“මේ චිත්‍රපටය අද වෙද්දි හැමෝගේම කතාබහට ලක්වූ නිර්මාණයක් වෙලා. සත්‍ය කතාවකින් තැනුණු ‘Room no.106’හි මම රඟපාන පොලිස් නිලධාරියාගේ බිරිඳ හෙවත් දරුවන් තිදෙනකුගේ මව මේ මොහොතේත් ජීවත්ව සිටින චරිතයක්. මේ රටේ සිදුවූ එක්තරා ආන්දෝලනාත්මක ඛේදවාචකය විඳින ඒ මවගේ, බිරිඳගේ චරිතයට ජීවය දෙන්න ලැබීම ගැන සතුටුයි. මේ කතාව තුළින් සමාජයට විශාල පණිවිඩයක් දෙනවා. අද වෙද්දි සමාජමාධ්‍ය විසින් මිනිසුන්ගේ ජීවිත තීරණය කරන දරුණු තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. එය හරිම ඛේදවාචකයක්. අශීලාචාර මාධ්‍ය භාවිතයක සිටින අයට මේ නිර්මාණයෙන් ඉතා හොඳ පණිවිඩයක් දෙනවා. මෙහිදී පොලිස් නිලධාරියාගේ ආවේගය නිසා යමක් සිදුවුණා. එහිදී මනුෂ්‍යත්වය යටවෙලා සමාජමාධ්‍ය තුළින් ඔවුන්ගේ ජීවිත තීරණය කරන තත්ත්වයට අද සමාජය යනවානම් අනාගතයේ මේ රට කොතැනට ද ගමන් කරන්නේ කියන ප්‍රශ්නය මෙහි යටිපෙළෙන් කතා කෙරෙනවා. මෙහිදී මා රඟපාන Mrs:කාරියවසම් චරිතය පවුල රැකගෙන බුද්ධිමත්ව කටයුතු කරන තිදරු මවක්, බිරිඳක්. මේ ඛේදවාචකය සමඟ ඇය මාධ්‍යයට කිසිවක්ම ප්‍රකාශ නොකිරීම තුළින්ම ඇගේ උගත්කම, බුද්ධිමත් බව පිළිබිඹු වෙනවා. ඇයි අප ඉවසිය යුත්තේ කියා මෙහිදී තීරණය කෙරෙනවා. දශමයක වෙනස්වීමකින් බොහෝ දේ විය හැකියි. මේ චරිතය ලාංකේය කාන්තාවන්‍ට ආදර්ශයක්. මෙය අපේ කාන්තාවන් හැමෝම නැරඹිය යුතු චිත්‍රපටයක්. බැඳීම්වලට ගෞරවාන්විත සමුගැනීමක් දෙන්න කියන පණිවිඩයත් මෙයින් ලබාදෙනවා. බිමල් ජයකොඩි වැනි දක්ෂ නළුවකු සමඟ රංගනයත් හරිම සුන්දර අත්දැකීමක් වුණා. ‘Room no.106’ කියන්නේ ඉතා ගෞරවාන්විත නිර්මාණයක්. ඒ වගේම චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුරංග ද අල්විස් ප්‍රබල සමාජ පණිවිඩයක් මෙයින් දෙනවා. අප අතරින් සමුගත් හෝ ජීවත්ව සිටින අයට කිසිදු අසාධාරණයක් නොවන බවට ඔහුගේ ප්‍රබල වගකීම ලෙස ඔහු එය ඉටුකළා. සුනෙත් මාලිංග ලොකුහේවා ඉතා ප්‍රබල තිර පිටපතක් සකස් කර තිබුණා.“
දමිතා අබේරත්න වසර ගණනාවක් රංගනයෙන් දුරස්ව සිට නැවත මේ චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයා හමුවට ඒම විශේෂත්වයකි.
“මම කාලයක් නිශ්ශබ්දව සිටියා. කලාකරුවන් දේශපාලනික විය යුතු නැහැ. කලාකරුවාට තිබෙන බලය දේශපාලනඥයාට නැහැ. වසර 45ක් හදාගත්ත නම මම එක් වසරකින් නැති කරගත්තා කියා මටම සිතෙනවා. ‘Room Nu 106’ ඔස්සේ ආදරණීය ප්‍රේක්ෂකයා ඇමතීමට ලැබීම ගැන සතුටුයි. සුරංග ද අල්විස් මේ චරිතයට මාවම අවශ්‍යයි කියලා මාව අරගත්තේ. ඔහු කුඩා කාලයේ සිට මගේ මිතුරෙක්. සමහරු කියා තිබුණා මාව ගන්න එපා කියලත්. මේ චිත්‍රපටයෙන් පසුව මහ පොළොවේ නැවතත් දමිතා ගැන කතා කරන්න ගත්තා. සුරංග මට දුන් ඒ ගෞරවයට කලාශිල්පිනියක ලෙස මම ගරු කරනවා. ඒ වගේම චාමර සමරවික්‍රම නිෂ්පාදකවරයා පසුගිය දවසක මට හමුවුණා. ඔහු කිව්වා “ඔයා නිහඬ වෙන්න එපා, යළිත් රංගනයට එන්න. මම යළි ඔයාව උපද්දවනවා” කියලා. චාමරටත් මම ණයගැතියි. ඒවගේම මගේ නිහඬ කාලයෙන් පසුව අධ්‍යක්ෂ වී. සිවදාසන් ඔහුගේ ‘දූවිලි’ චිත්‍රපටයටත් ඔහුගේ පුත් රජීව් සිවදාසන් ‘ආල’ චිත්‍රපටයටත් මට ආරාධනා කළා. ජයන්ත චන්ද්‍රසිරි අයියගේ අලුත්ම චිත්‍රපටයටත් එක්වුණා. එසේම සිවගුරුනාදන් අයියා ‘අමුතු කල්ලිය’, ‘ඇද බාස්’ ටෙලිනාට්‍යවලට මාව එක් කරගත්තා. ඔවුන්ගේ ඒ මිනිස්කම්වලට හදවතින්ම ගෞරව කරනවා. නිර්මාණය යනු මානයක් නැති තැනක්. එයට දායක වන කලා ශිල්පීන් උත්තරීතරයි.“
මේ දිනවල මොනවාදැයි කරන්නේ ඇසූ විට ඇය කීවේ මෙවන් කතාවකි.
‘Room no.106’ට අමතරව සිවගුරුනාදන් අයියගේ ‘අමුතු කල්ලිය’ ටෙලියේ මනෝරි ලෙස ප්‍රේක්ෂකයා හමුවට මම එනවා. ඔහුගේම ‘ඇද බාස්’ නාට්‍යයෙත්, ජනක මහල්පත්ගේ ‘සක්වළයෝ’ නාට්‍යයෙත් පහුගිය දවස් වල ෂූටින් තිබුණා. කපිලගේ වේදිකා නාට්‍යයකටත්, ඉනෝකා සත්‍යාංගනී අක්කාගේ අලුත්ම චිත්‍රපටයටත් ආරාධනා ලැබුණා. රවින්ද්‍ර විජේරත්නගේ ‘කුටු කුටු මාමා’ ටෙලිනාට්‍යයත් නැවත විකාශය වෙනවා.
මම නිර්මාණයක් භාරගනිද්දි මට යමක් කළ හැකිද කියන දේයි බලන්නේ. චරිතය ප්‍රධාන එකක් ද, උප චරිතයක් ද, සුළු චරිතයක් ද නෙවෙයි වැදගත්, චරිතය තුළ තමන් කරන දේයි ප්‍රබල විය යුත්තේ.“
පාසල් සමයේත් කලාවට දස්කම් දැක්වූ දමිතා සිය රංගන දිවියේ ආරම්භය ගැන ද සිහිපත් කළාය.
“පාසල් කාලයේ මම තබ්ලා, සිතාර් වාදන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් ලෙස සමස්ත ලංකා ජයග්‍රහණ ලැබුවා. වේදිකා නාට්‍යවලටත් රංගනයෙන් දායක වුණා. ක්‍රිඩා අංශයෙන් ද දස්කම් දැක්වුවා. මගේ මුල්ම රඟපෑම බන්දුල විතානගේ මහතාගේ ‘අත්ත බිඳෙයි’ ටෙලිනාට්‍යය. වෘත්තියමය වශයෙන් කලාවට පිවිසෙන්න අවස්ථාව ලැබුණේ රෝහණ වීරසිංහ මහතාගේ ‘කලාභූමි’ ආයතනයට සම්බන්ධ වීමත් සමඟයි. මට අවුරුදු 05දී වගේ අම්මා මාව ‘කලාභූමි’යට යැව්වා. ඒ කලාභූමිය නිසයි දමිතා අබේරත්න කෙනෙක් බිහිවුණේ. මේ යොමුකිරීමත් එක්කයි නාලන් මෙන්ඩිස් අන්කල් ඔහුගේ පළමු ටෙලිනාට්‍යය වූ ‘පස්සෙ ගෙනා මනමාලි’ ට මාව දායක කරගන්නේ. ඉන්පසුව අයි. එන්. හේවාවසම් මහතාගේ ‘මීහරකා’ චිත්‍රපටයේ රඟපෑවා. එහි දෙනවක හාමිනේ ආච්චි එක්කත් එච්. ඒ. පෙරේරා අන්කල්, ලින්ටන් සේමගේ අයියා වගේ දැවැන්තයෝ එක්ක රඟපෑවා. එහෙමයි මගේ රංගන දිවියේ ඇරඹුම සිදුවුණේ.“
ලාංකේය සිනමාවේ විශිෂ්ට නිර්මාණ වූ ‘මීහරකා, සුළං කිරිල්ලි, ඉරහඳ යට, නිසලගිර, ගාමණී’ වැනි චිත්‍රපට සහ ‘දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, පස්සෙ ගෙනා මනමාලි, නෑදෑයෝ, සෙනෙහෙවන්තයෝ, සිටුවරයෝ, අම්මයි තාත්තයි, අවිඳු අඳුර, අඹුදරුවෝ, ස්වයංජාත, සඳළුතලය, අකරදාරුව, බට්ටි, කෙළිමඬල, තත්පරයක් දෙන්න’ වැනි ටෙලිනාට්‍ය දමිතාගේ රංගනයෙන් ඔපවත් විණි. ‘කෙළිමඬල’ චිත්‍රපටයේ අනෝජා වීරසිංහ රඟපෑ ප්‍රබල චරිතය පුංචිතිරයේ ප්‍රති නිර්මාණය කළේ දමිතායි. ඒ වෙනුවෙන් ඇය හොඳම නිළිය ද වූවාය. එතෙක් මෙතෙක් රංගන දිවිය තුළ දමිතා සම්මාන 40ත් 50ත් අතර ප්‍රමාණයකට උරුමකම් කියා ඇත.
‘සුළං කිරිල්ලි’ සිනමා කෘතිය ඇගේ රංගනයේ හැරවුම් ලක්ෂ්‍යය විය. දමිතා පිළිබඳ දෙස් _විදෙස් කතාබහට ලක්වූයේ ද ‘සුළං කිරිල්ලි’ නිසාය.
“’සුළං කිරිල්ලි’ හරහා මට ලෝකය පුරා ඉගිළෙන්න ලැබුණා. ඒත් කාන්තාවක් නිසාමයි. අධ්‍යක්ෂ ඉනෝකා සත්‍යාංගනී අක්කට විදෙස් උලෙළයන්ට අවස්ථාව ලැබුණම මගේ රංගන ශිල්පිනියට ඒ අවස්ථාව දෙන්න කියලා මට විදෙස් රටවලට යන්න කියනවා. ඒ චිත්‍රපටයට මාව ගන්න එපා කියලා ගොඩාක් අය ඉනෝකා අක්කට කියලා තිබුණා. මම ඇගේ විශ්වාසය රැකලා දුන්නා. චිත්‍රපටය විදෙස්හි ඇගයුමටත් මෙරට සෑම සිනමා සම්මාන උලෙළකදීම ඇගයුමටත් ලක්වුණා. සුළංකිරිල්ලි නිසා මම මෙරට වගේම විදෙස්හිදීත් හොඳම නිළිය ලෙස සම්මානිත වුණා. මාලිනී ෆොන්සේකා, අනෝජා වීරසිංහ, නීටා ප්‍රනාන්දු වගේ විදෙස් ඇගයුමට ලක්වෙන්න මටත් හැකිවුණේ ‘සුළං කිරිල්ලි’ නිසයි.“
වත්මන් සිනමාවේ තත්ත්වය ගැන දමිතා මෙලෙස අදහස් දැක්වුවාය.
අද ප්‍රේක්ෂකයා සිනමාව කරා ඇදෙමින් ඉන්නවා. එය සතුටක්. සිනමාව යනු පාට ගොඩක්. එක් එක් පාටවල චිත්‍රපට හැදෙන්න ඕනේ. ඔවුන්ගේ රුචිකත්වයන් අනුව අද චිත්‍රපට හැදෙනවා. මෙය නිර්මාණකරුවන්ට ක්ෂේත්‍රයේ රැඳෙන්න හොඳ අවස්ථාවක්. කලා ශිල්පීන් රැකෙන්නේත් කර්මාන්තයක් ලෙස පැවතෙන්නේත් ප්‍රේක්ෂකාගාරය නිසයි. ප්‍රේක්ෂකයාට ඒ ගෞරවය ලබාදෙනවා.“
එදා ටෙලිනාට්‍ය කලාවට සාපේක්ෂව අද ටෙලිනාට්‍ය කලාව වෙනස්ම තලයක තිබෙන කලා මාධ්‍යයක් බවත් දක්ෂ තරුණ පිරිසක් කලාලොවේ සිටින බවත් දමිතාගේ අදහසයි.
“අද වෙද්දි මිනිසුන්ගේ රුචිකත්වය වගේම හැඟීම්, ආකල්ප වෙනස්වෙලා. තාක්ෂණයේ දියුණුවත් සමඟ මිනිසුන්ගේ මනසත් වෙනස්වෙලා. ඒ අනුව ටෙලිනාට්‍ය කලාවත් අප්ඩේට් වෙලා. එය සුබවාදී පැත්තට ගිහින් තිබෙන්නේ. ඒවගේම අද තරින්දි ප්‍රනාන්දු, උමාලි තිලකරත්න, උමා අසේනි, ඩිනක්ෂි ප්‍රියසාද් වැනි අති දක්ෂ පිරිසක් කලාලොවේ පෙරළි කරමින් ඉන්නවා.“
නිළියකට අමතරව නිෂ්පාදකවරියක, අධ්‍යක්ෂවරියක ලෙස දමිතා අබේරත්න භූමිකාව විහිදී යයි. ‘සසර සරණි, මාමා හා මා, රිදී තාරකා’ ටෙලිනාට්‍ය ඇගේ නිෂ්පාදනයන්ය. ‘සසර සරණි’ නිෂ්පාදනයට අමතරව අධ්‍යක්ෂණ කාර්යය ද වූයේ ඇගේ අතිනි. එය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ අවසන් සංගීත අධ්‍යක්ෂණය ද විය.
එදා දඬුබස්නාමානයේ ස්වර්ණපාලිට අදත් ප්‍රේක්ෂකයා ආදරය කරන්නේය. ඒ ගැන කතාකරන්නත් ඇය අමතක නොකළාය.
“’දඬුබස්නාමානය’ කියන්නේ මගේ 17 වැනි ටෙලිනාට්‍යය වුණත් ප්‍රධාන චරිතයක් කළ පළමු ටෙලිනාට්‍යයයි. ඒ චරිතයට එදා වගේම අදත් ප්‍රේක්ෂකයා ආදරය කරනවා. ‘ස්වර්ණාපාලි’ කියන්නේ මගේ ටෙලි රංගනයේ හැරවුම් ලක්ෂ්‍යය කිව්වත් හරි. එය සුන්දර, දුෂ්කර ගැමි චරිතයක්. මගේ පෙම්වතා ලෙස සිටි කමල් අද්දරආරච්චිත් මෙහිදී මතක් කරනවා. කමල් අයියා මට එහිදී උපරිම සහාය ලබාදුන්නා චරිතය ජීවමාන කරවීමට. මේ නිර්මාණයේ අපට, ප්‍රේක්ෂකයාට ඉගෙන ගන්න දෙයක් තිබෙනවා. ඒ කාලයේ ‘දඬුබස්නාමානය’ විකාශය වූ රාත්‍රී 8:30 වෙද්දි පාරේ මිනිස්සු ඇත්තේම නැහැ. ටෙලිනාට්‍යය බලන්න ගෙවල්වල රැඳිලා.“
නිළියක, නිෂ්පාදකවරියක, අධ්‍යක්ෂවරියක, ගායන ශිල්පිනියක, හඬකැවීම් ශිල්පිනියක ලෙසත් කලා ලොවේ නිරතව, ප්‍රේක්ෂක විශ්වාසය දිනාගනිමින් තව බොහෝදුර ගමනක් යෑම තමන්ගේ අපේක්ෂාව බව දමිතා පවසන්නීය.