මං හොයපු ප්‍රේමය මට ලැබුණා -අපූර්වා ආශාවරී

gossiplanka image 1
 



දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගයෙන් ගායන ලෝකයට බිහිකරපු ගායිකවක් වන අපූර්වා ආශාවරි මේ දිනවල තිරගතවන මං හොයන්නේ ප්‍රේමයක් චිත්‍රපටයේ පසුබිම් ගීත ගායනයට සම්බන්ධවෙලා තිබෙනවා. මෙලෙස චිත්‍රපට පසුබිම් ගායිකවක් විදිහට සිනමා ක්ෂේත්‍රයට එකතුවීම ගැන අපූර්වා එක්ක කතා කරන්න අපි හිතුවා.


අපූර්වට චිත්‍රපට පසුබිම් ගායිකවක් වෙන්න අදහස ඇතිවුණේ කොහොමද?


දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගයේදි ගීත ගායනා කරනකොට ලැබුණ රසික ප්‍රතිචාර අතරින් ගොඩක් දෙනා කිව්වෙ මගේ කටහඬ ගැළපෙන්නෙ චිත්‍රපට පසුබම් ගීත ගායනයට කියලා. ඉතින් මගේ හිතෙත් බලාපොරොත්තුවක් තිබුණා චිත්‍රපට පසුබිම් ගීත ගායිකවක් වෙන්න. දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගයෙන් පස්සෙ වෘත්තීය ගායිකවක් විදිහට ක්ෂේත්‍රයට සම්බන්ධ වුණහම චිත්‍රපට පසුබමි ගායිකවක් වෙන බලාපොරොත්තුව මට ඉෂ්ටකරගන්න ලැබුණා. මේ වෙද්දි මම චිත්‍රපට කීපයකම පසුබිම් ගායනයට සම්බන්ධවෙලා තියනවා. ඒ අතරින් මම පසුබිම් ගීත ගායනා කරපු මං හොයන්නේ ප්‍රේමයක් චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා.


මං හොයන්නේ ප්‍රේමයක් සමග චිත්‍රපට පසුබිම් ගායිකවක් වුණ අත්දැකීම අපූර්වාට දැනෙන්නෙ කොහොමද ?


මං හොයන්නේ ප්‍රේමයක් චිත්‍රපටය මට දැනෙන්නෙ සිංහලෙන් නිර්මාණය කරපු හින්දි චිත්‍රපටයක් විදිහට. මම එහෙම කිව්වෙ හින්දි චිත්‍රපටයක වගේ ප්‍රේමය ඉතිරෙන කතාවක් මං හොයන්නේ ප්‍රේමය තුළින් කියන නිසා, මං හොයන්නේ ප්‍රේමයක් චිත්‍රපටයේ පසුබිම් ගීත දෙකකට මම හඬ දායකත්වය ලබා දුන්නා. එක ගීතයක් චිත්‍රපටයේ ප්‍රධාන නිළිය විදිහට රඟපාන අභිලාෂි සන්තුෂ්කි වෙනුවෙනුත් චිත්‍රපටයේ තේමා ගීතය වුණ මං හොයන්නේ ප්‍රේමයක් ගීතය වෙනුවෙනුත් හර්ෂ දනෝෂ් අයියා එක්ක මම සම්බන්ධ වුණා. අභිලාෂි වෙනුවෙන් ගයපු ගීතයේදි අභිලාෂිගේ හැඟීම් ගැනයි මම ගීතයෙන් කියන්නෙ. මගේ ජීවිතයේදි වැඩිම වෙලාවක් අරගෙන voice කරපු ගීතය තමයි මං හොයන්නේ ප්‍රේමයක් චිත්‍රපටයේ අභිලාෂි වෙනුවෙන් ගායනා කරපු ගීතය. චිත්‍රපට පසුබම් ගීත ගායනයට සම්බන්ධ වීමේදි මට දැනුන සුවිශේෂි ලස්සන අත්දැකීම්වලින් පිරුන ලස්සන නිර්මාණයක් විදිහට මං හොයන්නේ ප්‍රේමයක් චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්.


චිත්‍රපටය තිරගතවෙන්න කලින්ම අපූර්වා හර්ෂ එක්ක ගායනා කරන මං හොයන්නේ ප්‍රේමයක් තේමා ගීතය රසිකයො අතර ජනප්‍රිය වෙලා තියනවා නේද ?


චිත්‍රපටය තිරගත වෙන්න කලින්ම නිකුත් කරපු මං හොයන්නේ ප්‍රේමයක් තේමා ගීතය ගොඩක් දෙනෙක් දතින් වැලඳ ගත්තා. මගේ කටහඬ පළමුවෙනි වතාවට චිත්‍රපට ගීතයකින් ඇසෙන නිසා සහ ගීතයේ ඇති ලයාන්විතභාවය නිසා රසිකයො මේ ගීතයට හුඟාක් ආදරය කරනවා කියලයි රසිකයො කියන්නෙ.


අපූර්වා, හර්ෂ සමග ගායනා කරපු ගීතයේ පදමාලව දැනුනෙ කොහොමද ?


චිත්‍රපටයේ සාරංශය තමයි මමයි හර්ෂ අයියයි ගායනා කරන "මං හොයන්නේ ප්‍රේමයක්" තේමා ගීතයෙන් කියන්නෙ. ජීවිතයේ අහිමිවීම සහ බලාපොරොත්තුවන ප්‍රේමය ගැන හදවතට දැනෙන විදිහට මේ තේමා ගීතයෙන් කියනවා. මාත් එක්ක මේ තේමා ගීතය ගායනා කරන හර්ෂ ධනෝෂ් අයියා මම වගේම දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවෙන් ගායන ක්ෂේත්‍රයට ආපු කෙනෙක්. දරාගන්න බැරි අද්විතීය ගනයේ කට හඬක් හර්ෂ අයියට තියෙන්නෙ. ඉතින් හර්ෂ අයියගේ කටහඬත් සමග මගේ කටහඬ ගැළපීමත් එක්ක මේ ගීතය සාර්ථක වෙලා තියනවා කියලා මම හිතනවා.


ප්‍රේමය ගැන කියන, මං හොයන්නේ ප්‍රේමයක් චිත්‍රපටය ගැන අපූර්වගේ අදහස මොකක්ද?


ප්‍රේමය අපි හැමෝම ඉපදුන දා ඉඳලා මැරෙන මංචකය වෙනකන් හොයනවා. හැබැයි ප්‍රේමය හැමතිස්සෙම කොල්ලෙක්ගෙන් කෙල්ලෙක්ට සහ කෙල්ලෙක්ගෙන් කොල්ලෙක්ට විතරක් සීමා කරන්න බැහැනෙ. ඉතින් කෙල්ලෙක්, කොල්ලෙක්ගෙන් ආදරය හොයනවා වගේම, පුතෙක් තමන්ගේ තාත්තගෙන් ආදරය හොයන විදිහ, අම්මෙක්ක්ගෙන් ආදරය හොයන විදිහ, සහෝදරියක් තමන්ගේ සහෝදරයාගෙන් ආදරය හොයන විදිහ ගැන ඇතුළුව වෙනස්ම පැතිකඩ ගණනාවකින් මිනිස්සු තමන්ගේ ළඟම අයගෙන් ප්‍රේමය හොයන විදිහ ගැනයි මං හොයන්නෙ ප්‍රේමයක් චිත්‍රපටයෙන් කියන්නෙ.


ප්‍රේමය හෙව්වට අපි බලාපොරොත්තුවෙන ප්‍රේමයම ලබා ගැනීම අසීරුයි නේද ?


ජීවිතයේදී අපි බලාපොරොත්තුවෙන හැමදේම ඒ විදිහට ලැබෙන්නේ නැහැනෙ. අපිට ඕන ප්‍රේමයම අනෙකාගෙන් බලාපොරොත්තු වෙන්නෙ නැතුව එකිනෙකාව ගළපගෙන හුරුකරගෙන යන්න ඕන ගමනක් විදිහටයි මම ප්‍රේමය දකින්නෙ. 


අපූර්වාට නම් හොයපු ආදරය හම්බෙලා තියෙනවා නේද?


සංජය එක්ක ගෙවන ජීවිතේ මම ගොඩක් සතුටින් ඉන්නෙ. සංජය මාවත් මම සංජයවත් හොඳින් තේරුම් අරන් ඉන්නෙ. අපි දෙන්නා එක්ක හීන හැබෑ කරගෙන ජීවිතය ජයගන්න ගමනකයි මේ වෙද්දි ඉන්නෙ.


තමන්ගෙ ගමනට ශක්තියක් දෙන පෙම්වතෙක් හිමිවීම ගැන අපූර්වා මොකද හිතන්නෙ ?


මට මගේ ගමන යන්න ශක්තියක් දෙන පෙම්වතෙක් ලැබීම ආශිර්වාදයක් විදිහටයි මම දකින්නෙ. මම වැඩකට සහභාගී වෙද්දි සංජය මට ලොකු සහයෝගයක් දෙනවා. සමහර දේවල් එයා මට කියලා දෙන අවස්ථාවලුත් තියනවා. හොඳ සහයෝගයක් වගේම රැකවරණයක් සංජයගෙන් මගේ ජීවිතයට ලැබෙනවා. ගොඩක් වෙලාවට මම දැකලා තියනවා ගෑනු ළමයට සීමා දාලා හිර කරන පෙම්වතුන්. එහෙම අය අතරේ සංජය වගේ කෙනෙක් ලැබීම ගැන මට කියන්න වචන නැහැ.


සංජය එක්ක සංගීතේ ටෙලිනාට්‍ය තුළ සැමියයි බිරිඳයි වෙන්න ලැබුණ අත්දැකීම කොහොමද දැනෙන්නෙ ?


සංජයයි මමයි විවාහ වෙන්න කලින්ම සංගීතේ ටෙලිනාට්‍යයේ සැමියයි බිරිඳයි විදිහට රඟපාන්න ලබීම අපි දෙන්නට අපූරු අත්දැකීමක් වුණා. ඒ වෙනුවෙන් මේ දවස්වල රසිකයොන්ගෙන් අපිට ගොඩක් ආදරණීය ප්‍රතිචාර ලැබෙනවා.


ලක්ෂාන් ජයසූරිය

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post