සඳක් වාගෙ මුහුණක් තියෙන හැඩකාර ලස්සන සඳනි ජාතික රූපවාහිනියේ අවුරුදු කුමාරි තරගයෙන් දෙවැනි තැන දිනාගත්තේ ‘1970 Love Story’ සිනමා පටය වෙනුවෙන් නිළි වරම් හිමිකර ගනිමින්මයි. මූවි එක හෝල්වලට එන්නත් කලින්ම මේ ලස්සන සිනමා නිළියට ටෙලිනාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබෙනවා.
‘ගමේ ලස්සනම ලේලි’ මියුසික් වීඩියෝවෙන් ඈ හිතුවටත් වඩඩා හිට් වෙනවා. මෑතකදී අවසන් වූ ‘විසේකාරි’ ටෙලියේ ප්‍රෙෆෙසර් චේතියගේ අනියම් පෙම්වතිය විදියට සඳනි කළ රංගනයට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළ මට්ටමක තිබුණා. ඒ කියන්නේ සඳනි ප්‍රනාන්දු ඇගේ ජනප්‍රිය නිළි හීනය ජය අරන් ඉවරයි.
නැහැ, සඳනිගේ හිතේ එහෙම හීන තිබුණේ නැහැ. නිළියන් එක්ක රේස් එකක් දුවන්න, පළමුවැනියා වෙන්න ඇයට ඉලක්ක තිබුණේ නැහැ. සඳනි තමන්ගේ ගමන ගියේ බොහොම හෙමින්. ඒ හෙමින් ගමන තුළ ඈ ලද දේ තුළ අද ඈ සෑහීමකට පත්ව අවසානයි. ඒ වාගෙම තවත් දැවැන්ත නිර්මාණයක් වූ ‘නම්බර් ප්ලේට්’ සිනමා පටයට ගිවිසුම් අස්සන් කරලත් අවසානයි. කරුණු කාරණා ඒ විදියට සිදුවන අතර ඒ වාසනාවන්ත සඳනිට අපි හදවතින්ම ආරාධනා කළා ‘හාට්’ එකට පොඩ්ඩක් ඇවිත් යන්න එන්න කියලා.
කොහොමද සඳනි ඉතින් මේ දවස්වල ජීවිතේ?
ජීවිතේ නම් ඔහේ සුන්දරව හෙමි හෙමින් ගලා යනවා. ඒ අතර පොඩ්ඩක් විතර මං බිසී වෙලා ඉන්නවා කිව්වොත් හරි.
ඒ කියන්නේ අලුත් ටෙලි කිහිපයක ෂූටින් පටන් ගත්තාවත්ද?
නැහැ. ටෙලි නම් මේ දවස්වල භාරගත්තේ නැහැ. මොකද කියනවා නම් අලුත් සිනමා පටයකට මට ආරාධනා ලැබුණා. ඉතින් ෂූටින්වලට ඈත යන්න වෙන නිසා කාලය එක දිගට වැයවෙන නිසා ටෙලි ඩ්‍රාමාස් භාරගත්තේ නැහැ.
අලුත් සිනමා පටය ගැන තොරතුරු ටිකක් කියමුද?
චිත්‍රපටයේ නම ‘නම්බර් ප්ලේට්’. තිර පිටපත සද්ධාමංගල සූරියබණ්ඩාරගේ. එහි අධ්‍යක්ෂ මෙහෙවර සඳහා දායක වෙන්නේ ඔහුගේම පුතා ඉඳුවර සූරියබණ්ඩාරයි. තාත්තයි පුතයි එකට එකතු වෙලා කරන ලස්සන වැඩක් ඒක.
තේමාව ගැනයි කාස්ට් කරන කලාකරුවන් පිරිස ගැනයි විස්තර ටිකකුත් කියමු ඉතින්?
කාස්ට් කරන ප්‍රධානම කලාකරුවන් අතර රන්දික ගුණතිලක, දුෂේනි සිල්වා තමයි දැනට මගේ මතකයේ ඉන්නේ. කතා තේමාව ගැන කියනවා නම් ‘නම්බර් ප්ලේට්’ කියන්නේ ක්‍රයිම්, ත්‍රිලර් සහ ඩිටෙක්ටිව් සිදුවීම් රැගත් චිත්‍රපටයක්. දැනට අපි මෙතැනින් නවතිමු නේද?
හොඳයි. අපි එයට තිත තබමු. හිතන විදියට මේ ඔබේ දෙවැනි සිනමා පටයයි?
ඔව්. පළමුවෙන්න මම නිළියක ලෙස කැමරාව හමුවට ආවේ අරුණ ජයවර්ධනගේ 1970 ලව් ස්ටෝරි සිනමා පටයෙන්. එහි රංගනයෙහි යෙදෙන විට මගේ වයස අවුරුදු 19යි. 2017 අවුරුද්දේ තමයි රූගත කිරීම් ආරම්භ වුණේ. චිත්‍රපටය තිරගත වුණේ 2024 අවුරුද්දේ.
දිගු වසර ගණනක් 1970 ලව් ස්ටෝරි පෝලිමේ තිබුණු හේතුව මොකක්ද සඳනි?
ඒ ගැන නම් මමත් හරියට කියන්න දන්නේ නැහැ. කොහොම නමුත් අවුරුදු 7ක් වැනි දිගු කාලයක් එය තිරගත කිරීමට නොහැකිව තිබුණා.
කොවිඩ් ලොක්ඩවුන් එක ඊට හේතු වුණා වෙන්න බැරිද?
නැහැ. කොවිඩ් ලොක්ඩවුන් එක එයට බාධාවක් වුණා කියලා නිච්චියක් නම් නැහැ. කෙසේ වෙතත් එය තිරගත වුණේ 2024 අවුරුද්දේ.
චිත්‍රපටය එනකොට ඔබ ටෙලිනාට්‍ය තරුවක් වී අවසානයි?
ඔව්. 1970 ලව් ස්ටෝරි චිත්‍රපටය එන්න කලින් මට ටෙලිනාට්‍ය කිහිපයකටම ආරාධනා ආවා. ඒ අතර දැන්වීම්වලටත් පෙනී සිටියා.
‘1970 ලව් ස්ටෝරි’ තිරගත වෙන්න ප්‍රමාද වෙනකොට ඔබ ඒ ගැන ඩිසපොයින්ට් වුණාද?
අයියෝ නැහැ. මට ඒක එහෙම ලොකුවට දැනුණේ නැහැ. අනෙක මට ඩිසපොයින්ට් වෙන්න කාලයක් ආවේ නැහැ කිව්වොත් ඒ උත්තරය තමයි හරියටම හරි යන්නේ. මොකද කියනවා නම් අරුණ ජයවර්ධන කියන ප්‍රවීණයාගේ චිත්‍රපටයේ රංගනයත් සමග මට ටෙලිඩ්‍රාමාවලට වාගෙම කොමර්ෂල්වලටත් කොටුවෙන්න වුණා. විශේෂයෙන් සද්ධාමංගල සූරියබණ්ඩාර, ජයප්‍රකාශ් ශිවගුරුනාදන් වැනි ප්‍රවීණ නිර්මාණකරුවන් යටතේ මට රඟපාන්න ලැබීම ලොකු භාග්‍යයක් වුණා.
ඒ දවස්වල ඔබ නපුරු චරිතවලටත් පෙනීසිටියා?
ඒ දවස්වල විතරක් නෙවෙයි. අදට වුණත් මම නපුරු චරිත භාරගන්නවා. හැමදාමත් පෙම්වතිය හෝ ශුද්ධවන්තියට රඟපාලා එකම තැනට කොටුවෙන්න මම කැමැති නැහැ.
සඳනි ලස්සන නිසාද නිළියක් වෙන්න හිතුවේ?
නැහැ. ඒක අහම්බයක්. ජාතික රූපවාහිනියේ අවුරුදු කුමාරි තරගයෙන් දෙවැනි තැන දින්නට පස්සේ තමයි අරුණ ජයවර්ධන රංගනය සඳහා ආරාධනා කළේ.
ඔබ ඔබට අවැසිව තිබූ තැනට ඇවිදින්ද ඉන්නේ?
මම තැනක් ගැන ටාර්ගට් කරලා තිබුණේ නැහැ. අහවල් තැනට යනවා කියන හීනෙක හිටියෙත් නැහැ. සෙසු නිළියන්ව පහු කරගෙන යන්න, රේස් එකක් දුවන්න මට කවදාවත් ඕනෑකමක් තිබුණේ නැහැ. මම මගේ ගමන මගේ පාඩුවේ බොහොම හෙමින් යනවා. මාව පහුකරගෙන කවුරු ගියත් මට ඒකේ වගකුත් නැහැ. මගේ ගමන මම පාඩුවේ යනවා.
පාඩුවේ යන ඒ ගමන තුළ ඔබ සාර්ථකව ජයග්‍රහණය කළාද?
ප්‍රේක්ෂකයන්ගේ ආදරය තුළින් මම එය අත්දකිනවා. මටයි කියලා මට ආදරය කරන මට ආකර්ෂණය වූ ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. අන්න එතැන ඉඳගෙන මම හිතනවා මගේ හෙමින් ගමන සාර්ථකයි කියලා.
ළඟකදි මියුසික් වීඩියෝ එකක ඔබව දකින්න ලැබුණේ නැහැ?
ඔව්. මහේෂ් සංජයගේ ලස්සන මියුසික් වීඩියෝ එකෙන් පසුව මෑතකදී අලුත් නිර්මාණයක් කරන්න බැරි වුණා. යම් අවශ්‍යතාවන් සඳහා විටින් විට විදේශත වීමට සිදුවූ නිසා පසුගිය දවස්වල කාර්යබහුලව සිටි නිසා බොහෝ විට යම් කලා නිර්මාණවලට මගේ දායකත්වය ලබාදෙන්න බැරි වුණා. ඒ අතර ටෙලි නිර්මාණද තිබුණා.
මගහැරී ගිය එවැනි යම් අවස්ථා ගැන පසුතැවීමක් නැද්ද?
පසුතැවීම් නැත්තෙම නැහැ. ඒත් ඉතින් අපි යමක් මගහරින්නේ තවත් යමක් ලබාගන්නනේ. ඒ නිසා ඒ සමහර අහිමිවීම් ගැන දුක් නොවී අපට ලැබෙන දේ දිහා බලලා සතුටු වෙන්න පුළුවන්.
ඔබට යම් සීමාවන් තියෙනවා. ඒ සීමාවන් නිසා යම් ටෙලි නිර්මාණ රිජෙක්ට් වෙනවා?
ඔව්. අපි හැමෝටම යම් සීමාවන් තිබිය යුතුයි. ඒ සීමාවන් අප ඇතිකර ගන්නේ අපේ පරිස්සම, අපිව සහ අපේ හොඳ නම රැකගන්න ඕනේ නිසා. මොන වගේ නිර්මාණයක් වුණත් ඒ සීමාව තුළ රිජෙක්ට් වෙන එක සාමාන්‍ය දෙයක්.
ඔබට යම් සීමාවන් පැනවීම සඳහා පියත් බලය අතට ගන්නා අවස්ථා තියෙනවද?
නැහැ. පියත් මට කිසිම බලපෑමක් කරන්නේ නැහැ. මගේ සීමාව මම දන්නා බව ඔහු දන්න නිසා මට නීති දාන්න ඔහුට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දෙන්නා බොහොම හොඳින් අපිව තේරුම් අරගෙන ඉන්න නිසා සීමාවන් ගැන ප්‍රශ්න කවදාවත් අපි අතරට එන්නෙත් නැහැ.
මල්මි කෞෂල්‍යා