ටිවී දෙරණ නාළිකාවේ විකාශය වන ඩෙල්ෆ්ට් ටෙලි නාට්‍යයෙන් දසුන් පතිරණ මේ දවස්වල ප්‍රේක්ෂකයෝ අතරට වෙනස්ම චරිතයකින් ඇවිත් ඉන්නවා. ඒ ගැන ඇතුළුව දසුන්ගේ ජීවිතයේ අලුත් විස්තර දැනගන්න අපි දසුන් එක්ක කතා කළා.
දසුන් රංගනයෙන් සම්බන්ධවෙලා ඉන්න ඩෙෆ්ට් මොන විදිහේ ටෙලි නාට්‍යයක්ද?
සති අන්තයේ ටී.වී දෙරණ නාළිකාවේ විකාශය වන, ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කරපු ඩෙෆ්ට් ටෙලි නාට්‍යය ප්‍රේක්ෂකයන්ගේ හැඟීම් එහාට
මෙහාට කරන්න පුළුවන් අමුතු රසාස්වාදයක් දෙන ටෙලි නාට්‍යයක් විදිහට හඳුන්වන්න මම කැමැතියි. ඩෙක්ස්ට් කතාවෙ මොකක්ද වෙන්නෙ කියලා
කිව්වොත්, මම, සජිත ඇන්තනී, උමා අසේනි ඇතුළු අපි සෙට්චික music band එකක්. අපි පවුල්වලවල අයත් එක්ක ෂෝ එකක් කරන්න ඩෙෆ්ට් දූපතට යනවා. ඉතින් ඩෙෆ්ට් දූපතේදි වෙන යම් සිද්ධි ටිකකුත් එක්ක අපේ ජීවිතවලට වෙන දේ තමයි ඩෙක්ස්ට් ටෙලි නාට්‍යයේදි කියන්නෙ.
ඩෙල්ෆ්ට් රූගත කිරීමේදී මුහුණ දීපු අත්දැකීම් මොනවද?
ඩෙල්ෆ්ට් ටෙලි නාට්‍යය සම්පූර්ණයෙන් රූගත කෙරුවෙ උතුරුකරයේ තියන ඩෙල්ෆ් දූපතේ. ඉතින් ඩෙක්ස්ට් අපේ රටට සම්බන්ධ දූපතක් වුණාට එහෙ ගියාම අපිට දැනුණෙ අපි වෙන රටකට ගියා වගේ හැඟීමක්. පරිසරය, සංස්කෘතිය, භාෂාව, කෑමබීම ඇතුළු සියලු දේම අපිට අලුත් අත්දැකීමක් වුණා. මාස එකහමාරකට කිට්ටුව ඩෙෆ්ට් දූපතේ රූගතකිරීම් කරන අතරතුරේදි ඒ අලුත් අත්දැකීම අපි වින්දා.
ඩෙල්ෆ්ට් හරහා දෙමළ ජාතිකයෝ ගැන ලාංකීය ප්‍රේක්ෂකයන්ට කියනවා නේද?
ඩෙල්ෆ්ට් දූපතේ සම්පූර්ණයෙන්ම ජීවත් වෙන්නේ දෙමළ ජාතිකයෝ. ඔවුන්ගේ ජීවිත ඇතුළෙ වෙන්නෙ මොනවද? ඔවුන්ගේ පරිසරය, සංස්කෘතිය ගැනත් ඩෙල්ට් හරහා
ප්‍රේක්ෂකයන්ට සමීප කරනවා. සරල කිව්වොත් ලංකාවෙ ප්‍රේක්ෂකයෝ මේ තාක් ටෙලි නාට්‍යයකින් අත්විඳලා නැති පැතිකඩක් හරහා හැඟීම් කුල්මත් කරන අමුතු රසාස්වාදයක් ඩෙල්ට් හරහා ලැබෙනවා.
ඩෙල්ෆ්ට් හරහා උතුරේ දෙමළ ජනතාවගේ දුක විකිණීමද සිද්ධ වෙන්නෙ?
දුක සහ විඳවීම හැම මනුස්සයකුටම තියන දෙයක්. ඩෙෆ්ට් ටෙලි නාට්‍යය තුළ ඉන්න චරිතවලත් දුක සහ විඳවීම තියනවා. හැබැයි කාගේ හරි ඛේදවාචකයක්, දුකක් නිර්මාණයකට නගලා ප්‍රේක්ෂකයන්ට විකිණීමක් නෙමෙයි ඩෙෆ්ට් ටෙලි නාට්‍යය හරහා සිද්ද වෙන්නේ. ඛේදවාචකයකට වඩා ගැඹරු අර්ථයක් තියන දෙයක් සරලව ටෙලි නිර්මාණයක් හරහා ප්‍රේක්ෂකයන්ට ලබාදීමයි ඩෙෆ්ට් තුළින් කරන්නෙ. මම හරි කැමැතියි ඩෙෆ්ට් ටී.වී. දෙරණ නාළිකාව තුළින් විකාශය වෙනවට. ටී.වී දෙරණ නාළිකාව නරඹන ගොඩක් ප්‍රේක්ෂකයන්ට පුරුදු දෙවෙනි ඉනිම, සංගීතේ වගේ දීර්ඝ වර්ගයේ ආදර කතාවලට. හැබැයි ඩෙෆ්ට් කියන්නෙ කොටස් දොළහකින් සමන්විත උතුරේ දූපතක සිද්ධ වෙන වෙනස් කතාවක්.
දසුන්ට රංගන ක්ෂේත්‍රයේ නිතර හුරපුරුදු අයත් එක්කම ඩෙෆ්ට් ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නෙ?
මම, සජිත ඇන්තනී, උමා අසේනි, සමනලී ෆොන්සේකා, ප්‍රියන්ත සිරිකුමාර, කෞෂල්‍යයා ප්‍රනාන්දු ඇතුළු අපි සෙට් එක කාලාන්තරයක් තිස්සෙ එකට රංගන වැඩකරන පවුලක් වගේ සුහද ඇසුරක් තියන සහෝදර සහෝදරියො ටිකක්. ඒ නිසා අපිට home work කරලා පුරුදු වෙවී රඟපාන්න දෙයක් තිබුණෙ නැහැ. ලලිත් රත්නායකගේ අධ්‍යක්ෂණය යටතේ අපි ඔක්කොම දොඹෙන් යන්න රඟපෑවා.
සිනමාවේ වැඩ මොනවද වෙන්නෙ?
මේ දවස්වල මම චිත්‍රපට දෙකක රූගතකිරීම්වලට සම්බන්ධවෙලා ඉන්නවා. චිත්‍රපට දෙකේම මම රඟපාන්නෙ දුෂ්ටයාගේ චරිතය. දඟකාර පෙම්වතාගේ චරිතයෙන් දැකලා තිබුණ රසිකයන්ට මාව ඉදිරියෙදි දුෂ්ටයාගේ චරිතයෙන් දකින්න පුළුවන්.
දඟකාර පෙම්වතාව අතෑරලා දුෂ්ටයගේ චරිතයට මාරුවෙන්න හිතුවේ ඇයි?
දැන් මගේ වයස අවුරුදු 41ක්. මගේ පෙනුම සහ වයස එක්ක තවදුරටත් පෙම්වතාගේ චරිතය රඟපාන එක ප්‍රායෝගික නැහැ. ඉතින් මම තීරණය කළා දුෂ්ටයගේ චරිතයට මාරුවෙන්න.
සැබෑ ජීවිතය තුළ දඟකාර දස්සා තවම ඉන්නවද? නැත්තනම් දඟකාර දස්සා කරලා වයසත් එක්ක අමතක කරලද?
වයසින් මුහුපුරා ගිය අත්දැකීම් එක්ක පිස්සු කෙළපු දඟකාර දස්සා නම් දැන් නැහැ. තරුණ කාලෙදි මම නොකරපු පිස්සු වැඩක් නැහැ. කොල්ලෙක් විදිහට විඳින්න ඕන දේවල් සෑහෙන්න ප්‍රමාණයක් මම වින්දා. නමුත් දැන් මම අවුරුදු 41 ක අත්දැකීම් තියන මනුස්සෙයක්. ඉතින් සමාජය ගැන සහ ජීවිතය ගැන අවබෝධයක් තියන මනුස්සෙයක් විදිහට පිස්සු කෙළින එක සෑහෙන්න අඩු කරලා මටයි මගේ දරු පවුල වෙනුවෙනුයි දෙයක් කරගෙන කලාව වෙනුවෙනුත් දෙයක් කරගෙන ඉන්න හිතාගත්තා.
දසුන්ගේ පවුල් ජීවිතයේ විස්තර මොනවද?
මේ වෙද්දි මම දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්. මමයි බිඳයි දරුවො දෙන්නයි සතුටින් පවුල් ජීවිතය ගතකරනවා. මගේ රංගන ජීවිතයට බිරිඳගෙනුයි දරුවො දෙන්නගෙනුයි ලොකු සහයෝගයක් ලැබෙනවා. සමහර දාට මම ෂූටින් ගියාම මාස ගණන් ගෙදර නෑවිත් දර්ශන තලවල ඉන්නවා. හැබැයි බිරිඳ අද වෙනකන් ඒ ගැන වචනයක් මට කියලා
නැහැ.
රසිකයන්ට පේන්න මාධ්‍යවලට දරු පවුල ගේන්නෙ නැත්තෙ ඇයි?
මම රඟපාන වැඩවලින් ප්‍රේක්ෂකයෝ අතරට එන්න කැමැති කෙනෙක් මිසක මගේ දරු පවුලයි පෞද්ගලික ජීවිතයේ විස්තරයි එළියට දාලා ප්‍රසිද්ධ වෙන්න මම කැමැති නැහැ. මම දකිනවා සමහර නළු නිළියන්ට රඟපාන්න වැඩ නැති වුණාම පෞද්ගලිකත්වය මාධ්‍ය ඉස්සරහා දිගෑරලා පැවැත්ම තියාගන්න උත්සාහ කරන්නේ. මට ඒ විදිහෙ තත්ත්වයකට වැටෙන්න ඕන නැහැ.
ලක්ෂාන් ජයසූරිය