රංගනයට සමුදීලා නැහැ- දිලිනි ලක්මාලි

gossiplanka image 1
 දිලිනි ලක්මාලිගේ රුව නැවත පුංචි තිරයේ දක්නට ලැබීම ඇයට ආදරය කරන සුවහසක් ප්‍රේක්ෂකයන්ට සතුටුදායක ආරංචියක් වනු ඇත. මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන වෑදිය මංකඩ ටෙලි නිර්මාණයේ නටාෂා ඇයයි. ක්ෂේත්‍රයේ දිලිනිලා කොතෙක් හිටියත් මේ දිලිනිටම ආවේණික අනන්‍යතාවක් ඇත. ඒ ඇගේ දිග කොණ්ඩයයි. මේ වනවිට නවසීලන්තයේ පදිංචිව සිටින ඇය වරින් වර ලංකාවට පැමිණ කලා කටයුතුවලට සම්බන්ධ වන්නීය. වෑදිය මංකඩ ටෙලි නිර්මාණයේ ‘නටාෂා‘ ලෙසින් ලැබූ රංගන අත්දැකීම ඇය අප හා බෙදාගත්තාය.


“වෑදිය මංකඩ සුරංජිත් සමීර රණසිංහගේ කුලුඳුල් ටෙලි අධ්‍යක්ෂණය. තිර රචනයත් ඔහුගේ. මං ඒකෙ සුරාජ්ගේ බිරිඳ නටාෂා. සුරාජ්ගේ භූමිකාවට පණපොවන්නේ උද්දික ප්‍රේමරත්න. මේ හරහා කතාබහට ලක්වෙන්නේ පාසල් ගුරුවරයෙක් සහ වෛද්‍යවරියක් අතර ‍කලින් තිබුණු ප්‍රේමයක් නැවත අලුත් වීම නිසා පවුල තුළ හටගන්නා ගැටලුකාරී තත්ත්වයක් ගැන. ඒ ගම්මානය ඇතුළේ පවතින දේශපාලන වාතාවරණයත් ඔවුන්ගේ ජිවිතවලට යම්කිසි බලපෑමක් එල්ල කරනවා. මුල ඉඳන්ම නටාෂාට විදෙස්ගතවීමේ සිහිනයක් තිබුණා. සුරාජ්ගේ පැරණි ප්‍රේමය හසුවීමත් එක්ක ඇයගේ අරමුණ ඉක්මන් වීම තමයි සිද්ධවෙන්නේ.“


වෙනදා ලැබෙන ගැමි පෙනුමට එහා ගිය පෙනුමක් ආරෝපණය කරගැනීමට සිදුවීම සම්බන්ධයෙන් දිලිනි පැවසුවේ මෙවැන්නකි.


“ගොඩක්දුරට මට ලැබෙන්නෙම ගැමි චරිත. නමුත් නටාෂාගේ අත්දැකීම ඊට වෙනස්. නටාෂා කියන්නේ හොඳ පවුල් පසුබිමක හැදුණු, පෞද්ගලික ආයතනයක රැකියාව කරන, නාගරික විදිහට අඳින පලඳින යුවතියක්. මුල ඉඳන්ම ඇගේ හීනය වුණේ විදෙස්ගතවීම. සැබෑ ජීවිතයේදී මමත් විදෙස්ගතව ඉන්න කෙනෙක් නිසා නටාෂාගේ චරිතය ප්‍රායෝගිකව හොඳ විදිහට පෙරළගන්න අධ්‍යක්ෂවරයාටත් හැකියාව ලැබිල තියෙනවා කියලා හිතෙනවා.“


වෑදිය මංකඩට ලැබුණු ආරාධනයට සිය සතුට පළ කළ දිලිනි තම චරිතය සාර්ථක කරගැනීමට දායක වුණු නාට්‍ය කණ්ඩායමට ස්තුතිය පළ කිරීමට ද මෙය අවස්ථාවක් කරගත්තාය.


“‘වෑදිය මංකඩ‘ ටෙලි නිර්මාණයට මට ආරාධනා ලැබෙන්නේ අධ්‍යක්ෂ සුරංජිත් අයියාගෙන්. ඒ වෙද්දිත් මම හිටියේ නවසීලන්තයේ. මෙහි තවත් විශේෂත්වයක් වුණේ මේ ටෙලි නිර්මාණයට දායක වෙලා හිටිය හැමෝම අනුරාධපුරය, පොලොන්නරුව වගේ උතුරුමැද පළාත ආශ්‍රිතව ජීවත් වන කලාකරුවන්. අධ්‍යක්ෂවරයා වගේම ප්‍රධාන චරිතයෙන් සම්බන්ධ වන උද්දික, කැමරාවෙන් පෙළහරපාන නිශාන්ත ප්‍රදීප් ඇතුළු හැම දෙනාම ඒ පැත්තේ. මං විතරයි කොළඹින් හිටියේ. මේක සුරංජිත් අයියගේ කුලුඳුල් ටෙලි නිර්මාණය නිසාම මමත් හරිම කැමැත්තෙන් දායක වෙලා ඔහුට සහයෝගය ලබාදුන්නා. මේ වෙද්දි ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි.“


දිලිනි දැන් රංගනයෙන් ඉවත්වී ඇතැයි සිතා ප්‍රතිචාර දක්වන ප්‍රේක්ෂක පිරිසට විශේෂයෙන්ම ආමන්ත්‍රණය කිරීමට ඇය අමතක නොකළාය.


“බොහෝ දෙනෙක් හිතාගෙන ඉඳලා තියෙන්නේ මං රංගනයෙන් අයින් වෙලා කියලා. ඇත්තටම මං රංගනයෙන් ඈත්වෙලා විදෙස්ගත වුණා නොවෙයි. පවුල් ජීවිතයට මූලිකත්වය දීලා සැමියත් එක්ක නවසීලන්තයේ පදිංචියට ආව නිසා කලාවෙන් පොඩ්ඩක් ඈත්වෙන්න වුණා. එහෙම නැතුව මං රංගනයට සමුදීලත් නැහැ කවදාවත් එහෙම තීරණයක් ගන්නෙත් නෑ. හොඳ නිර්මාණයකින් දෙකකින් ආයෙත් මං ප්‍රේක්ෂකයන් අතරට එන්න බලාපොරොත්තු වෙනවා. ඒක මගේ හීනයක්.


මේ දවස්වල නවසීලන්තයෙත් වින්ටර් කාලය ගෙවීගෙන යනවා. සැමියාගේ කටයුතුවලට සහය දෙන ගමන් මම නිවෙසේ කටයුතුත් කරගෙන ඉන්නවා. මං මෙහේට ආපු කාලෙ ඉඳන්ම නවසීලන්තයේ වෙසෙන ආදරණීය ශ්‍රී ලාංකිකයන්ගේ මෙහේ පැවැත්වෙන කලා කටයුතුවලට ආරාධනා ලැබෙනවා. අපි ජීවත් වන පරිසරය අනුව නිතර ඔවුන් සමඟ සම්බන්ධ වෙන්න අපහසු වුණත් පුළුවන් හැම අවස්ථාවේදීම ඔවුන්ගේ කලා කටයුතුවලට සම්බන්ධ වෙනවා.“


ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ඈත්වී දුරු රටක හුදෙකලා වීම දිලිනිට දැනී තිබුණේ මෙලෙසිනි.


මං දැන් මෙහේට ඇවිත් අවුරුදු දෙකක් වෙනවා. මෙහේ මට කියලා ඉන්නේ මගේ මහත්තයා චරිත් විතරයි. ඔහු වගේ කෙනෙක් හමුවීමම මට මානසික සතුටක්. කලාවේ නියැළුණු කෙනෙක් විදිහට ඔහු වගේ සැමියෙක් ලැබීමත් මගේ වාසනාවක්. වෘත්තියෙන් ඔහු වෙනත් රැකියාවක නිරත වුණාට ඔහුත් කලාවට බොහොම ලැදි කෙනෙක්. ඔහුගේ අදහස් සිතුම් පැතුම් මට සමානයි. හරිම සහයෝගයෙන් සතුටින් අපි ජීවිතේ ගෙවනවා. කලාකාරියක් විදිහට ගත්තොත් නම් ලංකාවට වඩා ඇත්තටම මෙහේ ටිකක් හුදෙකලා බවක් දැනෙනවා. නමුත් මං හැමදේම තේරුම් අරගෙන ජීවත්වන කෙනෙක් නිසා ඒ ගැන වැඩිය හිතන්නෙ නෑ. කලා නිර්මාණවලින් මාව නොදැක්කට අනෙකුත් සමාජ මාධ්‍යවල මගේ තොරතුරු නිතර හුවමාරු වන නිසා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මාව අමතක වෙන එකක් නැහැ කියලා මං විශ්වාස කරනවා. ඔවුනුත් දැන් ගොඩක්ම කැමැතියි මං මේ ඉන්න පරිසරය ඇතුළේ සිදුවන දේවල් දකින්න, රසවිඳින්න. නමුත් ඒක වෙනම අත්දැකීමක්. මං දැන් අවුරුදු 18ක් තිස්සේ ප්‍රේක්ෂකයන් එක්ක හිටියා. නවසීලන්තයේ ජීවත් වෙන ගමන් වරින් වර ලංකාවට ඇවිත් හොඳ නිර්මාණවලට සම්බන්ධ වුණා. ඒ වගේම ඉදිරියටත් ප්‍රේක්ෂකයන් එක්කම ඉන්න බලාපොරොත්තු වෙනවා.


 

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post