රිද්ම කියන්නෙ රංගනයට වගේම නර්තනයටත් දක්‍ෂ, ඒ පිළිබඳව හදාරපු කෙනෙක් -රශී පබා සංදීපනී

gossiplanka image 1
 


‘අහස තරම්’ කියන්නෙ සාමාන්‍ය ආටිස්ට් කතාවක් නෙමෙයි, ඒක පවුලේ කතාවක් විදිහට හඳුන්වන්න මම කැමතියි. මොකද මේ තුළින් කතා වෙන්නෙ පවුලක් තුළ තියෙන ආදරණීය බැඳීම ගැන. ඒ විතරක් නෙමෙයි, ලස්සනම ලස්සන කතාවක් වගේම ලස්සන දෙබස්, අපේ රටේ හැමෝම ආදරය කරන ගායකයන්ගෙ හිතට දැනෙන ගීතවලිනුත් ‘අහස තරම්’ පොහොසත්. සංගීතයෙනුත් ලොකු වෙනසක් සිදු වෙනව. ඉතිං මං හිතනව ‘අහස තරම්’ ප්‍රේක්‍ෂකයන් ආදරෙන් වැළඳගනීවි කියල.


රශී පබා සංදීපනී ‘අහස තරම්’ දකින්නෙ ඒ විදිහට.


‘විසල් ආදරේ’ චිත්‍රපටයෙන් පස්සෙ රශී, තාරුකා ලෙසින් චරිත මවන ‘අහස තරම්’, මේ දවස්වල රිදී තිරයේ දිගහැරෙනව.


ඉතිං තාරුකා ගැන වගේම රශී ගැනත් අලුත් තොරතුරු ටිකක් දැනගන්න අපි මේ විදිහට කතාබහක යෙදුණා.


තාරුකා මම දකින්නෙ නව පරපුරේ ගැහැනු ළමයෙක් විදිහට. මොකද ඔවුන් ඉස්සර කාලෙ වගේ අවුරුදු විස්සෙන් කසාද බඳින්න හිතන්නෙ නැහැ. මහන්සි වෙලා ඉගෙනගන්නව, කවුරුත් කියන දේකට වඩා තමන් තනියෙන් තීරණ ගන්නව, තමන්ගෙ හීන වෙනුවෙන් කැපවෙනව. ඒ ගමනට සහයෝගයක් නොදෙන පිරිමි ළමයෙක් මුනගැහුණොත් එයා මොන වගේ තීරණයක්ද එතැනදි ගන්නෙ සහ ඒ වගේ ගැහැනු ළමයෙක් ආදරය කොහොමද දකින්නෙ. අන්න එහෙම කෙනෙක්ව තමයි ‘අහස තරම්’ චිත්‍රපටය තුළ තාරුකා නියෝජනය කරන්නෙ.


මෙතැනදි චරිතය වෙනුවෙන් මට විශේෂ සූදානමක් වෙන්න අවශ්‍ය වුණේ නැහැ. මම මගේ අත්දැකීම් චරිතයට එකතු කළා.


චිත්‍රපටයේ තිර රචක සහ අධ්‍යක්‍ෂ ප්‍රසාදි අබේගුණරත්න සහ විධායක අධ්‍යක්‍ෂ චතුරංගන ද සිල්වා යන දෙදෙනා තමයි තාරුකාගේ චරිතය වෙනුවෙන් මට කතා කරන්නෙ. ‘විසල් ආදරේ’ චිත්‍රපටය බලද්දි ප්‍රසාදි අක්කා හිතුවලු කවදා හරි මගේ තාරුකා වෙන්නෙ රශී කියල. ඒ විශ්වාසය ගැන මට හරි සතුටුයි. ඒ වගේම මම හිතනව තාරුකා වෙනුවෙන් මට සාධාරණයක් කරන්න පුළුවන් වුණා කියල.


ෂූටිං තිබුණෙ මිරිස්ස, ගාල්ල, දෙණියාය වගේ ප්‍රදේශවල. අපි හැමෝම එකම පවුලක් වගේ බොහොම සතුටින්, සහයෝගයෙන් වැඩ කළා. සිංදු කිව්වා, විහිළු තහළු කළා වගේම අපිට ගොඩක් කන බොන මතක එහෙම තියෙනව.


‘විසල් ආදරේ’ ට පස්සෙ තවත් සිනමා නිර්මාණවලට සම්බන්ධ වුණත් ‘අහස තරම්’ තමයි ඒ අතරින් මුලින්ම තිරගත වෙන්නෙ. ඒ අවුරුදු එකහමාරකට විතර පස්සෙ. ඒ කාලය ඇතුළත නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වුණා. ඒවා එකින් එක ඉදිරියේදී දකින්න පුළුවන් වෙයි.


රිද්ම වීරවර්ධන පළමු වතාවට ‘අහස තරම්’ සමග රිදී තිරයට එනව.


රිද්ම කියන්නෙ රංගනයට වගේම නර්තනයටත් දක්‍ෂ, ඒ පිළිබඳව හදාරපු කෙනෙක්. වෘත්තියෙන් ගායකයෙක් වුණාට රංගනයට අවශ්‍ය දැනුම ඔහු සතුව තිබුණා. එකම දේ සිනමාවට අලුත් කෙනෙක් වීම. නමුත් ඔහුගේ


උනන්දුව සහ කැපවීමත් එක්ක රිදී තිරයට ආධුනිකයෙක් බව නොහැඟෙන විදිහට සාර්ථකව ඔහුගේ රංගනය ඉදිරිපත් කරල තියෙනව කියල මම විශ්වාස කරනව.


මේ චිත්‍රපටයේදි මට මම ආසා විදිහේ කමෙන්ට් දෙකක් ලැබුණා. එකක් තමයි මගේ මුහුණේ හැඟීම් ප්‍රකාශනය ගොඩක් හදවතට දැනෙනව කියන එක. අනෙක් එක තමයි තිරයේ මගේ මුහුණ දැක්කට එපා වෙන්නෙ නැහැ, ඒ දිහා බලාගෙනම ඉන්න හිතෙනව කියන එක. ඇත්තටම හරිම සතුටුයි මේ වගේ කමෙන්ට් අහන්න ලැබෙන එක ගැන.


සිනමා නිර්මාණ අතර රශී ටෙලියකිනුත් දකින්න පුළුවන්.


‘අස්වැන්න’ රූගත කළේ දැනට කාලෙකට කලින්. මෙහි රංගනයෙන් දායක වුණ ඩබ්ලිව්. ජයසිරි මහත්මයා, අධ්‍යක්‍ෂවරයා වගේ කිහිප දෙනෙක් අද වන විට ජීවතුන් අතර නැහැ. ඒ නිසා ඇත්තටම මේ නිර්මාණය විකාශය වෙද්දි අපි ඇත්තටම දුක් වුණා ඔවුන් මේ අවස්ථාව නොදැකම අපි අතරින් සමුගෙන ගිය එක ගැන.


මෙහි රූගතකිරීම් පහසු කාර්යයක් වුණේ නැහැ. දුෂ්කර පළාතක කර්කෂ පොළොවත් එක්ක ඔට්ටු වෙලා ලොකු කට්ටක් කෑවා නිර්මාණය සාර්ථකව ගොඩදාන්න. අපි ඇත්තටම දුකෙන් හිටියෙ ‘අස්වැන්න’ කවදාවත් දකින්න බැරිවෙයි කියල.


ඇත්තටම මට ගව පාලනය ගැන කිසිම අත්දැකීමක් නැහැ. නමුත් මොන හේතුවක් නිසා හරි ළමයි වගේම සතුන් මං එක්ක හරි ඉක්මනට යාලු වෙනව. මේ නිර්මාණයේ එන වැස්සි ළඟට ගිහින් කතා කළාම බොහොම ඉක්මනට සමීප වුණා.


රංගන ශිල්පියෙක් හෝ ශිල්පිණියක් කැමතියි තමන්ගේ රංග පරාසය පෙන්වන්න පුළුවන් විදිහේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න. මේ චරිතයට මාව නිර්දේශ කරන්නෙ නිල්මිණී තෙන්නකෝන් මහත්මිය. වේදිකාවෙන් ආපු කෙනෙක් හැටියට මං ගැන ඔවුන්ට ලොකු විශ්වාසයක් තිබුණා. මගේ රංගන පරාසය එහෙම වුණාට නිරන්තරයෙන් ආරාධනා ලැබෙන්නෙ ලස්සන චරිතවලට.


මේ වනවිටත් චිත්‍රපට දෙකක වැඩකටයුතු සම්පූර්ණයෙන්ම අවසන්. ඒ වගේම තව සතියකින් විතර අලුත් චිත්‍රපටයකට සම්බන්ධ වෙන්නත් සූදානමක් තියෙනව.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post