ඉන්දියානු සිනමා ලෝකයේ සුපිරිම තාරකාව වන සුපර් ස්ටාර් රජිනිකාන්ත්ගේ අලුත්ම සිනමා ආගමනය “ජේලර් 2” (Jailer 2) මේ වන විට මුළු මහත් ලෝකය පුරාම සිනමාහල් තුළ අතිදැවැන්ත රැල්ලක් නිර්මාණය කර තිබේ. නෙල්සන් දිලිප් කුමාර්ගේ විශිෂ්ට අධ්‍යක්ෂණයෙන් එළිදැක්වුණු මෙම චිත්‍රපටය, සිනමා ඉතිහාසයේ පැවැති සියලුම බොක්ස් ඔෆිස් වාර්තා උඩුයටිකුරු කරමින් අදහාගත නොහැකි ආදායම් වාර්තාවලට හිමිකම් කියන බවකුත් පෙනෙන්නට තියෙනවා. මෙම අතිදැවැන්ත සිනමා නිර්මාණය තිරගත වීම ආරම්භ කර දින තුනක් වැනි ඉතා කෙටි කාලයක් තුළ ලොව පුරා සමස්ත ආදායම (Worldwide Gros) ඉන්දීය රුපියල් කෝටි 300 සීමාව ඉක්මවලයි තියෙන්නේ. විචාරකයින් කියන විදිහට නම් චිත්‍රපටය ඉදිරි සති කිහිපය තුළ ඉන්දීය රුපියල් කෝටි 1000 සීමාව පහසුවෙන් පසුකරමින් කොලිවුඩ් සිනමා ඉතිහාසයේ අලුත්ම වාර්තාව තියන්න තමයි සූදානම් වෙන්නේ.
2023 වසරේදී තිරගත වූ ප්‍රථම “ජේලර්” චිත්‍රපටය කොලිවුඩ් සිනමාවට අලුත් පණක් දුන් අතිදැවැන්ත බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් විය. ලොව පුරා රුපියල් කෝටි 600කට අධික ආදායමක් උපයමින් එකල තැබූ වාර්තා සියල්ලම, “ජේලර් 2” දෙවන කොටස හරහා තවත් ඉහළ තලයකට රැගෙන යෑමට නිර්මාණකරුවන් සමත්වවෙලා තියෙනවා. පළමු චිත්‍රපටයේ අවසානයේ ඇති වූ කුතුහලය සහ ප්‍රේක්ෂකයන් තුළ පැවැති දැඩි උනන්දුව, දෙවන කොටස සඳහා දැවැන්ත පදනමක් සකස් කළා කියල තමයි රජිනිකාන්ත් කියන්නේ.
‘ජේලර් 2’ කතාව ගොඩනැගෙන්නේ විශ්‍රාමික බන්ධනාගාර නිලධාරී ‘ටයිගර්’ මුතුචේල් පාණ්ඩියන්ගේ (රජිනිකාන්ත්) ජීවිතයේ තවත් උද්වේගකර පැත්තක් වටාය. පළමු කොටසේදී තමන්ගේ පවුල වෙනුවෙන් නැගීසිටි මුතුචේල්, මෙවර මුහුණ දෙන්නේ වඩාත් සංකීර්ණ සහ ජාත්‍යන්තර මට්ටමේ අපරාධ ජාලයකට. පළමු චිත්‍රපටයේ සිදුවීම්වලින් පසුව සන්සුන් ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරන මුතුචේල්ට, තමන්ගේ අතීතයෙන් මතුවන අලුත්ම සතුරන් සමූහයකට මුහුණ දීමට සිදු වේ. තමන්ගේ ආදරණීයයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නැවතත් සිය පැරණි රෞද්‍ර අවතාරයට පිවිසෙන මුතුචේල්, ඉතා සූක්ෂම ලෙස සතුරන් එකිනෙකා විනාශ කරන ආකාරය කුතුහලය, හාස්‍යය සහ අතිදැවැන්ත ක්‍රියාදාම ජවනිකා රැසක් සමඟින් තිරගත වෙනවා.
වයස අවුරුදු 75 සීමාව පසුකර සිටියත්, සුපර් ස්ටාර් රජිනිකාන්ත් තිරය මත පාන තේජස තවමත් කිසිදු තරුණ නළුවෙකුට සම කළ නොහැකි මට්ටමක තියෙනවා. මෙවර චිත්‍රපටයේදීත් ඔහු වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියලා ඔප්පු කරනවා. මෙහි නිෂ්පාදනය – කලානිධි මාරන් විසින් අසීමිත පිරිවැයක් යොදවමින්, ඉන්දියාවේ දැවැන්තම සිනමා නිෂ්පාදන සමාගමක් වන සන් පික්චර්ස් හරහා ප්‍රේක්ෂකයා හමුවට අරගෙන එනවා. චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් භාගයක්ම යන්න ඕනි අනිරුද්ගේ පසුබිම් සංගීතයටයි. ඒ වගේම කැමරාකරණය – විජේ කාර්තික් කන්නන් විසින් සිදුකරන විට, සංස්කරණය – ආර්. නිර්මල විසින් සිදුකරනවා. පැය දෙකහමාරකට අධික කාලයක් එක දිගට කුතුහලයෙන් චිත්‍රපටය නරඹන්නට හැකිවන පරිදි දර්ශන එකිනෙක අමුණා ඇත්තේ මොහුගේ විශිෂ්ට සංස්කරණය නිසාවෙන්.
චේතන් ද සූසා චිත්‍රපටයේ එන සටන් ජවනිකා ප්‍රේක්ෂකයාගේ ලේ රත් කරවන ලෙස නිර්මාණය කර තිබෙනවා. මෙම චිත්‍රපටයේ ඇති ප්‍රධානතම ආකර්ෂණයක් තමයි ඉන්දියාවේ විවිධ සිනමා කර්මාන්ත නියෝජනය කරන දැවැන්තම නළුවන් එකම තිරයක් මතට ගෙන ඒම. එස්. ජේ. සූර්යා චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ටයාගේ චරිතයට පණ පොවනවා. ඔහුගේ උමතු රංගනය රජිනිකාන්ත්ගේ චරිතයට විශාල අභියෝගයක් කියල නම් කියන්නම ඕනි. මිතුන් චක්රබෝති සහ විද්‍යා බාලන් බොලිවුඩ් සිනමාවේ අතිදැවැන්ත තාරකාවන් දෙපලක්. මොවුන්ගේ ආගමනය චිත්‍රපටයට සමස්ත ඉන්දියානු ආකර්ෂණයක් ලබා දී තිබෙනවා. මෝහන්ලාල් සහ ශිව රාජ්කුමාර් පළමු කොටසේ මෙන්ම මෙවරද මලයාලම් සහ කන්නඩ සිනමා ක්ෂේත්රයන් නියෝජනය කරනවා. ඒ වගේම රම්‍යා ක්‍රිෂ්ණන්, යෝගී බාබු සහ සුරාජ් වෙනජාරමුඩු ප්‍රධාන නළුවාට සහාය දෙන හාස්‍යජනක රංගනයන් ඉදිරිපත් කරමින් චිත්‍රපටයේ සමබරතාවය ආරක්ෂා කරන්න සමත් වෙනවා.
සුපර් ස්ටාර් රජිනිකාන්ත් චිත්‍රපටයේ සාර්ථකත්වය සහ නිෂ්පාදනය පිළිබඳව අදහස් දක්වමින් කිව්වේ මෙහෙම කතාවක්.
මෙම නිර්මාණයේ සැබෑ සාර්ථකත්වය හිමිවිය යුත්තේ එහි පසුබිම් සංගීතය සපයන ලද අනිරුද් රවිචන්දර් සහ අධ්යක්ෂ නෙල්සන් ඇතුළු තාක්ෂණික කණ්ඩායමට. පසුබිම් සංගීතයට පෙර චිත්‍රපටය නැරඹූ විට එය සාමාන්‍ය මට්ටමක පැවැති නමුත්, අනිරුද්ගේ අසමසම සංගීත සංයෝජනය සහ නිර්මල්ගේ නිවැරදි සංස්කරණය එකතු වීමත් සමඟම සමස්ත චිත්‍රපටයම වෙනස්ම තැනකට අරගෙන යන්න සමත් වෙනවා. එමෙන්ම අධ්යක්ෂ නෙල්සන් දිලිප්කුමාර් කෙරෙහි තමන් තැබූ විශ්වාසය පිළිබඳවත් රජිනිකාන්ත් අදහස් දැක්වූවා.
චිත්‍රපටයක තේමාව හෝ කතා පුවත අසාර්ථක විය හැකි වුණත්, දක්ෂ අධ්‍යක්ෂවරයෙකු කිසිදා අසාර්ථක වන්නේ නැහැ, තමන්ගේ පෙර චිත්‍රපට පිළිබඳ යම් යම් පසුබෑම් තිබුණත්, නෙල්සන්ගේ නිර්මාණශීලී හැකියාව කෙරෙහි අවංකවම තමන් විශ්වාසය තබා මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බවත්, ප්‍රේක්ෂකයින් සිනමාහල් තුළ විඳින මෙම අසීමිත ප්‍රීතියම තමන්ට ලැබුණු ලොකුම ගෞරවය බවත් සුපිරි තරුව රජිනි කාන්ත් ප්‍රකාශ කරලා තිබුණා.