙන ගිහින්. නමුත් මම දන්නවා මට ඒ ආශීර්වාදය හැමදාමත් තියෙන බව.


මේ දවස්වල සාරංග මෙන්ඩිස් අයියගෙ නාට්‍ය දෙකකට සම්බන්ධ වෙලා ඉන්නව. ඉන් එකක් වන ‘එයත් ලස්සනයි’, සියත නාළිකාවේ විකාශය වෙනව. ඒක කොරියන් නිර්මාණයක රී මේක් එකක් විදිහටයි සිදු වෙන්නෙ. ඒ චරිතය නිසා දැන් මම පාරෙ යනකොටත් ගොඩක් දෙනෙක් කුරුළු කියලයි කතාකරන්නෙ.


අනෙක් නිර්මාණය ඊට වෙනස්ම චරිතයක් වන වර්ෂා සමගින් අහස ටීවී නාළිකාවේ විකාශය වන ‘මේ මොහොත මට නවතින්න’ ටෙලි නාට්‍යය.


මොන විදිහේ චරිතයක් මට ලැබුණත් මම ඒ චරිතවල ඉන්න කිසිම කෙනෙක් නෙමෙයි. ඒ චරිතවලට ළඟින් යනවද නැද්ද කියල මම දන්නෙ නැහැ, ඒක අහන්න ඕන අපේ ගෙදරින්, වටපිටාවෙන් තමයි. මම ජීවත් වෙන්නෙ හරිම සාමාන්‍ය විදිහට. බස් එකක ගියත් මාස්ක් එකක්වත් දාන්නෙ නැහැ. මිනිස්සු අතර මම ආටිස්ට් කෙනෙක් කියල වෙන් කරන්න උස්සාහ කරන්නෙ නැහැ.


ඒ වගේම මට ලොකු ලොකු බලාපොරොත්තුත් නැහැ. ජීවිතයට එන අභියෝගවලට සතුටින් මුහුණදීලා, හැමදේම බැලන්ස් එකේ කරගෙන යන්නයි හිතාගෙන ඉන්නෙ.


ප්‍රේක්‍ෂකාගාරයෙන් ලැබෙන ආදරය නිසයි කලාකරුවෙක් මේ ක්‍ෂේත්‍රය තුළ රඳාපවතින්නෙ. ඒ ආදරය නැති වුණොත් අපිට පවතින්න අමාරුයි. ෆීල්ඩ් එකට එන ගොඩක් දෙනෙක් අතරමග හැලෙන්නෙ ඒ නිසයි. මහේෂ් එදිරිසිංහ

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post