උදිත් අබේරත්න කියන්නේ නිරූපණ ක්ෂේත්රයෙන් කලාවට ඇවිත් අද වෙද්දී පුංචි තිරය හා රිදී තිරය ඔස්සේ සිය දක්ෂතා පෙන්නුම් කරන දක්ෂයෙක්. ඒ එක්කම රංගනයට අමතරව ඔහු දක්ෂ නිවේදකයෙක්. මේ කාලයේ නම් උදිත් ගැන බොහෝ දෙනා කතා වෙන්නේ ‘එදා රෑ‘ චිත්රපටය නිසා. උදිත් නිරූපණය කරන්නේ සංගීත ක්ෂේත්රයේ නොමැකෙන මතකයන් ඉතිරි කළ නොයෙල් රණසිංහගේ චරිතය.
මේ දවස්වල මොකද වෙන්නේ ?
මේ දවස්වල සුපුරුදු විදිහට රූපගත කිරීම් කටයුතුවල නිරත වෙලා ඉන්නවා. මල් බිඟුන් ටෙලි නිර්මාණයේ රූපගත කිරීම් සිදු වෙනවා. ඒ එක්කම මහේෂ් රත්සර මද්දුමආරච්චි අයියා සහ ඉරේෂ් ලොකු බණ්ඩාර අයියාගේ සුසංයෝගයෙන් අලුත්ම ටෙලි නිර්මාණයක් ආරම්භ කරලා තියෙනවා. එහි මූලික අදියරේ රූපගත කිරීම් සිදු වෙනවා.
සිනමාව ගත්තොත් මේ දවස්වල ‘එදා රෑ‘ චිත්රපටයට අසීමිත ප්රේක්ෂක ආදරයක් ලැබෙනවා. උදිත්ටත් අවස්ථාව ලැබිලා තියෙනවානේ ඒකේ චරිතයක් කරන්න. කොහොමද ඒ අවස්ථාව ලැබුණේ ?
මෙවන් ලියනගේ තමයි මට මුලින්ම කෝල්එක දෙන්නේ. මෙවන් මට කතා කරලා කිව්වා මෙන්න මෙහෙම කැරෙක්ටර් එකක් තියෙනවා. මිල්ටන් මල්ලවආරච්චි ගැන ෆිල්ම් එකක් කරන්න යනවා කියලා. ඊට පස්සේ කවුද චිත්රපටය අධ්යක්ෂණය කරන්නේ, පිටපත කාගෙද, කැමරා අධ්යක්ෂවරයා කවුද වගේ විස්තර මම ඔහුගෙන් ඇහුවා. මේක අරුණ අයියාගේ වැඩක්. පිටපත සුනෙත් මාලිංග අයියාගේ එතකොට කැමරා අධ්යක්ෂණය චන්න දේශප්රිය කරන්නේ කියලා ඔහු මට කිව්වා. ඉතින් ඒ සියල්ලම සතුටට කාරණා වුණා. මම බොහොම කාලයක් තිස්සේ හරි ආසවෙන් හිටියා රොෂාන් අයියාත් එක්ක එකට වැඩ කරන්න. ඒ අවස්ථාවත් මට මේකේදි ලැබුණා. ඒ සියලු කාරණා එක්ක මම බොහොම ආසාවෙන් ‘එදා රෑ‘ චිත්රපටයට සම්බන්ධ වුණා.
උදිත්ට ලැබුණේ නොයෙල් රණසිංහගේ චරිතෙනේ. ඒ වෙද්දී ඔහු ගැන දැන ගෙන හිටියද ?
මෙහෙමයි’ නොයෙල් රණසිංහ නමින් දන්නවා. හැබැයි කැරැක්ටර් වයිස් මෙන්න මෙහෙමයි කියන්න, එහෙමත් නැත්නම් මිල්ටන් මල්ලවආරච්චි මහත්මයත් එක්ක එකතු වෙලා වැඩ කළා, එතුමා මිල්ටන් මල්ලවආරච්චි මහත්තයාගේ ආගමනයට සම්බන්ධයි කියන ඒ කිසිම කතන්දරයක් මම දන්නේ නැහැ. හැබැයි නොයෙල් රණසිංහ කියන්නේ කැලිප්සෝ සංගීත කලාවේ පුරෝගාමියා සහ එහි ප්රමුඛයෙක් කියන වග සහ එයාගේ සින්දු ටික දැනගෙන හිටියා. ඒ එක්කම කවදාවත් මම හිතුවේ නැහැ සිනමා නිර්මාණයකදී ඔහුගේ චරිතය මට කරන්න ලැබෙයි කියලා. මට මේ චරිතේ ලැබුණට පස්සේ මම ඔහු ගැන අධ්යනය කළා. ඊට පස්සේ සුනෙත් අයියා සහ අරුණ අයියා එක්ක කතා කරලා චරිතේ ගොඩ නගා ගත්තා. අපි මේ ප්රතිනිර්මාණය කරන්නේ මේ සමාජයේ යම් කාලයක ජිවත් වුණු සැබෑ චරිත. ඒ නිසා බොහොම පරිස්සමෙන් හොයලා බලලා කරන්න ඕනේ.
උදිත්ට මින් පෙරත් මෙවැනි චරිත ලැබිලා තියෙනවා නේද ?
ඔව්. මට අවස්ථාව ලැබුණා නිදහසේ පියා ඩී. එස් කියන චිත්රපටයේ ජේ. ආර්. ජයවර්ධන කියන අපේ රටේ හිටපු ජනාධිපතිතුමාගේ වයස අවුරුදු 18ක වගේ කාලය නිරූපණය කරන්න ලැබුණා. එදත් සුනෙත් අයියා මට එතුමාගේ තරුණ කාලේ ෆොටෝ එකක් පෙන්නුවා. ඒ කාලේ එතුමාගේ ෆොටෝ එකයි මගේ ෆොටෝ එකයි බොහෝ දුරට සමානයි. එහෙම බැලුවම මේ මම ප්රතිනිර්මාණය කරපු දෙවන චරිතය තමයි නොයෙල් රණසිංහ මහතාගේ චරිතය.
රොෂාන් අයියා එක්ක වැඩ කරපු පළමු නිර්මාණය ද ?
ඔව්. රොෂාන් අයියා එක්ක ස්ක්රීන් එකේ වැඩ කරපු පළමුවැනි වැඩේ මේක. හැබැයි රොෂාන් අයියා මට මීට කලින් ඔහු අධ්යක්ෂණය කරපු වැඩකට මට කතා කරනවා පැතුම් හරහා. නමුත් මට ඒකට සම්බන්ධ වෙන්න බැරි වෙනවා දින ප්රශ්නයක් නිසා. ඒකටත් මම හරි හිත් වේදනාවෙන් හිටියේ. හැබැයි ඒකටත් හරියන්න මට මේකෙදී හම්බවුණා රොෂාන් අයියා එක්ක වැඩ කරන්න. රොෂාන් අයියා කියන්නේ මාර හොඳ හදවතක් තියෙන සුන්දර චරිතයක්.
ඔබ මේ ක්ෂේත්රයට ඇවිත් අවුරුදු කීයක් ද ?
මම මේ ක්ෂේත්රයට මුලින්ම එන්නේ නිරූපණ ක්ෂේත්රය හරහා. මොඩ්ලින් ඩිප්ලෝමා එක කරලා ඊට පස්සේ නිරූපණ ශිල්පියෙක් විදිහට මම වැඩ කරනවා. අවුරුදු කීපයක් වැඩ කරන ගමන් තමයි ජයලාල් රෝහණ සර්ගේ වර්ක්ෂොප්වලට සහභාගි වෙලා රඟපාන්න එන්නේ. මම එන්නේ 2003 /2004 වගේ කාලයේ ඉඳලා. ඒ කියන්නේ දැන් අවුරුදු 20කට වැඩියි.
මේ අවුරුදු 20 කාල සීමාව තුළ කරපු නිර්මාණ ගැන තෘප්තිමත් ද ?
මම චරිතයක් කළාම අධ්යක්ෂවරයාගේ ඉඳන් බලන ප්රේක්ෂකයා දක්වාම මට ලැබිලා තියෙන්නේ හොඳ ප්රතිචාර. නමුත් ඇතැම් විට ඇරියුම් ලැබෙන්නේ එකම විදියේ චරිතවලට. එතැනදී මම වග බලා ගන්නවා එකම වගේ චරිත එක දිගටම නොකර ඉන්න. මම ආස චරිතාංග රංගන ශිල්පියෙක් වෙන්න. මෙතෙක් මම කරපු හැම චරිතයක්ම කළේ ඉතාම තෘප්තිමත්ව. හැබැයි අපිට ලැබෙන චරිත තුළ අපිට ජීවත් වෙන්න වෙන නිසා මම කැමතියි එකිනෙකට වෙනස් වූ චරිත තුළ ජීවත් වෙන්න. රංගන ශිල්පියෙක් කියන්නෙම තමන්ට ලැබෙන අකුරුවලට පණ දෙන්න පුළුවන් කෙනෙක්. මම ආසාවෙන් ඉන්නවා මෙතෙක් නොකරපු විදියේ එකිනෙකට වෙනස් චරිත තුළින් මා සතු හැකියාවන් පෙන්නුම් කරන්න.
මේ කාලයේ වැඩියෙන්ම කතා වෙන්නේ ‘එදා රෑ‘ ගැන නිසා අමතක නොවන මතකයන් ඇති
මට නම් ‘එදා රෑ‘ චිත්රපටය තුළ ගත කළ මුළු කාලයම අමතක වෙන්නේ නැහැ. අපි එකම පවුලක් විදියට ගත කළ කාලයක්. ඒ සහෝදර බැඳීම් එක්ක දරා ගන්න අමාරුම දවස වුණේ අදින් රූපගත කිරීම් අවසන් කියලා අපි හැමෝම වෙන්ව යන දවස. මම දැක්ක හොඳම කණ්ඩායම් හැඟීමක් තිබුණු තැනක් ‘එදා රෑ‘ කියන්නේ. මම මේක අවස්ථාවක් කරන්නවා අපි එක්ක වැඩ කරපු හැමෝවම ආදරෙන් සිහිපත් කරන්න. එතරම් සුන්දර මිනිසුන් පිරිසක් එකට එකතුවෙලා කරපු ලස්සන නිර්මාණයක්.