‘එදා රෑ’ කවදාවත් අමතක වෙන්නේ නැහැ -ශේෂාද්‍රි ප්‍රියසාද්

gossiplanka image 1
 

ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ සිනමාවේ සහ රූපවාහිනියේ කාගේත් ආකර්ෂණය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනියකි. ඇය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් සහ ශිරාණි ප්‍රියසාද් යුවළගේ දෙවැනි දියණියයි. කාලයක් නිහඬව හිටි ශේෂාද්‍රි ප්‍රියසාද් දැන් ආයෙමත් කලාවේ සක්‍රියව දකින්න ලැබෙනවා. මේ දිනවල තිරගත වන ‘එදා රෑ‘ චිත්‍රපටයේ ශිරාණි ට ජිවය දෙන්නෙ ඇයයි.


දිගු කාලයකට පසු නැවතත් සිනමාවෙන් ප්‍රේක්ෂකයන් හමුවට එන්න ‘එදා රෑ’ චිත්‍රපටය තෝරාගන්න විශේෂ හේතුවක් තිබුණද?


මගේ අන්තිමට චිත්‍රපටයක් තිරගත වුණේ 2024 ජනවාරි. ඊට පස්සේ ගිය අවුරුද්දේ ක්ලැරන්ස් චිත්‍රපටයේ මම ආරාධිත රංගනයක් ඉදිරිපත් කළා. ප්‍රධාන චරිතයක් කරපු චිත්‍රපටයක් විදියට ‘සිහිනයකි ආදරේ‘ තිරගත වුණේ 2024. ඊට පස්සේ අවුරුදු දෙකකට පස්සේ තමයි ප්‍රධාන චරිතයකින් එන්නේ. ‘එදා රෑ’ චිත්‍රපටය තෝරාගන්න විශේෂ හේතුවක් කියන්නේ මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ ජිවිත කතාව ඇසුරින් නිර්මාණය වෙන නිසා මම හිතුවා ප්‍රේක්ෂකයින් අතරට යන නිර්මාණයක් වෙයි කියන එක. ඒ නිසා මම හිතුවා මේ චරිතේ භාර ගන්න ඕනේ කියලා.


මෙහි ඔබ රඟපාන ‘ශිරාණි’ කියන්නේ කෙබඳු ආකාරයක චරිතයක්ද?


‘ශිරාණි’ කියන්නේ මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ ජිවිතේ හිටපු එයාට ගොඩක් ආදරේ කරපු කෙනෙක් කිව්වොත් හරි. ඒ චරිතේ හරිම සුන්දර චරිතයක්. එවැනි චරිත මේ සමාජයේ ඉන්න පුළුවන්. ආදරේ හිමිවෙන සහ අහිමිවෙන අයව අපිට ඕනේ තරම් මුණ ගැහෙනවානේ. එහෙම ආදරණිය චරිතයක් ශිරාණි.


‘ශිරාණි’ වෙන්න ඔබ කරපු කැපකිරීම් මොනවද?


ශිරාණි කියන චරිතය කවුරුත් දන්නා චරිතයක් නෙවෙයි. එයා ප්‍රසිද්ධ හෝ ජනප්‍රිය චරිතයක් නෙවෙයි. ඒ නිසා අධ්‍යක්ෂතුමා සහ තිරපිටපත් රචකයාගේ දැනුවත් වීම් එක්කයි මේ චරිතෙට හැඩගැහුණේ. ඒක මට ලොකු වෙනසක් වුණා. සාමාන්‍යයෙන් අඳින පලඳින විදියට නෙවෙයි මේ චරිතෙට අපි ඇන්දේ.


මෙම චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර සිදුවුණු අමතක නොවන හෝ අභියෝගාත්මක අත්දැකීම් මොනවාද?


මට නම් මේ ‘එදා රෑ’ චිත්‍රපටයම අමතක වෙන්නේ නැහැ. වෙනස්ම ආකාරයට නිර්මාණය වුණු චිත්‍රපටයක්. ඒ එක්කම මට වැඩ කරන්න ලැබුණු කාස්ට් එක හරිම ගුණගරුක උපරිම සහයෝගයක් දුන්නු කට්ටියක්. මම සෑහෙන කාලයකට පස්සේ ෆිල්ම් සෙට් එකකට ගියේ. එදා සෙට් එකට ගිය පළමු දවසේ මට දැනුණු හැඟීම වචනයෙන් කියන්න බැරි තරම්. ෆිල්ම් සෙට් එකක ඉන්නවා තරම් හිතට සතුටක් ගෙන දෙන තව දෙයක් මට නැහැ. සිනමාව කියන්නේ මම සතුටු වෙන දේවල්වලින් එකක්. එදා රෑ ගීතයේ එන සීන් එකක් තමයි මගේ පළමු රූ ගැන්වීම වුණේ. ඒක කවදාවත් මට අමතක වෙන්නෙ නැති වෙයි.


‘එදා රෑ’ අධ්‍යක්ෂවරයා සහ අනෙකුත් ප්‍රවීණ-නවක රංගන ශිල්පීන්ගෙන් ලැබුණු සහයෝගය කෙබඳුද?


‘එදා රෑ’ අධ්‍යක්ෂවරයා අරුණ ජයවර්ධන අයියා එක්ක වැඩ කරපු පළමු අවස්ථාව. මම වැඩ කරලා නැති නිසා හිතුවේ ටිකක් සැර පරුෂ චරිතයක් කියලා. හැබැයි එයා හරිම සුන්දර අධ්‍යක්ෂවරයෙක්. එයා මට මගේ චරිතෙන් එන්න ඕනේ දේවල් ටික හරිම පැහැදිලිව කිව්වා. ඒ ලැබුණු සහයෝගය මට ගොඩක් වටිනවා. ඒ එක්කම ප්‍රවීණ නවක බොහෝ දෙනෙක් එක්ක වැඩ කරන්න ලැබුණා. ඒ හැමෝම එකට එකතු වෙලා ටීම් එකක් විදියට වැඩ කරපු නිසා සාර්ථක නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට දෙන්න පුළුවන් වෙලා තියෙනවා.


මේ දවස්වල ‘එදා රෑ’ චිත්‍රපටයට අමතරව ඔබ දායක වෙලා තියෙන වෙනත් අලුත් කලා නිර්මාණ (ටෙලිනාට්‍ය, චිත්‍රපට හෝ වෙ‍ෙළඳ දැන්වීම්) මොනවාද?


ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා මහේෂ් විදානපතිරණ සහ මාලිංග විජේසිරි කියන අධ්‍යක්ෂවරු දෙන්නා එකට අධ්‍යක්ෂණය කළ ‘හනිමුන් ටුමාරෝ‘ චිත්‍රපටය. ඒ එක්කම මේ අවුරුද්දේ නොවැම්බර් තිරගත වෙනවා මගේ තාත්තා දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්ෂණය කළ ‘රහයි ජිවිතේ‘ චිත්‍රපටය. මේක ටික කාලයක් ගත වෙලා තිරගත වෙන නිර්මාණයක්. විශේෂයෙන්ම මේක ටෙනිසන් කුරේ මහතා අවසානයට රඟපෑ චිත්‍රපටය. ඔහුට ආදරේ කරන රසික ජනතාව වෙනුවෙන් සහ ඔහුට උපහාරයක් වෙනුවෙන් තිරගත වෙයි. තව මම රඟපෑ නිර්මාණයක් තමයි මංචන පීරිස් අධ්‍යක්ෂණය කළ ‘අග්නිජය‘ චිත්‍රපටය. ඒ වගේම මේ දිනවල මම රූපගත කිරීම් වල නියැළී ඉන්නවා බුද්ධික ජයරත්න අධ්‍යක්ෂණය කරන ‘කොළඹ 13‘ චිත්‍රපටය එක්ක.


ප්‍රියසාද් පවුලේ හැමෝම කලාවට සම්බන්ධයි. නිර්මාණයක් තෝරාගැනීමේදී හෝ රංගනයකදී පවුලේ අයගෙන් ලැබෙන උපදෙස් සහ විවේචන ඔබ දකින්නේ කොහොමද?


ඉස්සෙල්ලම වැඩක් ආවම මම කියන්නේ මගේ හස්බන්ඩ්ට. එහෙම කියන්නේ එයාගෙන් අවසර ගන්න නෙවෙයි. එයා මට පූර්ණ නිදහස දීලා තියෙනවා හොඳ දේවල් තෝරා බේරාගෙන කරන්න. ඒ නිසා මම මුලින්ම හැමදේම කතාබහ කරනවා. ඊට අමතරව මගේ පවුලේ අයගෙන් එදා ඉඳන්ම මට හොඳ සහයෝගයක් ලැබෙනවා. විවේචන කරන්න ඉන්නේ තාත්ති. එයා කියන දේවලුත් අහගෙන ඉස්සරහට යනවා.


බිරිඳක් සහ මවක් ලෙස පවුලේ වගකීම් ඉටුකරන ගමන්, රංගන කටයුතු සඳහා කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද?


බිරිඳක්, මවක් සහ රංගන ශිල්පිනියක් කියන මේ තුන බැලන්ස් කරන එක තමයි මට තියෙන ලොකුම අභියෝගය. ඒකට මට මගේ හස්බන්ඩ්ගෙන් සහ මගේ පවුලේ අයගෙන්, හස්බන්ඩ්ගෙ අම්මගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. ඒ ලැබෙන සහයෝගය එක්ක මේ සියලු දේවල් කළමනාකරණය කරගන්න මට පුළුවන් වෙලා තියෙනවා.


ශේෂාද්‍රිට ආදරය කරන, ඔබේ අලුත් නිර්මාණ එනකම් මඟ බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද?


ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ, මම අවුරුදු 5ක කාලයක් රංගනයෙන් සිනමාවෙන් ඈත් වෙලා හිටියා. නමුත් මම ආයේ වැඩ කරන්න ගත්තම මට ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව ලැබෙන්න ගත්තා. ඔවුන් මට දෙන ප්‍රතිචාර වලට මම ගරු කරනවා. අපිට ලස්සන නිර්මාණ කරන්න බුස්ට් එකක් ලැබෙන්නේ ප්‍රේක්ෂකයන් අපිට දෙන ආදරේ නිසා. ප්‍රේක්ෂකයන්ට මම ගොඩක් ආදරෙයි.


ජායාරූප – සඳමාලි විමලසේන

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post