ආයු ජීවිතයේ අලුත් පිටුවක් පෙරළුවා - සැන්ඩ්‍රා මැක්

gossiplanka image 1
 


චත්‍ර වීරමන්ගේ ආයු කියන්නේ පසුගිය අවුරුද්දේ තිරගතවුණු චිත්‍රපටවලින් දැඩිලෙස කතාබහට ලක්වුණු චිත්‍රපටයක්. ආයු හි නිශ්මිගේ චරිතයට කළ සාධාරණ හේතුවෙන් ඒ දවස්වල කවුද මේ නිශ්මි කියලා හැමෝම හොයන්න පටන්ගත්තා ඔයාලට මතක ඇති. ඇය ලංකාවේ දක්ෂ දුනුවිදීමේ ශූරියක් වගේම ක්‍ෂේත්‍ර ගණනාවකින් තමන්ගේ දස්කම් දැක්වූ තරුණියක්. අපි එදා කියූ අයුරින්ම නිශ්මිට කළ සාධාරණය වෙනුවෙන් ඇය සරසවි සම්මාන උළෙලේ දී හොඳම නිළිය මෙන්ම ජනප්‍රියම නිළියට හිමි සම්මානය දිනාගනු ලබනවා. පසුගිය දවස්වල පැවැති සම්මාන උළෙලවලදී ආයු චිත්‍රපටයට ලැබුණු සම්මානත් එක්ක ඔන්න ආපහු ආයු තිරගතවෙනවා. ඉතිං නිශ්මි ගැන මේ වෙලාවේ ආයෙත් කතාබහ වෙනවා. ආයු ඇගේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරළා ඇත. ඇය නමින් සැන්ඩ්‍රා මැක්.


සරසවි සම්මාන උළෙලේ හොඳම නිළිය සහ ජනප්‍රිය නිළිය යන සම්මාන ද්විත්වය හිමිවීම ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම ඒක හරිම විශේෂ හැඟීමක්. ඒ වගේම මට ලොකු සතුටක් සහ ස්තුතියක් තියෙනවා. ආයු කියන්නේ මගේ පළමුවැනි චිත්‍රපටය. ඉතින් පළමුවැනි චිත්‍රපටයට ම මේ සම්මාන දෙකම ලැබීම ගැන මම ගොඩක් සතුටුයි, මට මේ අවස්ථාව ලබාදුන්න චත්‍ර වීරමන්ටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මාව විශ්වාස කරපු, මේ ගමනේදී මට උදව් කරපු හැමෝටමත් ගොඩක් ස්තුතියි.


ඔබ නිර්දේශ වන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන ස්වර්ණා මල්ලවාරච්චි සමග. මේ ආරංචිය දුටු විගස දැනුණ හැඟීම මොන වගේද?


ඇත්තට ම මට ඒක ලොකු ගෞරවයක්. ස්වර්ණා මල්ලවාරච්චි කියන්නේ මම ගොඩක් කාලෙක ඉඳන් ගොඩක් ආදරෙන් සහ ගෞරවයෙන් බලන රංගන ශිල්පිනියක්. ඉතින් එතුමියත් එක්ක එකට නිර්දේශ වීමම මට ලොකු දෙයක්. මම කවදාවත් මේක තරගයක් විදිහට දැක්කේ නැහැ. මේ වගේ දක්ෂ රංගන ශිල්පිනියන් එක්ක එකට නිර්දේශ වෙන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වුණා.


නිශ්මි සැන්ඩ්‍රාගේ ජීවිතයට දැනෙන්නේ කොහොමද?


නිශ්මි කියන්නේ මගේ ජීවිතේ හැමදාමත් විශේෂ තැනක් තියෙන චරිතයක්. ඒ මගේ පළමු වෙනි සිනමා චරිතය. නිශ්මි හරහා මගේම වෙනස් පැත්තක් මම හඳුනාගත්තා. ඒ වගේම චරිතයක් ප්‍රේක්ෂකයන්ට දැනෙන්නෙ කොහොමද කියන එකත් මම ඉගෙන ගත්තා. මගේ මේ ගමන පටන් ගන්න දොර ඇරලා දුන්නේ නිශ්මි කියලා මට හිතෙනවා. ඒ වගේම නිශ්මිව ආදරෙන් වැලඳගත්තා මගේ ප්‍රේක්ෂකයන්ටත් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.


ආයු ආපහු තිරගත වෙනවා නේද?


ඒ ගැන මට ගොඩක් සතුටුයි. ආයු කියන්නේ මගේ පළමු වෙනි චිත්‍රපටය නිසා ඒක හැමදාමත් මගේ හිතට ගොඩක් සමීපයි. ආයු ආයෙත් සිනමාහලක බලන්න ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලැබෙන එක මට ගොඩක් විශේෂයි. මේක සිනමාහලකම බලන්න ඕන චිත්‍රපටයක් කියලා මම හිතනවා. විවිධ හේතු නිසා පළමු වෙනි වතාවේ ගොඩක් අයට චිත්‍රපටය බලන්න බැරි වුණා. ඉතින් මේක එයාලට ආයෙත් ලැබෙන දෙවැනි අවස්ථාවක්.


දැන් දුනු විදීමෙන් ඈත් වෙලාද?


ඇත්තටම නැහැ. දුනු විදීම කියන්නේ මම තාමත් ගොඩක් ආදරේ කරන දෙයක්. ඒක හැමදාමත් මගේ ජීවිතේ කොටසක්. දැන් රඟපෑමත් එක්ක වැඩ ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඒත් දුනු විදීම අතහරින්න මගේ කිසිම අදහසක් නැහැ. ෆිල්ම් වැඩත් එක්කම දුණු විදීමේ පුහුණුවටත් කාලය වෙන් කරගන්න මම බලාපොරොත්තු වෙනවා.


මේ වෙනකොට ඔබේ වෘත්තීය මොකක්ද?


දැන් නම් මම කියන්නේ මම නිළියක් කියලා. රඟපෑම මගේ ජීවිතේ ගොඩක් වැදගත් කොටසක් වෙලා තියෙනවා. මේ ගමන මාව කොහෙට අරගෙන යයිද කියලා මමත් ආසාවෙන් බලාගෙන ඉන්නවා.


ඒ වගේම ඇඩ්වර්ටයිසින් කියන්නේ මගේ ජීවිතේ ගොඩක් කාලයක් තිස්සේ තියෙන, මට ගොඩක් සමීප දෙයක්. මම විශ්වාස කරන්නේ අපි එක වෘත්තියකට විතරක් සීමා වෙන්න ඕනේ නැහැ කියලා. තමන් ආස දේ හොයාගෙන, ඒ වෙනුවෙන් මහන්සි වෙලා, දක්ෂතාවයත් කැපවීමත් එක්ක වැඩ කරනවා නම්, අපිට අපි කැමැති ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. ජීවිතේ අපිව කොහෙට අරගෙන යයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා ලැබෙන හැම අවස්ථාවක්ම අරගෙන, අපිට පුළුවන් උපරිමයෙන් ඒක කරන්නයි මම විශ්වාස කරන්නේ.


රඟපෑමට එන්න කලින් වෘත්තීන් රැසක් නියෝජනය කළා නේද?


ඔව්, රඟපෑමට එන්න කලින් මගේ ගමන ටිකක් වෙනස්. මම විවිධ ක්ෂේත්‍රවල වැඩ කරලා, විවිධ අත්දැකීම් ලබාගෙන තියෙනවා. ඒ හැම අත්දැකීමක්ම අද මම කවුද කියන එක ගොඩනගන්න උදව් වෙලා තියෙනවා.


මම ඉස්සරහටත් මේ විදිහට විවිධ දේවල් අත්හදා බලමින් යන්න කැමැතියි. මට හිතෙන්නේ ජීවිතේ මේ විදිහට ගත කරන එක තවත් රසවත් කියලා. ඒ අත්දැකීම් මට විවිධ චරිත සහ විවිධ මිනිස්සු තේරුම් ගන්නත් ගොඩක් උදව් වෙනවා.


ආයු ඔබේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරළුවාද?


අනිවාර්යයෙන්ම. ආයු මගේ ජීවිතේ ගමන සම්පූර්ණයෙන්ම වෙනස් කළා. මම ඒකට ගියේ අලුත් දෙයක් අත්හදා බලන්න තිබුණු ලොකු ආසාවකින් සහ හිතේ ධෛර්යයෙන්. ඒත් එළියට ආවේ සම්පූර්ණයෙන්ම වෙනස් ගමනක් ඉස්සරහට තියෙන කෙනෙක් විදිහට.


ඇත්තටම ආයු මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළුවා. ආයෙත් වතාවක් ජීවිතේ මට ඔප්පු කළා, අපි හිතට අරගෙන උත්සාහ කළොත් කරන්න බැරි දෙයක් නැහැ කියලා.


දිනේෂ් විතානඡායාරූප – සජීව ලක්‍ෂාන්

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post