මගේ ලස්සන කටහඬ විනාශ වුණා- සෙලීනා ගෝමස්

gossiplanka image 1
 

ලොව පුරා කෝටි සංඛ්‍යාත රසික හදවත් වශී කළ සුප්‍රකට ගායිකාවක මෙන්ම රංගන ශිල්පිනියක වන 34 හැවිරිදි සෙලීනා ගෝමස්, පසුගියදා තමන් කළ මෝඩ වැඩක් නිසා සිදුවූ බරපතළ අනතුරක් ගැන සමාජ මාධ්‍ය හරහා විවෘතව හෙළි කරමින් මුළු ලෝකයම කැලඹීමට පත් කළා.



තම ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා වීඩියෝවක් නිකුත් කරමින් ඇය පවසන්නේ, නිකොටින් සහිත 'වේප්' භාවිතය නිසා තමන්ගේ මුල් කටහඬ සදහටම වෙනස් වී ගිය බවයි.


"මට මගේ පරණ කටහඬ ආපහු ගන්න බැරි වෙයි. මම අධික ලෙස නිකොටින් වේප් පාවිච්චි කළා. නිකොටින් පුරුද්ද අත්හරින එක හරිම අමාරුයි. කාටහරි වේප් පාවිච්චි කරන්න හිතෙනවා නම් කියන්න තියෙන්නේ, ඒක කරන්නම එපා කියලයි. ඒකෙන් කිසිම වැඩක් නෑ. මම කරපු ඒ මෝඩ වැඩෙන් මගේ කටහඬ මුළුමනින්ම වෙනස් වුණා. දැන් ඔයාලා මගේ කටහඬ අහන්න අකමැති නම් මට ඒක තේරෙනවා. කමක් නෑ, මගේ කටහඬ නොඅහා ඉන්න." යනුවෙන් ඇය කියා සිටියා.


කෙසේ වෙතත්, දැඩි උත්සාහයකින් පසු මේ වන විට තමන් එම මාරාන්තික ඇබ්බැහියෙන් මිදුණු බවත්, එය දිගටම පවත්වා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඇය සතුටින් යුතුව ප්‍රකාශ කර තිබෙනවා.


සෙලීනා කලක පටන් 'ලූපස්' නමැති දීර්ඝකාලීන ප්‍රතිශක්තිකරණ රෝගයෙන් පෙළෙන්නියක්. එහිදී ස්වරාලය ආශ්‍රිතව ඇතිවන ආසාදන නිසාද කටහඬ ගොරෝසු වන බව මීට පෙර වාර්තා වුණා. එමෙන්ම, 2017 වසරේදී මෙම රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඇගේ සමීපතම මිතුරියක වන ෆ්‍රැන්සියා රයිසා විසින් සෙලීනාට එක් වකුගඩුවක් පවා පරිත්‍යාග කර තිබුණා.


ජීවිතය බේරාගැනීමට වකුගඩුවක් පවා බද්ධ කර තිබියදීත්, ඇය ශරීරයට අතිශය අහිතකර නිකොටින් වේප් භාවිතයට ඇබ්බැහි වීම පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනාත්මක කතාබහක් නිර්මාණය වී තිබෙනවා.


"මිතුරියක් තමන්ගේ ඇඟෙන් වකුගඩුවක් දුන්නේ මේ වගේ දේවල් කරලා ශරීරය විනාශ කරගන්නද?" යනුවෙන් ඇතැමුන් කෝපයෙන් ප්‍රශ්න කරද්දී, තවත් බොහෝ රසිකයන් පවසා සිටියේ තමන් වැටී සිටි ඇබ්බැහිය ගැන ලෝකයටම විවෘතව පාපොච්චාරණය කරමින් එයින් මිදීමට ඇය දැක්වූ ධෛර්යය අගය කළ යුතු බවයි.


කෙසේ වෙතත්, ලොවක් ආදරය කළ මේ සොඳුරු ගායිකාවගේ කටහඬට සිදුවූ මේ හානිය ඇගේ රසිකයන්ගේ නෙතට කඳුළක් එක් කර අවසන්!

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post