වේදිකාව, පුංචි තිරය හා සිනමාව තුළ එක ලෙසම නම රඳවා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.නමුත් සම්පත් ජයවීර නම් දක්ෂ රංගන ශිල්පියා දශක ගණනාවක් මේ සියලු අංශයන්හි තම දක්ෂතා පෙන්නුම් කරනවා. මේ සුවිශේෂී බව නිසා අද ‘පිනිපලසෙන්’ සම්පත් ජයවීරව හමුවෙනවා... පුංචි තිරය, රිදී තිරය සහ වේදිකාව යන කලා ක්ෂේත්රයන්හි රඟපාන චරිතාංග රංගන ශිල්පියෙක් විදිහට සම්පත් ජයවීරව ප්රසිද්ධයි. ඉතින් මේ දවස්වල සම්පත්ගේ අලුත් විස්තර දැනගන්න අපි හිතුවා සම්පත් එක්ක කතා කරන්න.
සම්පත් රඟපාන්න ඇවිත් කොච්චර කාලයක් වෙනවද?
1998 ජාතික තරුණ සේවා සභාවේ නාට්ය හා රංග කලාව පාඨමාලාව හදාරලා රංගනය ඉගෙන ගැනීමත් සමගයි මම රංගන ක්ෂේත්රයට ආවේ. 1998 පටන් ගත්ත මගේ රංගන ජීවිතයට මේ වෙද්දි අවුරුදු 28 ක් වෙනවා. මේ අවුරුදු 28 ට ටෙලි නාට්ය 50ක්, චිත්රපට 20 ක් සහ වේදිකා නාට්ය 25 ට රංගනයෙන් දායක වුණා.
චරිතාංග නළුවෙක් වුණේ කොහොමද?
1998 ජාතික තරුණ සේවා සභාවේ නාට්ය හා රංගකලාව හැදෑරුවට පස්සෙ මම හිතාගෙන හිටියෙ නිර්මාණකරුවො රඟපාන්න ආරාධනා කරයි කියලා. හැබැයි ඉතින් එහෙම දෙයක් සිද්ද වුණේ නැහැ. ඔඩිෂන්වලට මම ගිහින් චරිත ලබාගෙනයි රංගන ක්ෂේත්රයට ආවේ. ඒ අතරින් සමහරක් ඔඩිෂන්වලදි ප්රතික්ෂේප වුණා. තවත් ඔඩිෂන්වලදි මාව තෝරගත්තත් මම බලාපොරොත්තුවෙන් හිටපු චරිතය මට ලැබුණේ නැහැ. ඉතින් මේ නිසා මට රංගනයෙන් දෙයක් කරන්න පුළුවන් කියලා ඔප්පු කරන්න රංගනය සෙයාගෙන යන්න මම තීරණය කළා. ඉතින් රංගනය ගැන මම ඉගෙන ගත්ත න්යායාත්මක කාරණාවලට ප්රායෝගිකව පණ දෙමින් මම තුළ මට අනන්ය වුණ හැකියාවක් ගොඩනගා ගන්න පුරුදු පුහුණු වුණා. මේ සඳහා සමාජයේ ඇසූපිරූ තැන් මට ගොඩක් වැදගත් වුණා. සමාජයේ විවිධ පුද්ගලයන්ගේ හැසිරීම, ආකල්ප, අදහස් වැනි දේවල් උකහාගෙන මම මගේ රංග පෞරුෂයට ඒ දේවල් එකතු කරගත්තා. මේ දේවල්වල පොදු එකතුවක් විදිහටයි මම තුළ ඉන්න චරිතාංග රංගන ශිල්පියාව ගොඩනැගිලා තියෙන්නෙ.
අවුරුදු 28 ක් තිස්සෙ රංගන ක්ෂේත්රයේ රැඳිලා ඉඳගෙන පැවැත්ම ගොඩනගා ගත්තෙ කොහොමද?
ගොඩක් අසීරුවෙන් අභියෝග මැද තමයි මම අවුරුදු 28 ක් තිස්සෙ රංගන ක්ෂේත්රයේ රැඳීලා හිටියේ. කලා නිර්මාණයක් හරියාකරව කරගන්න බැරි වෙන්න මොකක්හරි මරාලයක් අපේ රටට ඉස්සර ඉඳලාම කඩා පාත් වුණා. සිවිල් යුද්ධයකින් අපේ ලංකාව අවුරුදු 30 ක් බැට කෑවා. ඒ අවුරුදු 30 තුළ චිත්රපටයක් වේදිකා නාට්යයක් සෙනඟට පෙන්නනවා තියා තොරණක්වත් ගහලා හරියාකාරව සෙනඟට පෙන්නන්න නිර්මාණකරුවට බැරි වුණා. යුද්දෙ ඉවර වුණාට පස්සෙ උද්දමනය, කොරෝනා වසංගතය, ගං වතුර, පාස්කු බෝම්බ ප්රහාරය, රට බංකොලොත්වීම ඇතුළු ජාතික ඛේදවාචක ගොඩකට අපේ රට මුහුණ දුන්නා. මේ හැම ඛේදවාචකයේදිම මුලින්ම බිඳ වැටෙන්නෙ කලාව. ඉතින් පූර්ණ කාලීනව කලාවේ නියැළිලා ඉන්න අපි වගේ අයට ආර්ථික තත්වයෙන් ලොකු අපහසුතාවයට පත්වෙනවා. රංගන ක්ෂේත්රයට ආපු දා ඉඳලා මම මේ අර්බුදයට මුහුණ දුන්නා. මූල්යමය ප්රශ්න ඇරුණහම අපේ ක්ෂේත්රය තුළ තියන ප්රශ්නවලටත් මම සෑහෙන්න මුහුණ දීලා තියනවා.
ප්රමිතිය ගැන සැලකිලිමත් වෙන්නෙ නැතුව බාල නිර්මාණවල රඟපානකොට රසිකයෝ දොස් කිව්වෙ නැද්ද?
බාල නිර්මාණවල රඟපානකොට රසිකයො මට දොස් කිව්වා. තත්වයෙන් උසස් ප්රමිතියෙන් හොඳ නිර්මාණ ලංකාවේ කලා ක්ෂේත්රය හැමදාම නිර්මාණය වෙන්නෙ නැහැ. පූර්ණකාලිනව රංගනයේ නියැළිලා ඉන්න ඕන කෙනෙක්ට නිර්මාණවල හොඳ නරක බලන්නෙ නැතුව ලැබෙන වැඩවලට සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවාම තමයි. නමුත් ඉතින් ඒ ගැන ප්රේක්ෂකයන්ට වැඩි අවබෝධයක් නැති නිසයි අපිට දොස් කියන්නෙ. මෑතකදිත් ප්රේක්ෂකයෙක් මගෙන් ඇහුවා මට ලොකු රංග පරාසයක් තියෙද්ද ජහුටා ටෙලි නාට්යයේ සපුමල් වගේ කොමඩි චරිත රඟපාන්නෙ ඇයි කියලා. මට රංගන හැකියාව තිබුණාට මං කැමති චර්තම මට රඟපාන්න ලැබෙන්නෙ නැහැනෙ. චර්ත තෝර තෝර ඉන්න ගියොත් මට මේ රස්සාව කරන්න හම්බෙන්නෙ නැහැ.
ජහුටා ටෙලි නාට්යයේ සපුමල්ව, සම්පත්ට දැනෙන්නෙ කොහොමද?
සපුමල් කියන්නෙ බොරුවට හඳහන් බලන, දේවාල කරන අතරෙ ජහුටත් නටන ගමන් තමන්ගේ පවුල ආදරෙන් රැක බලාගෙන මර්සියෙන් ජීවිතය ගෙනි යන අපූරු මනුස්සයෙක්. වැඩේ කියන්නෙ ඔක්කොම කපටිකම් අතරෙ මේ මනුස්සයා ගාව අවම කොලිටියකුත් තියනවා. මේ වගේ මර්සිකාරයෝ හන්දිවලදි මට හම්බවෙලා තියනවා. අපේ කලා ක්ෂේත්රය තුළත් මේ විදිහට කපටිකමින්ම ජීවත්වෙන පුද්ගලයො මට හම්බවෙලා තියනවා.සපුමල්ගේ චරිතය මම ගොඩනගාගෙන ඉදිරිපත් කරන්නෙ මට හම්බවුණ ඒ පුද්ගලයෝ ඇසුරෙන්.
ජහුටා ටෙලි නාට්යයේදී පුංචි දුව එක්ක රඟපාන අත්දැකීම ගැන අදහස මොකක්ද?
මම මගේ පුතත් එක්ක ගොඩක් එකතුයි. තාත්තා කෙනෙක් කියන හැගීම සහ දරුවොන්ට දක්වන ආදරය මගේ අභ්යන්තරය තුළම තියනවා. ඉතින් ඒ හැඟිම තමයි ජහුටා ටෙලි නාට්යයේ මගේ දුවට රඟපාන සංජනා දුව එක්ක මම කැමරාව ඉස්සරහා ගොඩ නගාගෙන තියෙන්නෙ. ඇත්තටම ජහුටා ටෙලි නාට්යයේ මගේ දුවට රඟපාන සංජනා දුව ගොඩක් දක්ෂයි. පුංචි කාලේ ඉඳලම රංගනය ගැන ලොකු උනන්දුවක් සංජනා දුවට තියෙන්නෙ. ඉතින් මට දුවත් එක්ක සුසංයෝගය ගොඩනගා ගන්න එක ගොඩක් ලේසි වුණා.
සම්පත්ගේ රංගනය නිසාම ප්රේක්ෂකයෝ ජහුටා බලන්න පටන් ගත්තා කියලා ප්රේක්ෂකයෝ සමාජ මාධ්යවල සඳහන් කරලා තියනවා. ඒ ගැන සම්පත් මොකද හිතන්නෙ?
ජහුටා ටෙලි නාට්යය වෙනුවෙන් දුශේනි, අකිල, චතුරංග, ප්රියංකා ඇතුළු නළු නිළියෝ ගොඩක් ලොකු වටිනාකමක් එකතු කරනවා. ඒ අතරේ මගේ රංගනය නිසාම ජහුටා බලන ප්රේක්ෂකයෝ පිරිසක් ඉන්නවා කියලා අහන්න ලැබීම ගැන සහ ජහුටා ප්රේක්ෂකයෝ අතර දුවන්න මගේ රංගනය බලපෑම් සහගත වෙලා තියනවා කියලා අහන්න ලැබීම ගැන මම සතුටු කලාවට මොකක් හරි වෙනවා.