‘ආයු’ වෙනුවෙන් සරසවිය උලෙළේ කුසලතා සම්මාන දිනූ කෙනාරා වීරතුංග

gossiplanka image 1
  ආයු චිත්‍රපටයේ ‘ආයු’ නැමති කුඩා දැරියගේ චරිතය නිරූපණය කරන්නී කෙනාරා වීරතුංගයි. ඇය පසුගියදා පැවැති 37 වැනි සරසවිය සිනමා සම්මාන උළෙලේදී කුසලතා සම්මානයකින් පිදුම් ලැබුවාය.


14වැනි වියේ පසුවන කෙනාරා ‘ආයු’ චිත්‍රපටය සඳහා එක්වද්දී වයස අවුරුදු හය කුඩා දැරියකි. චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කෙරුණු කාලය පිළිබඳ ඇයට ඇත්තේ පුංචි මතකයකි.


මේ නිසා කෙනාරා සමඟින් ඇගේ මවත් මේ කතාබහ සඳහා එක් කර ගැනීමට අපි අමතක කළේ නැහැ.


කෙනාරා ඔයාට මතකද ‘ආයු’ චිත්‍රපටයේ රූගත කිරීම් කෙරුණු කාලය පිළිබඳ?


ෆිල්ම් එකකට යනවා කියලා හරියටම දන්නේ නැහැ. හැබැයි මට මගේ පළවෙනි ෆිල්ම් එක ගැන ඊට වැඩිය ටිකක් මතකයි.


මොකක්ද ඔයාගේ පළවෙනි ‍ෆිල්ම් එක?


‘සුපර්ණා’


ෂූටිං කෙරුණු කාලය මොන වගේද?


මුලින්ම කරලා තියෙන්නේ මුහුදු වෙරළේ දර්ශන. ඊට පස්සේ තමයි අනික් ඒවා කරලා තියෙන්නේ. මට මතකයි මම කෝච්චියක ගියා කියලා. ඒ මම කෝච්චියක ගිය පළවෙනි වතාව. තව කන්දක් උඩ ෂූටින් වගයක් තිබුණා. එහෙදී මට උණ හැදුණා. මම දන්නෙත් නැහැ. සැන්ඩ්‍රා ආන්ටි මගේ අත අල්ලලා කිව්වා මට උණ කියලා. ඒ හැමෝම මාව හරිම ආදරයෙන් බලා ගත්තා.


චිත්‍රපටය නරඹද්දී ඔයාට මොකද හිතුණේ?


පොඩි පොඩි ටේලර්ස් බලලා තියෙනවා හැබැයි සම්පූර්ණ චිත්‍රපටයම නම් බලල නැහැ.


සම්මානයක් ලැබීම ගැන ඔයාට සතුටුයිද?


ඔව්, එදා සැන්ඩ්‍රා ආන්ටි මාව හැමෝටම හඳුන්වලා දුන්නා. ඒ හැමෝම කිව්වෙ දැන් හරි ලොකුයිනේ කියලා. එදා මම ආවේ අක්කයි, අම්මයි, තාත්තයි එක්ක. මගේ ළඟ හිටියේ අක්කා. කුසලතා සම්මානයක් තියෙනවා කියලා මගේ නම කියද්දි මට සතුටු හිතුණා.


ඔයාගේ පාසල් වැඩ කටයුතු කොහොමද?


අපි පදිංචි වෙලා ඉන්නේ කැලණියේ. මම පාසල් යන්නේ කැලණියේ විදුර කොලේජ් එකට. දැන් ඉන්නේ 9 පන්තියේ. පාසලේදී නැටුම් විෂය හදාරනවා. මම ආසම විෂයත් නැටුම්. අපේ ඉස්කෝලේ නාට්‍ය හා රංග කලාව නැහැ.


මගේ අක්කිත් සරසවිය සම්මානය ලැබුණු කෙනෙක්. ඒ ‘සුනාමි’ චිත්‍රපටය වෙනුවෙන් එයා හොඳම නැඟී එන නිළිය වුණා.


කෙනාරා දුව මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ කොහොමද?


මුලින්ම සෝමරත්න දිසානායක මහත්මයා ළමා චිත්‍රපටියක් කරනවා කියන ආරංචිය ලැබුණාම අපි අයැදුම්පතක් දැම්මා. ඒ අනුව ලොකු දුවවත් එක්කගෙන ඉන්ටර්වීව් එකකට ගියා. ඒ ‘සරිගම’ චිත්‍රපටයට. එහිදී මෙනාරා වීරතුංගට කුමුදුගේ චරිතය නිරූපණය කරන්න ලැබුණා. එතකොට කෙනාරා දුවට වයස අවුරුදු තුනහමාරයි. ඒ පවුලේ දරුවෝ හත්දෙනාගෙන් එක්කෙනකුට කෙනාරාවත් තෝරා ගත්තා. දවස් දෙකක් විතර ෂූටින් කරලා අඬලා චිත්‍රපටයේ ඉන්න බැහැ කිව්වා.


ඊට පස්සේ සෝමරත්න දිසානායකයන් එයාගේ ‘සුනාමි’ චිත්‍රපටයට ලොකු දුව මෙනාරව තෝරගත්තා. 2023 වසරෙදි මෙනාරා සරසවිය සිනමා සම්මාන උළෙලේදී හොඳම නැඟී එන නිළිය ලෙස සම්මාන ලැබුවා. දැන් ලොකු දුවට වයස අවුරුදු 1යි. එයා මනෝවිද්‍යාව හදාරනවා.


චූටි දුව කෙනාරට ‘සුපර්ණා’ චිත්‍රපටයේ දුලිකා මාරපනගේ පුංචි කාලෙට රඟපාන්න පුළුවන් වුණා. ‘සුපර්ණා’ චිත්‍රපටය සඳහා කෙනාරා එයාගේ කොණ්ඩේ කොටටම කපලා තිබුණේ. ඒ පෙනුමට චත්‍ර කැමති වුණා. ඒ අනුව තමයි කෙනාරට ‘ආයු’ චිත්‍රපටය සඳහා සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.


මිරිස්ස මුහුදු වෙරළේ රූගත කිරීම් කිහිපයක්ම තිබුණා. කන්දක් උඩ දර්ශන තිබුණේ කූරගල. කෝච්චියේ යන දර්ශන ටික තිබුණේ බදුලු කෝච්චියේ. අපි කොළඹ ඉඳන් බදුල්ලට පැය 12ක් විතර කෝච්චියේ ගියා.


වෙළෙඳ දැන්වීම් කිහිපයකටම කෙනාරා සම්බන්ධ වෙලා තියෙනවා. ඉදිරියේදී අධ්‍යාපන වැඩ කටයුතුවලට බාධාවක් නොවෙන පරිදි හොඳ චරිතයක් ලැබුණොත් රඟපාන්න කෙනාරා කැමතියි.


අමෙරිකානු කාන්තාවක් අධ්‍යක්ෂණය කළ ජාත්‍යන්තර කෙටි චිත්‍රපටයකටත් කෙනාරා සම්බන්ධ වුණා.


කලා ක්ෂේත්‍රය සඳහා දියණියන් දෙදෙනාවම එක්කරන්න හිතුවේ ඇයි?


පුංචි කාලෙ සිටම මේ දෙන්නගෙම ඇඟේ කලාව පිළිබඳ හැකියාවන් තියෙන බව අපට තේරුණා. මගේ තාත්තට ඕන වුණා ලොකු දුවව ඉස්සෙල්ලම ළමා චිත්‍රපටයකට සම්බන්ධ කරවන්න. ඒ අනුව තමයි සෝමරත්න දිසානායකයන් චිත්‍රපටයකට ළමා නළු නිළියන් තෝරා ගන්නා බවට කළ වෙළෙඳ දැන්වීමට අයදුම් පතක් දැම්මේ.


මෙනාරා, කෙනාරා දියණියන් දෙදෙනා ගැනම මට හරිම ආඩම්බරයක් දැනෙනවා. ඒගොල්ලෝ ඉගෙනීමටත් දක්ෂයි. අමතර පන්ති මුකුත්ම යන්නෙ නැතුව පාසලෙන් ලැබෙන අධ්‍යාපනය තමයි කරගෙන යන්නේ.


‘සරිගම’ චිත්‍රපටයේ රූගත කිරීම් කෙරෙද්දී හමුවුණු සහය අධ්‍යක්ෂ චාමර සේලාර තමයි ‘සුපර්ණා’ චිත්‍රපටයටත් කෙනාරාව හඳුන්වා දුන්නේ. ඒ වගේම වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ කරලා දුන්නෙත් චාමරමයි.


ආචාර්ය සෝමරත්න දිසානායකයන්ට, චාමර සේලාරට, චත්‍ර වීරමන්ට ස්තූති කරන්න මෙය අවස්ථාවක් කරගන්නවා.

gossiplanka image 1
gossiplanka image 2
Previous Post Next Post