පොත් සීයක් ලියන්න තරම් දුක් විඳල තියෙනවා – දුලංජ දිල්ශාන්

gossiplanka image 1
 



හීන කියන දේවල් හීනයක් නොවී සැබෑවක් කරගත්තු හාදයෙක් ගැනයි අද අපි ඔයාලට කියන්න හදන්නේ. තමන්ගේ හීන සැබෑ කරන්න මේ හාදයා නොකරපු වැඩක් නෑ. නැතිනම් නොකරපු රස්සාවක් නෑ. ඒ මොනවා වුණත් අද දවසේ ඔහු ඔයාලා ඉස්සරහට ඇවිත් ඉන්නේ තමන්ගේ හීනය වෙනුවෙන් වැඩ කරපු හින්දයි මේ දවස්වල මෙයාව අපිට හම්බ වෙන්නේ බෝල්ට් ඇණයක්. ජහුටා වගේ ටෙලිනාට්‍යවලින්. ඔය අතරේ මේ දවස්වල කවුරුත් කතාබහ වෙන සිනමාවේ ආදායම් වාර්තා අලුත් කරන එදා රෑ චිත්‍රපටයෙනුත් මුණගැසෙනවා.


නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ මන්ත්‍රී අයියාගේ චරිතය තුළින් ප්‍රේක්‍ෂක ආකර්ෂණය බෙහෙවින් දිනාගත් දුලංජ දිල්ෂාන් කෝටිපතියෝ” හාරකෝටිය” සල්ලි පොකුරු” සසංකාරා” පට්ටිගෙදර වැනි ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසකට තම රංගන දායකත්වය සපයා තිබේ. ඉලංගෝ රාමා අධ්‍යක්‍ෂණය කළ ප්ලේන්ටි” එස්. අයි. සමරක්කොඩි අධ්‍යක්‍ෂණය කළ හෙලෝ සහ ශ්‍යාම් ප්‍රනාන්දු අධ්‍යක්‍ෂණය කළ මගේ පන්තියේ ළමයෙක් චිත්‍රපටවලින්ද ඉදිරියේදී දුලංජව අපට සිනමාවෙන් දැකගත හැකි වේ.


මේ දවස්වල මම රංගනයෙන් දායක වුණු එදා රෑ චිත්‍රපටය අතිසාර්ථක ලෙස තිරගත වෙනවා. අරුණ ජයවර්ධන අයියාගේ අධ්‍යක්‍ෂණයක් වගේම සුනෙත් මාලිංග අයියාගේ තිර පිටපත් රචනයක් ඇත්තටම සතුටුයි මේ චිත්‍රපටය සම්බන්ධ වෙන්න ලැබීම ගැන. මොකද මේ වෙනකොට එදා රෑ සිංහල සිනමාවේ ආදායම් වාර්තා අලුත් කරමින් තිරගත වෙනවා. ඔය අතරේ පාසල් ඉගෙනීම් කටයුතු වගේම රඟපෑම් වැඩ කටයුතු කරගනෙ ගෙදර කට්ටිය එක්ක සතුටින් කාලය ගෙවනවා.


එදා රෑ චිත්‍රපටයට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරද?


ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමහරු නම් කියනවා මේ ඔයාද කියලා. අඳුගන්න බෑ කියලා. සමස්තයක් විදිහට ගත්තහම චිත්‍රපටයට හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්නේ. ඉතිං මෙහි චරිත රඟපෑ අපිටත් ඒ හා සමාන ප්‍රතිචාරයක් ලැබෙනවා.


එදා රෑ චිත්‍රපටය සාර්ථක ලෙස තිරගත වෙනවා. ඒ ගැන මෙන වගේ හැඟීමක්ද තියෙන්නේ?


චිත්‍රපටයක් සාර්ථක ලෙස තිරගත වෙනවා කියන එක ගැන කලාකරුවෙක් හැටියට ලොකු සතුටක් තියෙනවා. මොකද සිනමා කර්මාන්තය එහෙම දියුණු වෙන්න ඕනෑ. එතකොට තමයි තවත් කවුරුහරි ආයෝජකයෙක් මේකට බය නැතිව මුදල් ආයෝජනය කරන්නේ. එදා රෑ කියන්නේ සිනමා කර්මාන්තයට සතුටු ලකුණක්.


කොහොමද එදා රෑ සඳහා ආරාධනාව ලැබුණේ.


මට මේ සඳහා ආරාධනාව ලැබුණේ කලා අධ්‍යක්‍ෂ පියතිස්ස අතුරම්බොඩ අයියා සහ ඇඳුම් නිර්මාණය කරපු පවිත්‍රා අක්කා හින්දයි. මොකද මේ දෙන්නා මීට කලින් මගෙත් එක්ක සසංකාරා ටෙලි නාට්‍යයේ එකට වැඩ කරලා තියෙනවා. ඉතිං ඒ දෙන්නා තමයි මාව ‘එදා රෑ. චිත්‍රපටයට සම්බන්ධ කරගන්න කියලා යෝජනා කරලා තියෙන්නේ. ඊට පසුව තමයි මම ‘එදා රෑ. චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබුණේ.


පුංචි තිරයේ ඔබ රංගනයෙන් දායක වුණු බෝල්ට් ඇණයක් ටෙලි නාට්‍ය ගැනත් කතා නොකරම බැහැ.


ඇත්තටම බෝල්ට් ඇණයක් ටෙලි නාට්‍යයට මේ දවස්වල ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. යාළුවෙක් නම් මේ වගේ වෙන්න ඕනෑ කියලයි කට්ටිය කියන්නේ. මාලක අයියාගේ ලස්සන පිටපතක්” ඩිල්ෂාන් අයියාගේ අධ්‍යක්‍ෂණයක්. මාලක අයියා ලියන දෙබස්වලට සාර්ථක රඟපෑමක් සිදු කරන්න මම උත්සාහ කරනවා. විශේෂයෙන් මේ වෙලාවේ ජෙනට් ඇන්තනීව මතක් කරන්නට ඕනෑ. ඉස්සරහටත් හරි අපූරු සිද්ධි ටිකක් වෙනවා හැමෝට ම ආරාධනා කරනවා එන්න බලන්න කියලා.


ගමේ ඉඳන් කොළඹ එන්නේ නළුවෙක් වෙන්න හිතාගෙනමයි. අද වෙනකොට ඒ අධිෂ්ඨානය ඉෂ්ට වෙලා?


ඔව්. ඇත්තට ම ගමෙන් කොළඹට ආවේ නළුවෙක් වෙන්න බලාගෙනමයි. අද වෙනකොට ඒක යම්තාක් දුරට ඉෂ්ට වෙලා තියෙනවා. මගේ ගමන තවම ඉවර නැහැ. මාව ඉස්සරහට සාර්ථක නළුවෙක් වෙන්න දක්‍ෂ නළුවෙක් වෙන්න තමයි මගේ අධිෂ්ඨානය තියෙන්නේ. ඒ වෙනුවෙන් මහන්සි වෙලා කැපවෙලා වැඩ කරනවා නළුවෙක් වුණා කිව්වට මම තව මදි තව තවත් සාර්ථක වෙන්න ඕනෑ කියන තැනයි මම ඉන්නේ.


මේ ගමන එතකොට මුහුණ දුන් අභියෝග එහෙම එමටයි?


නළුවෙක් වෙන්න එන ගමනේදී අභියෝග නම් එමට ම තමයි. ඒවා ගැන නම් කතා කරලා තේරුමක් නැහැ. මොකද ඒ ගැන ලියන්න ගියොත් පොත් සියයක් ලියන්න පුළුවන් තරම් දුක්විඳලා තියෙන්නේ. ඒ අභියෝග නිසාම වෙන්න ඇති සමහර විට බාධක ජයගෙන මේ වගේ ගමනක් යන්න මට පුළුවන් වෙලා තියෙන්නේ. ඉදිරියට අපේ ජීවිතවලට තවත් බාධක එනවා ඒවත් මැඬගෙන ඉස්සරහට සතුටින් සහ සාර්ථකව යන්න තමයි මම උත්සාහ කරන්නේ. ආපසු හැරී බැලුවොත් මේ වගේ ගමනක් යන්න මම තවමත් සූදානම් වෙලා ඉන්න එක ගැනම සතුටුයි.


පුංචි කාලේ ඉඳලම හීන මැව්වේ නළුවෙක් වෙන්නද?


පුංචි කාලේ ඉඳලාම හීන මැව්වේ නළුවෙක් වෙන්න. මට ඒ නළුකමට ආභරණයක් වුණේ මගේ නැටුම් මිස් ගීතාංජනී සිරිවර්ධන නැටුම් මිස් ඉස්කෝලේ කාලෙදී මාව බලාගත්තේ අම්ම වගේ. ඇත්තට ම ඒ මිසුත් මගේ පිටුපසට වෙලා මම යන ගමන ගැන අදටත් සතුටින් බලාගෙන ඉන්නවා.


මේ ගමන් මගේදී රස්සාවල් කීපයක්ම කළා?


ඔව්. රස්සාවල් කීපයක්ම කළා. දැන්නම් වෘත්තියෙන් ගුරුවරයෙක්. මීට කලින් කර්මාන්තශාලා දෙක තුනකම වැඩ කළා. ඊට අමතරව පේස්ටි්‍ර ෂොප්වල කෑම කඩවල පවා වැඩ කළා. ඇත්තටම රස්සාවල් සෑහෙන ප්‍රමාණයක් කළා. එහෙමත් දුකක් වින්ඳා. එහෙම දුක්වින්ඳෙත් මගේ මේ අධිෂ්ඨානයට යන්න තමයි. මොකද ආර්ථික අතින් ශක්තිමත් වෙන්න එපායැ. අපිට ඒකාලේ එහෙම ලොකුවට සල්ලි තිබුණේ නැහැ. ඒක හින්දයි රස්සාවල් කීපයක්ම කරලා ආර්ථිකය ශක්තිමත් කරගන්න බැලුවේ.


ඔබ අද වෙනකොට වෘත්තියෙන් ගුරුවරයෙක් කිව්වා?


ඔව්. මම ආඬිගම මහා විද්‍යාලයේ වෘත්තියෙන් ගුරුවරයෙක්. ඉදිරියටත් මේ වෘත්තියේ නියැලෙනවා කියන අදහසේ තමයි ඉන්නේ. මගේ සේවා කාලයට මේ වෙනකොට අවුරුදු හය හතක් වෙනවා. මම තවම ඉන්නේ දුෂ්කර පාසල්වල. එතකොට රඟපෑමයි, ගුරු වෘත්තියක් සමබරව කරගෙන යෑමේදී ටිකක් අභියෝගාත්මකයි. කොහොම වුණත් මේ සේරම එකට ගැටගහගෙන යන්න තමයි පුළුවන් තරම් උත්සාහ කරන්නේ. ගුරු වෘත්තීය මම පාසල් දරුවෝ එක්ක සාර්ථකව කරගෙන යනවා.


මෑත කාලයේ ඔබ රංගනයෙන් දායක වුණු පට්ටි ගෙදර අරවින්දවත් අමතක නොකර බැහැනේ.


උක්කු අයියා නැතිනම් අරවින්ද සැබෑ ආදරවන්තයෙක්. තමන්ගේ ආදරය කවදා හරි දවසක තමන් ළඟට ඇවිල්ලා ඒ ආදරය එක්ක ජීවත් වෙන්න පුළුවන් කියලා මැරෙනකම්ම බලාගෙන ඉන්න සැබෑ ආදරවන්තයෙක් මට මේ චරිතයට ආරාධනාව ලැබුණේ පට්ටිගෙදර අධ්‍යක්‍ෂ අනුෂ්ක රසාංජන මල්ලිගේ ආරාධනාවකටයි. හරි සතුටුයි ඒ වගේ චරිතයක් කරන්න ලැබීම ගැන.


නාඩගම්කාරයෝ මන්ත්‍රී අයියාගෙන් පස්සේ නේද ඔබ ගැන වැඩිපුර හොයන්න පටන් ගත්තේ?


මම ඊට කලින් ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මයාගේ සහ සද්ධාමංගල සූරිය බණ්ඩාරගේ නාට්‍ය වන හාරකෝටිය” කෝටිපතියෝ වගේ ටෙලි නාට්‍යවල වැඩ කළා. මම ඉන්පස්සේ ආයතනයට සම්බන්ධ වුණාට පසුව තමයි එතැනට එන්න අවස්ථාව උදා වුණේ. ඊට පස්සේ මම අමුතු රසිකයා” පැණිකුරුල්ලෝ වගේ ටෙලි නාට්‍ය රැසක රඟපෑවා. නමුත් නාඩගම්කාරයෝ නාට්‍ය හරහා මට ගොඩාක් ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබුණා. ඒ නාට්‍ය හරහා තමයි මම කවුද කියන එක කට්ටිය දැන ගත්තේ. ඒකට ප්‍රධාන හේතුව නාට්‍ය ජනප්‍රියත්ව පමණයි. අදටත් සමහරු කතා කරල අහනවා නාට්‍යයේ දෙවැනි කොටසක් පටන් ගන්නේ නැතිද කියලත්. ඒ තරම් නාට්‍ය ජනප්‍රිය වුණා.


මේ දවස්වල රඟපෑම් වැඩ කටයුතු මොනවාද?


ඉලංගෝ රාමා අධ්‍යක්‍ෂණය සිදු කළ ඔහුගේ අලුත්ම නිර්මාණය වන ‘ප්ලේන්ටි. කියන චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. ඊට අමතරව බෝල්ට් ඇණයක් රනිල් කුලසිංහ අයියාගේ අවසන් ඡායාරූපය නිර්මාණවල රූගත කිරීම් සිදු කෙරෙනවා. ඔය අතරේ ජහුටා ටෙලි නාට්‍යයටත් රංගනයෙන් දායක වෙනවා. ඉදිරියටත් රඟපෑමට ආරාධනා ලැබේවි කියලා.


ලැබුණු ආරාධනාවල වැඩකටයුතු ටික කරගෙන ඉන්නවා.


අද ඔබ ඉන්න තැන ගැන තෘප්තිමත්ද?


අනිවාර්යයෙන්ම මම තෘප්තිමත්. මගේ ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත් මේ තැනට ඇවිත් තියෙන එක ගැන මම සෑහෙන තෘප්තිමත් වෙනවා. මොකද අවස්ථාවක් හම්බවුණාට පස්සේ ඒකෙන් තමන්ට කරන්න පුළුවන් දේ පෙන්වලා ඊට පසුවයි අද ඉන්න තැනට මම මේ ඇවිත් ඉන්නේ. ඒ ගැන මට සෑහෙන සතුටක් තියෙනවා. මම හිතුවෙත් නෑ මට මෙහෙම ගමනක් එන්න පුළුවන් වෙයිද කියලා. මම තෘප්තිමත් වෙන්නේ අද ඉන්න තැන ගැන මිසක් වෙන දේකට නෙමෙයි. මට තව ඉස්සරහට කරන්න ගොඩාක් වැඩ තියෙනවා. තවත් තෘප්තිමත් වෙන්න පුළුවන් ඉස්සරහට ඒ වැඩ ටිකත් කෙරුවොත්.


දිනේෂ් විතානඡායාරූප – ලක්මාල් සිංහාරගේ

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post