දුව මගේ ජීවිතයට ආපු එක ආශීර්වාදයක් -උදාරි වර්ණකුලසූරිය

gossiplanka image 1
 

ධනංජය සිරිවර්ධනගේ අධ්‍යක්ෂණයෙන් මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘තාප්පෙන් පැන්නා’ ටෙලි නිර්මාණය බොහෝ දෙනාගේ විශේෂ කතාබහට ලක්වී ඇත්තේ එය සාමාන්‍ය රසවින්දනයට එහා ගිය ටෙලි නිර්මාණයක් ලෙසිනි. එහි ඇංජලාගේ භූමිකාවට පණ පොවනු ලබන්නේ උදාරි වර්ණකුලසූරියයි. ඇංජලා ඇයගේ පුංචි තිරයේ අභියෝගාත්මකම රංගනය වනු ඇති බවට දැනටමත් ප්‍රතිචාර ලැබෙමින් පවතී. මේ දිනවල අනුරුද්ධ ජයසිංහගේ අලුත්ම සිනමාපටයේ රූගත කිරීම්වල නියැළෙමින් සිටින උදාරී අප හා කතාබහට එක්වූයේද ඇංජලා ගැන කතා කිරීමේ අදහසිනි.


ඔබ මේ දිනවල පුංචි තිරයේ අභියෝගාත්මක රංගනයක නියැළෙනවා. ‘තාප්පෙන් පැන්නා’ මොන වගේ අත්දැකීමක්ද?


‘තාප්පෙන් පැන්නා’ ටෙලි නිර්මාණය ධනංජය සිරිවර්ධනගේ අධ්‍යක්ෂණයක්. චාමර ප්‍රසන්න කොඩිතුවක්කුගේ තිර රචනයක්. නිෂ්පාදනය චාමර සමරවික්‍රම. මං එහි සාමාන්‍ය රංගනයට එහා ගිය අත්දැකීමක් ලබනවා. ඇංජලා කියන්නේ ටිකක් සංකීර්ණ චරිතයක්. මම මේ ධනංජයත් එක්ක වැඩ කරන දෙවැනි අවස්ථාව. මීට කලින් ඔහුගේ නම්බර් 9 ටෙලි නිර්මාණයට සම්බන්ධ වුණා. ධනංජය කියන්නේ ටිකක් වෙනස් විදිහට හිතන, වෙනස් විදිහට ලියන කෙනෙක්. ඇත්තම කිව්වොත් මුලින්ම මටත් මේක ටිකක් අවබෝධ කරගන්න අමාරු වුණා. නමුත් හරවත් නිර්මාණයක්. කතාවේ සාරාංශය ගත්තහම ඒක ඒ විදිහටත් වෙන්න පුළුවන් කියල පිළිගන්න පුළුවන් විදිහට සාධාරණීකරණය වෙනවා. නම සරල වුණාට තාප්පෙන් පැන්නා තිර පිටපත ඇතුළේ තියෙන්නේ සංකීර්ණ කතාවක්.


ඇංජලා අනිවාර්යයෙන්ම ඔබට අභියෝගයක් වෙන්න ඇති?


ඇංජලා කියන්නේ මට පුංචි තිරයේ අභියෝගයක් වුණු චරිතයක් කිව්වොත් හරි. සැහැල්ලු දඟකාර චරිතයෙන් මිදිලා වගකීමක් සහිත බැරෑරුම් චරිතයක් කරන්න ලැබුණු අවස්ථාවක්. කටහඬ පාලනයක් ඇතුව පවත්වාගන්න වුණා වගේම කතා කරන විලාසයේත් වෙනසක් කරන්න උත්සාහ කළ අවස්ථාවක්. ඒ වගේම ඉවසීම කියන භාවය ඒ චරිතය තුළ උපරිමයෙන් දකින්න ලැබෙනවා. ඇය නිහඬයි. අවශ්‍ය දේට විතරයි කතා කරන්නේ. ඒ වගේම ඕනෑම දේකට හරිම උත්තරේ තියෙන්නෙත් ඈ ළඟ. ඇංජලා කියන්නේ ධනංජය නිර්මාණය කරපු චරිතයක්. ඇය එතැනදී ක්‍රියාකරන්නේ ගෝඩ්ගේ කෙයාර් ටේකර් විදිහට. ඒ කියන්නේ ගෝඩ්ව බලාගන්න කෙනා. මෙතන කෙයාර් ටේකර් කියන භූමිකාව ගෝඩ්ගේ බිරියටත් එහා ගිහින් ඔහුගේ ජීවිතය පාලනය කරන්න උත්සාහ කරන චරිතයක් විදිහටත් දකිනවා. ගෝඩ් සහ වීනස් අතර සම්බන්ධයක් ගොඩනඟන්නත් උත්සාහ කරනවා.


ඇංජලා කතා කරන භාෂාවේත් වෙනසක් දකින්න ලැබෙනවා නේද?


අපි සාමාන්‍ය කතාබහේදී භාවිත කරන ස්වරූපයට එහා ගිය සාහිත්‍යමය භාෂාවක්, කාව්‍යමය භාෂාවක් යොදාගෙන තියෙනවා. ඒක එක්තරා පැත්තකින් අභියෝගයක් වුණා. දෙබස් කටපාඩම් කරගෙන ගිරවෙක් වගේ කියනවට වඩා චරිතය හොඳින් අවබෝධ කරගත්තහම දෙබස්වල තියෙන තාත්වික බව වැඩියි කියලයි මට හිතෙන්නේ. මුලදි ටිකක් අපහසු වුණත් චරිතය අවබෝධ කරගනිද්දි ගැටලුවක් නැති වුණා.


ඇංජලාට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කතා කරනවානම්?


මගේ නිර්මාණයක් එන්නේ හරි කලාතුරකින් නිසා බොහෝ දෙනෙක් ‘තාප්පෙන් පැන්නා‘ බලනවා. ඇංජලාටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් අය කියන්නේ කතාව තේරුම් ගන්න ටිකක් අපහසුයි කියන කතාව. තේරුම් ගන්න නම් ඒකට ඇබ්බැහිවෙලාම බලන්න ඕන කියන අදහසත් ප්‍රතිචාරවලින් කියවෙනවා. ඔව්, ඒ කතාව ඇත්තක්. නමුත් මේ වැඩේ සංකීර්ණයි. සාමාන්‍ය ටෙලි නාට්‍යයක් කරනවට වඩා වැඩි වෙලාවක් අරන්, ගොඩක් මහන්සි වෙලා කරපු නිර්මාණයක්.


ඔබ ගැවසෙන පසුතලයේත් ගාම්භීරත්වය පෙන්නුම් කරනවා නේද?


ඔව්. පසුතල නිර්මාණයට ලොකු වෙහෙසක් ගත්තා. ධනංජය ගෝඩ් විදිහටත් මම වීනස් විදිහටත් තමයි රූපණය කෙරෙන්නේ. පසුතලයෙන් නිතරම වීනස් අනුරුවක් පෙන්නන්නේ ඒ නිසා. මේක ටෙලි නිර්මාණයක් වුණාට චිත්‍රපටයක් කරනවා හා සමානවම වෙහෙස මහන්සියක්, වියදමක් දැරුවා. ඇංජලාගේ පසුතලය වගේම ගෝඩ්ගේ ලයිටින් කෙරෙන පරාසය තියෙන සෙට් එක හදන්නම ලොකු වියදමක් ගිහින් තියෙනවා.


ඔබ මීට කලිනුත් ධනංජය එක්ක වැඩ කරලා තියෙනවා. ඔහුගෙන් ලැබුණු සහයෝගය කොහොමද?


ධනංජය කියන්නේ ගොඩක් කැපවීමෙන් සහ ඉවසීමෙන් වැඩ කරන අධ්‍යක්ෂවරයෙක්. ඔහුට හොඳ දැක්මක් තියෙනවා. හැම නළුවාටම අධ්‍යක්ෂවරයෙක් වීමේ හැකියාව නැහැ. නමුත් ධනංජය තුළ ඒ හැකියාව හරියාකාරව පිහිටලා තියෙනවා කියන එක මං දැක්කා. ඔහු අපිව හසුරුවන විදිහට ඔහු හොඳ අධ්‍යක්ෂවරයෙක් කියන එක අපට තේරෙනවා. අධ්‍යක්ෂ භූමිකාවත් එක්කම ගෝඩ්ගේ චරිතය කරනවා කියන්නේ ඔහුට ලොකු අභියෝගයක්. ඒක ලේසි පහසු වැඩක් නොවෙයි. අවශ්‍ය වෙලාව අරන් ඔහු ඒක හරියටම කරනවා වගේම අනෙක් චරිත ගොඩනඟා ගන්නත් ඔහු ලොකු සහායක් දෙනවා.


තාප්පෙන් පැන්නට පස්සේ ඔබව දකින්න ලැබෙන නිර්මාණ මොනවාද?


රනිල් කුලසිංහගේ ‘අවසන් ඡායාරූපය’ කියලා අලුත්ම ටෙලි නිර්මාණයකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒකෙ මුල් පරිච්ඡේද ටික රූගත කරලා ඉවරයි. ඒක තවත් පැත්තකින් විශේෂයි. ඉතාම නුදුරේදී අලුතින්ම පටන් ගන්න ටීවී චැනල් එකක පළමු ටෙලි නිර්මාණය විදිහට තමයි ‘අවසන් ඡායාරූපය‘ විකාශය වෙන්න නියමිතව තියෙන්නේ.




මේ දිනවල සිනමාව පැත්තෙනුත් උදාරිගෙ නම ඇහෙනවා නේද?


සිනමාව පැත්තෙන් මං ආසාවෙන් බලාගෙන හිටිය සතුටුදායකම පණිවුඩය අහන්න ලැබුණා. ‘එකගෙයි සොකරි’ චිත්‍රපටය නොවැම්බර් මාසයේ තිරගත වෙනවා. ඒක තමයි මං අහන්න ආසාවෙන් බලාගෙන හිටිය සුබ පණිවුඩය. මං වගේම තවත් බොහෝ පිරිසක් ජැක්සන් ඇන්තනීගේ ‘එකගෙයි සොකරි’ චිත්‍රපටය බලන්න අවුරුදු ගාණක් මඟබලාගෙන හිටියා. මෙච්චර කල් පරක්කු වෙලා වැඩිද කියලත් හිතෙනවා. නමුත් මේක වෙන්න ඇති ඒකට හොඳම වෙලාව. ඒත් එක්කම ‘දේවි සම්බුලා‘ සහ ‘සම්බුලා‘ කියන චිත්‍රපට ද්විත්වයත් එන්න නියමිතයි. ඊට අමතරව කලණ ගුණසේකර අධ්‍යක්ෂණය කරන අලුත්ම චිත්‍රපටයටත් සම්බන්ධ වුණා. මාත් එක්ක තුමිඳු දොඩම්තැන්න ප්‍රධාන භූමිකාවලින් සම්බන්ධ වෙනවා. මේක කළණගේ දෙවැනි චිත්‍රපට අධ්‍යක්ෂණය. ඔක්තෝබර් මාසයේ ලංකාවේ සහ ඩුබායිවල රූගත කෙරෙනවා.


උදාරි දෙමළ සිනමාවට සම්බන්ධ වුණා කියලත් ආරංචියි?


ඔව්. පහුගිය දවස්වල මට දෙමළ සිනමාපටයකට ආරාධනා ලැබුණා. මේ දිනවල ඒකෙත් රූගතකිරීම් සිදු වෙනවා. ෆිල්ම් එකේ නම ‘ග්‍රේ’. ලී මුරලිගේ අධ්‍යක්ෂණයක්. අධ්‍යක්ෂවරයා ජැෆ්නා ටැමිල් කෙනෙක් වුණත් ප්‍රඩක්ෂන් එක ඉන්දියාවේ. දකුණු ඉන්දියානු රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්කයි මං සම්බන්ධ වෙන්නේ. ග්‍රේ භාෂා හතරකින් නිර්මාණය වෙනවා. රටවල් ගණනාවකම ප්‍රදර්ශනය වෙනවා. මේක කාන්තාවක් මූලික කරගෙන නිපදවන සීරියල් කිලර් (දාම ඝාතක) චිත්‍රපටයක්. මම තමයි ඒකෙ සීරියල් කිලර්. ඒක මට සිනමාවේ වෙනස්ම අත්දැකීමක් වේවි කියලා හිතනවා.


උදාරිගේ දුවත් දැන් ක්ෂේත්‍රයට ඇවිත් කියලා කසුකුසුවක් යනවා. මොකක්ද ඒ කතාව?


ඒක ඇත්ත. මගේ දුව ශෙනාර්යා විජේරත්න ගායිකාවක් විදිහට ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. ඇයට ලස්සනට ගීත ගායනය කරන්න පුළුවන්. ඇය සංගිතය හදාරන ගමන් උසස් අධ්‍යාපන කටයුතුත් කරගෙන යනවා. ඇය ඉන්නේ සිංගප්පූරුවේ. ‘ආයෙත් හමුවෙමු දිනකදී’ කියන ඇගේ අලුත්ම ගීතය රචනා කරන්නේ ඉසුරු වීරසිංහ. තනුව සහ සංගීත අධ්‍යක්ෂණය දක්ෂ, ජනප්‍රිය සංගීතඥයෙක් වන සංඛ දිනෙත්ගේ. මේ වෙද්දි රූප රචනයත් කරලා අවසන්. සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්ම ගීතය ගායනා කළා. මගේ කාර්යබහුලත්වය නිසා තාම රිලීස් කරගන්න බැරි වුණත් ඉතාම ඉක්මනින් රිලීස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


ඒ කියන්නේ ශෙනාර්යා ඉදිරියේදී අපිට දකින්න ලැබෙන්නේ ගායිකාවක් විදිහටද?


ඇයට ගොඩක් කලා හැකියාවන් පිහිටලා තියෙනවා. ඇය ගායිකාවක්. ඒ වගේම චිත්‍ර අඳින්නත් පුළුවන්. ගිටාර් වාදනය, පියානෝ වාදනය ඉතාම හොඳින් පුළුවන්. කනට ඇහෙන ඕනෙම සින්දුවක් පියානෝ එකෙන් වාදනය කිරීමේ හැකියාව තියෙනවා. පේන්ටින් කරනවා. අධ්‍යාපනය පැත්තෙන් ගත්තත් ගොඩක්ම දක්ෂයි. එක වසරේ ඉඳන්ම බෙස්ට් ඉන් පෝග්‍රස් රෝල් මොඩල් ඔෆ් ද ඉයර්. මේ වෙද්දි ප්‍රධාන ශිෂ්‍ය නායිකාව. පහුගිය දවස්වල ඇය ගැන සතුටුදායකම ආරංචියක් අහන්න ලැබුණා. මුළු සිංගප්පුරුවටම සියයට දෙකක් වන ඕල් රවුන්ඩර්ස්ලගෙන් ඇය එක්කෙනෙක්. සිංගප්පූරුවේ අධ්‍යාපන ඇමැති සහ අගමැති අතින් පසුගියදා සම්මාන ලැබූවා. අම්මා කෙනෙක් විදිහට ඒක තමයි මං අහපු සතුටුදායකම ආරංචිය.


ශෙනාර්යා අම්මා වගේ රංගනයට යොමුවෙන්න බලාපොරොත්තුවක් නැද්ද?


ඇයට එහෙම අදහසක් නැහැ. දුව රඟපාන්න ලැජ්ජයි. නමුත් කලාව ඇඟේම තියෙනවා. ඇය ඒක විනෝදාංශයක් විදිහට කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පහුගිය දවස්වල දුවගෙයි මගෙයි ෆොටෝ ෂූට් කිහිපයක්ම කළා. දුව එහෙම දකිද්දි මට හරිම ආඩම්බරයි. ඇය වෙනුවෙන් මහන්සි වුණු එක, කැපවුණු එක අපතේ ගියේ නෑ කියන සතුට දැනෙනවා. දුව මගේ ජීවිතයට ආපු එක මට ආශීර්වාදයක්. හරිම නිදහස් ළමයෙක්. කිසිම දෙයක් කියන්න ඕන නෑ. හැමදේම තනියම කරගන්නවා. හරිම ආදරණීය දරුවෙක්. මම බලාපොරොත්තු වුණෙත් ආදරේම මුල්කරගෙන ඉන්න දරුවෙක්. ඒක ඉෂ්ට වුණා. ඇය හැමෝටම ආදරේ දෙනවා.


අම්මා ජනප්‍රිය රංගන ශිල්පිනියක් කියන එක ඇය වැලඳ ගන්නේ කොහොමද?


අම්මා ප්‍රේක්ෂකයන් ආදරේ කරන චරිතයක් කියන එක ඇයට ආඩම්බරයට කරුණක්. ඇය එය අත්දකින්න ආසයි. හැම වතාවෙම ලංකාවට ආවම ඇය ඒක අත්දකිනවා. ඇය ඒකට හරිම සතුටුයි.


 

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post