1. රොෂාන් රංගන ශිල්පියෙක් වුනේ කොහොමද ?
පුංචි කාලෙ ඉදලා මම රගපාන්න හුගක් කැමතියි. ඉතින් පාසල් යන කාලෙ ඉදලා රංගන ශිල්පියෙක්වීමේ බලාපොරොත්තුව මට තිබුනා. මම මුලින්ම පාසල් ගියෙ රුක්මල්ගම මහා විද්‍යාලයට. ප්‍රථමික අධ්‍යාපනයෙන් පස්සෙ වෑවල රාජසිංහ විද්‍යාලයට ගිහින් සාමාන්‍යපෙළ දක්වා ඉගෙනගත්තා. පවුලෙ තිබුන හැලහැප්පීම් එක්ක උසස්පෙළ කරන්න මට හිත දුන්නෙ නැහැ. ඉතින් සාමාන්‍ය පෙළින් පාසල් අධ්‍යාපනයට තිත තියලා හෝටල් ආශ්‍රිත රැකියාවක් කරන්න පටන්ගත්තා. හැබැයි පුංචි කාලෙ ඉදලා මගේ අදහස තිබුනෙ රංගන ශිල්පියෙක් වෙන්නනෙ. ඒ දවස්වල පිලියන්දල පැත්තෙ තිබුන සුබෝධි සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රියන්ත සිරිකුමාර අයියා සහ ජයලාල් රෝහණ අයියා වේශ නිරූපනය ගැන පාඨමාලා පැවැත්වුවා. ඉතින් දවසක සුබෝධියට ගිය වෙලෙදී ප්‍රියන්ත සිරිකුමාර අයියව මට හම්බවුනා. සහාය වේෂ නිරූපනශිල්පියෙක් විදහට ප්‍රියන්ත අයියලගේ කණ්ඩායමට සම්බන්ධවෙන්න ඒ මොහොතෙදි ප්‍රියන්ත අයියා මට අවස්ථාව දුන්නා. ඉතින් මම හෝටල් රැකියාව නවත්තලා ප්‍රියන්ත අයියලට සම්බන්ධවෙලා වේදිකා නාට්‍යවල, ටෙලිනාට්‍යයවල සහාය වේෂ නිරූපනශිල්පියෙක් විදිහට වැඩ කරන්න පටන්ගත්තා. ඒ අතරතුරේදි නළු සිහිනය සැබෑ කරගන්න මම රංගනය ගැන හැදෑරුවා. ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංගකලාව වසර දෙකක පාඨමාලාව මම කරලා රංගනය ගැන න්‍යයාත්මකව සහ ප්‍රයෝගිකව ඉගෙනගත්තා. එතනින් පස්සෙ සෝමලතා සුබසිංහ, කෞෂල්‍යා ප්‍රනාන්දු වැනි ප්‍රවීනයන්ගේ රංගන වැඩමුළුවලට සහභාගිවෙලා රංගනය හැදෑරුවා. මහේන්ද්‍ර පෙරේරා ආරම්භ කරපු පලමු රංගන වැඩමුළුවේ ශිෂ්‍යයෙක් වෙමින් මහේන්ද්‍ර පෙරේරා යටතේ මම රංගනය හැදෑරුවා. රංගනය ගැන හොද හැදෑරීමක් ඇතුව ඉද්දි ගිහාන් රෝහණ මහත්තයා මට ආරාදනා කලා ඔහු අධ්‍යයක්ෂණය කරන සඳ ගිණිගත් රාත්‍රිය ටෙලිනාට්‍යයේ ප්‍රදාන චරිතය රගපාන්න. 2001 වසරෙදි සඳ ගිණිගත් රාත්‍රිය ටෙලිනාට්‍යයේ ප්‍රදාන චරිතය රගපාමින් නළුවෙක් විදිහට රසිකයො අතරට ආපු ගමන තමයි අද මේ විදිහට තවමත් මම යන්නෙ.
2. රංගනය වෘත්තිය කරගැනීම ගැන පවුලෙ අය මොනවද කිවිවෙ ?
අපේ පවුල මධ්‍යම පන්තියෙ සරල පවුලක්. අම්මයි අක්කලා දෙන්නයි අයියයි අපේ පවුලෙ හිටියෙ. තාත්තගේ සෙනෙහස පුංචිකාලෙ ඉදලා මට අහිමිවෙලා තිබුනෙ. මම රංගනය පැත්තට යනවා කිව්වහම පවුලෙ අයට ඒ ගැන හරිහැටි බරපතලකමක් තේරුනේ නැහැ. අම්මා මට කිව්වෙ මුදලක් හම්බවෙන ගෙයක්දොරක් හදාගන්න පුළුවන් රස්සාවක් කරන්න කියලා. අම්මා එහෙම කිව්වා වුනත් මම විශ්වාස කරනවා මම රංගනයෙන් ඉස්සරහට ගිහින් දිනනකොට මම ගැන අම්මා සතුටුවෙන්න ඇති කියලා.
3. රංගනයේදි රොෂාන් විශේෂ ශෛලියක් අනුගමනය කරනවද ?
මට අනුව රංගනය කියන්නේ දෙබස් කියාගෙන ලස්සනට පෙනී ඉන්නඑක නෙවෙයි. රංගනයේ අපහසුම කොටස තමයි යථාර්ථය පිළිබිඹු කිරීම. යථාර්ථය කියන දේ රංගනයෙදි විතරක් නෙමෙයි රචනයේදී, අධ්‍යක්ෂණයේදී පවා ලේසි දෙයක් නෙවෙයි. ශිල්පියකුගේ නළුකම මාට්ටු වෙන තැන තමයි එතැන. ඕනෙ කෙනෙක්ට පෙම්වතියට ආදරෙන් හාදුවක් දෙන්න පුළුවන්. ඒත් යථාර්ථ රගපෑමෙදි චරිත හැසිරීම සිදු කරන්නෙ අත්දැකීමුත් එක්ක. මම කරන්නෙ යථාර්ථවාදී රංගනයක්. ඒ නිසයි රසිකයන්ට මගේ රංගනය වෙනස් කියලා දැනෙන්නෙ.
4. නිර්මාණ වලින් නිතර දකින්න ලැබෙන්නෙ නැත්තෙ ඇයි ?
ප්‍රමිතියක් නැති බාල නිර්මාණ වල මම රගපාන්න කැමති නැහැ. ආර්ථික අපහසුතා නිසා ප්‍රමිථිය ගැන සැලකිල්ලක් දක්වන්නෙ නැතුව නිර්මාණවලට දායක වුන කාලයක් මට තිබුනා. දිගටම එහෙම ගියොත් නළුවෙක් විදිහට මට වැඩක් වෙන්නෙත් නැහැ ප්‍රේක්ෂකයන්ට වැඩක් වෙන්නෙත් නැහැ කියලා මම තේරුම් ගත්තා. ඉතින් ප්‍රමිතියෙන් උසස් නිර්මාණයක් ලැබුනොත් රගපානවා නැත්තන් නිකන් ඉන්නවා කියලා මම තීරණය කළා.
5. රොෂාන් සිනමා නළුවෙක් වුනේ කොහොමද ?
2004 වසරෙදි සෙනේෂ් බණ්ඩාර අධ්‍යයක්ෂණය කරපු ආදරණීය වස්සානය චිත්‍රපටයෙනුයි මම සිනමාවට පිවිසුනේ. කාම රැල්ලෙ චිත්‍රපට යුගය ප්‍රේක්ෂකයො ප්‍රතික්ෂේප කිරීමත් එක්ක සිනමාව අලුත් යුගයකට ගෙනියන්න ඕන කියන අර්බුදකාරී තත්වයක් තියනකොට 2004 වසරෙදි සෙනේෂ් බණ්ඩාර අධ්‍යයක්ෂණයෙන් උපුල් ශාන්ත සන්නස්ගල තිර රචනයෙන් සහ මම ප්‍රදාන නළුවා විදිහට රගපාමින් නිර්මාණය කරපු ආදරණීය වස්සානය චිත්‍රපටය සිනමාශාලා house full කරමින් ප්‍රේක්ෂකයන්ගේ හදවතට ළං කරන්න අපිට පුළුවන් වුණා. මට තවත් සිනමා නිර්මාණවලින් ආරාදනා හම්බවෙන්න ආදරණීය වස්සානය තුළ මම කරපු රංගනය බලපෑවා. ඉතින් මගේ රංගන ජීවිතයට වසන්තය ගෙනආපු චිත්‍රපටයක් විදිහට ආදරණීය වස්සානය හදුන්වන්න පුළුවන්.
6. මිල්ටන් මල්ලවාරච්චිගේ චරිතයෙන් රොෂාන් මේ දිනවල තිරගතවන එදා රෑ චිත්‍රපටය හරහා රසිකයො අතරට ඇවිත් ඉන්නවා. රොෂාන්ට, මිල්ටන් මල්ලවාරච්චි ගැන තියන මතකය මොකක්ද ?
මිල්ටන් මල්ලවාරච්චි මහත්තයා ජීවත්වුන අවසාන කාලවකවානුව ගැන මගේ මතකයේ රැදිලා තියනවා. ඒ වෙද්දි මිල්ටන් මහත්තයා විරහා ගීතයෙන් මුළු රටම පැහැරගෙන තිබුනෙ. පෞද්ගලිකව මමත් මිල්ටන් මහත්තයගේ විරහා ගීත අහලා තියනවා. විරහාව කොච්චර හිතට අමාරු වුනත් මිල්ටන් මල්ලවාරච්චිගේ විරාහා ගීත අහන්න ලැබීමෙන් හිතට සැනසීමක්, සතුටක් ලැබෙනවා.
7. මිල්ටන් මල්ලවාරච්චි වෙන්න ආරාදනා කලහම රොෂාන්ගේ අදහස වුනේ මොකක්ද ?
විරහා ගීතයෙන් රටක් සනසවපු මිල්ටන් මල්ලවාරච්චිගේ කතාව මොකක්ද කියලා කියන අතරෙ ඔහු ගයපු සුන්දර ගීත නිර්මාණය කරපු පසුබිම ගැන කියන රසවත් චිත්‍රපටයක් කරන්න පුළුවන් වෙයි කියලයි එදා රෑ චිත්‍රපටයේ මිල්ටන් මල්ලවාරච්චි වෙන්න කියලා ආරාදනාව ලැබුනහම මට හිතුනෙ. ඉතින් රොෂාන් රවින්ද්‍රව අමතක කරලා එදා රෑ වෙනුවෙන් මිල්ටන් මල්ලවාරච්චි වෙන්න මම තීරණය කළා.
8. "එදා රෑ" Biopic රැල්ලට ගහපු චිත්‍රපටයක්ද ?
එදා රෑ Biopic රැල්ලට කරපු චිත්‍රපටයක් කියන අය මොනවද බලලා තියන Biopic චිත්‍රපට ? ක්ලැරන්ස් විජේවර්ධන ගැන කියපු චිත්‍රපටය විතරයිනෙ ලංකාවෙ ප්‍රේක්ෂකයො මේ තාක් නරඹපු එකම Biopic චිත්‍රපටය. ඒ නිසා ලංකාවෙ සිනමාව තුළ තවම Biopic චිත්‍රපට රැල්ලක් තියනවා කියලා මම විශ්වාස කරන්නෙ නැහැ. කිසිම දෙයක් නැති රැල්ලකට අනුව එදා රෑ නිර්මාණය කලා නම් මම කීයටවත් රංගනයෙන් දායකවෙන්නෙත් නැහැ.
9. "එදා රෑ" චිත්‍රපටය ගැන රොෂාන්ට තියන කියවීම මොකක්ද ?
මිල්ටන් මල්ලවාරච්චි මහත්තයා මියගිහින් ලබන මාර්තු 10 වෙනිදට අවුරුදු 29 ක් වෙනවා. මිල්ටන් මහත්තයා මියගිහින් අවුරුදු 29 ට ආසන්න වෙලත් ඔහුගේ ගීත තවමත් ජනප්‍රිය ඇයි ? හේතුව තමයි විරහාව. මිල්ටන් මහත්තයා ගායනා කරපු ගීත වැඩිහරියක් අපේ ජීවිතවලට අදටත් සම්බන්ධයි. අපේ හැගීම් මිල්ටන් මහත්තයා ගීත වලින් ගායනා කරන්න තරම් ගායකයෙක් වුනේ කොහොමද කියලයි එදා රෑ චිත්‍රපටයෙන් කියන්නෙ.
10. රොෂාන් නළුවෙක් විතරක් නෙමෙයි අධ්‍යක්ෂකවරයෙක්. රොෂාන් තුළ ඉන්න අධ්‍යක්ෂකවරයාව බිහිවුනේ කොහොමද ?
ප්‍රමිතියෙන් බාල නිර්මාණ බිහිවීමයි මාව අධ්‍යක්ෂකවරයෙක් කරන්න පෙළඹෙව්වෙ. දිගින් දිගටම ප්‍රේක්ෂක රසවිදින්දනයට හානි කරන වැඩකට නැති නිර්මාණ බිහිවෙද්දි මම තීරණය කලා ප්‍රේක්ෂකයො වෙනුවෙන් උසස් නිර්මාණයක් කරන්න. ඉතින් අමාරුවෙන් නිෂ්පාදකයෙක්ව සොයාගෙන මම 2020 වසරෙදි තනමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍ය නිර්මාණය කළා. මම අධ්‍යයක්ෂණය කරපු නවතම ටෙලිනාට්‍ය නටත් අයෙක් සුරා මතින් මේ දවස්වල සාර්ථකව විකාශය වෙනවා. හැලහැප්පීම් මැද ගෙවන පවුල්ජීවිතයක කතාවක් කරන්න මට තිබුන බලාපොරොත්තුවකට අනුවයි රසික සුරවීරආරච්චි තිර රචනයෙන් සහ රොෂෙල් හෙට්ටිආරච්චි නිෂ්පාදනයෙන් නටත් අයෙක් සුරා මතින් ටෙලිනාට්‍ය මම නිර්මාණය කෙරුවෙ.
11. නටත් අයෙක් සුරා මතින් ටෙලිනාට්‍යයේ ලද්දු අමුතු මනුස්සයෙක්ද ?
ලද්දු අමුතු මනුස්සයෙක් නෙමෙයි. ලද්දු හොයන්නෙ තමන්ගේ ජීවිතය. අපි ජීවත් වෙන්නෙ මාර සතුටෙන්ද ? අපි උදේට නැගිටලා රස්සාවට ගිහින් රැකියා ජීවිතය ගතකරන්නෙ මාර සතුටකින්ද ? අපි මේ සමාජ ක්‍රමයට අවනතවෙලා ජීවත්වෙන්නෙ මාර සතුටකින්ද ? මේ ප්‍රශ්නටික සමාජයේ ජීවත්වෙන මිනිස්සුන්ගෙන් ඇහුවොත් ගොඩක්දෙනා කියන්නෙ නැහැ කියලා. හැබැයි තමන් වෙනුවෙන් හෝ තමන්ගේ දරු පවුල වෙනුවෙන් අසතුටෙන් වුනත් තමන්ට උරුමවෙලා තියන ජීවිතය ගතකරන්නයි මිනිස්සු පුරුදුවෙලා ඉන්නෙ. හැබැයි ලද්දු, තමන්ට දරු පවුලක් හිටියත් ඒ සීමාව තකන්නෙ නැතුව තමන් බලාපොරොත්තුවන ජීවිතය සොයන්න උත්සාහ කරනවා.
12. නටත් අයෙක් සුරා මතින් වලට පස්සෙ රොෂාන් කරන්න බලාපොරොත්තුවෙන්නෙ මොකක්ද ?
මම ලබන අවුරුද්දෙදි චිත්‍රපටයක් නිර්මාණය කරන්න සූදානමින් ඉන්නවා. මම අධ්‍යයක්ෂණය කරපු තනමල්විල කොල්ලෙක්, නටත් අයෙක් සුරා මතින් ප්‍රේක්ෂකයො අතර කතාබහට ලක් වුනා වගේම චිත්‍රපටයත් හැමෝම අතර කතාබහට ලක්වෙන විදිහට නිර්මාණය කරන්න මම බලාපොරොත්තු වෙනවා.