ලංකාවේ පොප් අහන ගමේ රසිකයන්ට රොක් සංගීතය කියන්නේ දැනෙන දෙයක් බව ප්‍රහර්ෂයට පත්කළේ ඔහුයි. ඔය ඇස් කතා කරනවා, සඳවන් රූවින්, තරහක් නෑ අදත්, වඩින්න දේවතාවි, තනිවී උන්නා නම් වැනි ජනප්‍රිය ගීත තුළින් රසික හදවත් තුළ නොමැකෙන මතක සටහන් තැබූ ඔහු, ගායනයට පමණක් සීමා නොවී හඬකැවීම් ක්ෂේත්‍රය තුළද සිය දක්ෂතාව පෙන්නුම් කළා. ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ ‘මිනි පහන ඔබයි’ ඉන්දියානු ටෙලිනාට්‍යයේ ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳගත් සිකන්දර් සිං ගිල් චරිතයට සිය හඬ මුසුකරන්නේද ඔහුයි. ගීතයෙන් ගීතයට සිය හඬින් රසිකයන් සමීප කරගනිමින්, හඬකින් චරිතයකට ජීවය දෙමින්, තමන්ටම අනන්‍ය වූ ගමනක් නිර්මාණය කරගත් ඔහු ජනප්‍රිය ගායන ශිල්පී හර්ෂ ධනෝෂ්ය. මේ ඔහු සමග ‘මව්රට’ ‘හාට්’ කළ කතාබහයි.
හර්ෂ, ලංකාවේ සිකන්දර් සිං ගිල් ඉතින් කොහොමද?
මගේ ජීවිතේ පළමුවැනි වතාවට හඬකැවීම් ශිල්පියෙක් විදිහට ඩබින් කරන්න හම්බවුණා ටීවී දෙරණ නාලිකාවේ විකාශය වුණු ‘මිණි පහන ඔබයි’ ඉන්දියානු නාට්‍යයේ සිකන්දර් සිං ගිල් චරිතයට. නාට්‍යයේ ඒ චරිතයට වොයිස් කළේ සහ නාට්‍යයේ ගීත ගායනය කළේ මම. අවුරුදු දෙකහමාරක කාලයක් පුරා නාට්‍යයේ වැඩකටයුතු කළා. අදටත් ඒ නම කියලා කතාකරන අය ඉන්නවා. ෆේස්බුක් එකේ කමෙන්ට්වල පවා සමහරු මේ සිකන්දර් සිං ගිල් නේද අපිට තවමත් මතකයි කියලා කමෙන්ට් කරන අය ඉන්නවා. ඒ චරිතය ඒ දවස්වල ගොඩක් ප්‍රසිද්ධ වුණා.
මේ දවස්වල මොකද වෙන්නේ?
තිළිණ බොරලැස්ස අධ්‍යක්ෂණය කළ ‘මං හොයන්නේ ප්‍රේමයක්’ චිත්‍රපටයේ ගීත ගායනා කළා. මේ දවස්වල එහි ප්‍රවර්ධන වැඩකටයුතු කරගෙන යනවා. ඉදිරියේදී ඊ.ඒ.පී. සිනමාශාලාවලින් චිත්‍රපටය බලන්න පුළුවන්.
ගායකයෙක් විදිහට ඔබ මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 26ක් පමණ වෙනවා. ඔබේ ගීතවලින් වැඩියෙන්ම ප්‍රේක්ෂකයන් අතරට ගියපු ගීතය මොකක්ද?
ඩී්‍රම් ස්ටාර් තරගය ඉවර වෙලා දෙරණේ ලක්සිරි මහතා මට ගීතයක් හදලා දෙන්න කියලා ඒකට තෝර ගත්තේ ගිහාන්ව. ගිහාන් තමයි මගේ පළවෙනි ගීතය ‘පින්තාරු පෙම්වතිය’ මගේ රොක් සෝන්ග් එක ලියුවේ. මියුසික් කළේ චතුරංගන ද සිල්වා. නමුත් රසිකයන් අතරට ගිය මුල්ම ගීතය වුණේ චන්දන වල්පොල අයියා ලියපු රේණු මියුසික් කළ තරහක් නෑ අදත් ගීතය. ඉන් පස්සේ ශ්‍යාම්ගේ පොදු ඩ්‍රාමා එකෙ නිමේෂ් කුලසිංහ මියුසික් කරපු තරින්ද කසුන් ජයවර්ධන ලියූ ඇස් කතා කරනවා ගීතය.
ඩී්‍රම් ස්‍ටාර් ගැන මතක් නොකරම බැහැ?
ඩී්‍රම් ස්ටාර් සීසන් 3දී මම 250න් පමණ අයින් වුණා. සීසන් 4දී 73 දක්වා ආවා. 2014දී ඩී්‍රම් ස්ටාර් සීසන් 5දී හයවැනි තැන දක්වා ආවා. ඊට කලින් රියැලිටි තරග ගොඩකට ගිහින් තියෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ දෙරණ නාලිකාව දක්ෂයින් කිසි කෙනෙක් මගහරින්නේ නැහැ. ඒක මම වගකීමෙන් කියනවා. දක්ෂයන්ව ඒ අයගේ පාත් එකට යොමුකරලා ඒ අයව ඉදිරියට අරන් යන්න ලොකු සපෝර්ට් එකක් ටීවී දෙරණ සහ එෆ්.එම්. දෙරණ දෙනවා. මියුසික්ම තමයි මගේ ජීවිතේ වුණේ. මට හැමෝටම දෙන්න ඕනෙ මැසේජ් එක තමයි ජීවිතේ ඉලක්කයක් හදාගෙන ඒ වෙනුවෙන් වැඩකරන්න, එතකොට දිනන්න පුළුවන් කියන එක.
ඔබේ ගීතයක් රසිකයන් අතරට ගියාම දැනෙන හැඟීම?
ඇත්තටම ලොකු සතුටක්. ගීතයක් ජනප්‍රිය වෙන්න පදරචනය, සංගීතය සහ ගායකයාගේ කටහඬ කියන ත්‍රිත්වයේම හරිම ආර්ට් එක එළියට ආ යුතුයි.එතකොට තමයි ගීතයක් හිට් වෙන්නේ. ඒ සතුට මට විතරක් නෙමෙයි අපි තුන් දෙනාටම පොදුයි.
හර්ෂ, ලංකාවේ කොපිරයිට් සම්බන්ධව ඔබ දරන්නේ මොන වගේ අදහසක්ද?
කලින් කිව්වා වගේම ගායකයා, පදරචකයා සහ සංගීතවත් කරන කෙනා තමයි ගීතයක් නිර්මාණය කරන්නේ. එතකොට ඒ අයිතිය හා ගෞරවය තුන්දෙනාටම හිමිවිය යුතුයි. දැන් ගිවිසුමක් එක්ක යන ක්‍රමය හොඳයි. මේක කලින් වියයුතුව තිබුණු දෙයක්. වෙන රටවල මේක හරියට ක්‍රමානුකූලව හා නීත්‍යනුකූලව කරගෙන යනවා. ඉතින් දැන් මේ ක්‍රමයට අපි හැඩගැහෙන්න ඕනෙ.
වසර අවසානයට කලින් රසිකයන්ට අලුත් නිර්මාණයක් අහන්න පුළුවන් වෙයිද?
වෙනස්ම විදිහේ වැඩක් විදිහට ආර්යන්ස් ප්‍රඩක්ෂන් එකෙන් කරපු හසිත විතානගේ ලියපු ඩී මාස් මියුසික් කරපු ‘පාන හිත’ ගීතය ඉදිරියට රිලීස් වෙන්න තියෙනවා. ඊට අමතරව මංජු ශ්‍රී මියුසික් කරපු කසුන් නාගහතොට ලියපු ‘ආදරේ පෙත්ත’ කියලා රෙගේ සෝන්ග් එකකුත් එන්න තියෙනවා.
රංගනයෙන් ඔබට පුංචි තිරයට හෝ සිනමාවට අවස්ථා ආවද?
අවස්ථා හම්බවුණත් ඒ කාලේ බාරගත්තේ නැහැ. නමුත් මට හිතෙනවා මට දැන් පුළුවන් වෙයි කියලා. එකපාරක් මම මේ ඉන්න විදියටම පැරලල් යන චරිතයක් ලැබුණොත් කරන්න කැමැතියි.
හර්ෂ, ෆැෂන් කියන දේ ආටිස්ට් කෙනෙක්ට මොන තරම් වැදගත්ද?
ආටිස්ට් කෙනෙක් කියන්නේ සමාජයේ කැපීපෙනෙන කෙනෙක්. ෆැෂන් කියන්නේ ආටිස්ට් කෙනෙක්ට ගොඩක් වැදගත් දෙයක් නිසා හෙයා ස්ටයිල් එකේ ඉඳලා පලඳින සපත්තු දෙක දක්වා තමන්ගේ පෙනුම ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ.
ආටිස්ට් කෙනෙක් සමාජයට වෙනමම අයිකන් එකක්. ඔහු වටා ෆලෝවර්ස්ලා ගොඩක් ඉන්නවා. ඔවුන් ආටිස්ට් කෙනාව ෆලෝ කරමින් විවිධ දේවල් ඉගෙන ගන්නවා. ඒ නිසා තමන් කැමැති ස්ටයිල් එක තුළ, තමන්ගේ ආත්ම ගරුත්වයත් රැකගෙන, ෆැෂන් කරන්න ආටිස්ට් කෙනෙක්ට ඕනෑ තරම් නිදහස තියෙනවා.
ආටිස්ට් කෙනෙක්ව මැනේජර් කෙනෙක් හරහා සම්බන්ධ කරගැනීම ආටිස්ට් කෙනෙක්ට පහසුවක්ද?
ඔව්. ආටිස්ට්ට පුළුවන් එතකොට තම කලා කටයුතුවලට සම්පූර්ණ අවධානය දෙන්න. මැනේජර් කෙනෙක්ට පුළුවන් මැනේජ්මන්ට් පැත්ත සම්පූර්ණයෙන්ම බලලා ලොකු සපෝර්ට් එකක් ආටිස්ට්ට දෙන්න.
හර්ෂටත් ඉන්නවාද මැනේජර් කෙනෙක්?
මම තමයි මගේ මැනේජර්.
ගායකයකු විදිහට ඔබ මුහුණ දුන් අසීරු අවස්ථා තිබුණාද?
මොන තරම් අසීරු අවස්ථා ආවත් එක්ස්පීරීයන්ස් එක්ක ඒවා මැනේජ් කිරීමේ හැකියාව මට තියෙනවා. සමහර ගීත එක්ක හැඟීම්බර වීම නිසා වෙලාවකට මගේ පාලනය නැතුව යනවා. ආටිස්ට්ලා කියන්නේ සංවේදී මිනිස්සුනේ. නමුත් ආටිස්ට් කෙනෙක් වුණාම ස්ටේජ් එකට නැග්ගාම හරියට රාජකාරිය කරන්න ඕනෙ. හිත දැඩි කරගන්න ඕනෙ. මගේ හිත නම් දැන් මම කොන්ක්‍රීට් කරලා තියෙන්නේ. මගේ ළඟ නෙගටිව් දේවල් නැහැ. මාව වට්ටවන්නවත් රිද්දවන්නවත් මට තුවාල කරන්නවත් බැහැ. මම ඉස්සරහට යන කෙනෙක්. එක සිතුවිල්ලකින්වත් මම පසුපසට යන්නේ නැහැ. මට ජීවිතයේ ඉල්ලකයක් තියෙනවා. මම ඉමෝෂනලි ගොඩක් ඩැමේජ් වුණු අයෙක්. මගේ දරුවන් මගේ ළඟ නැති එක ගැන ගොඩක් පසුතැවෙනවා සහ ඒ අය වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න ලෑස්තියි. පුතාලා දෙන්නා නිසා මම මේ තැන මෙහෙම ඉන්නෙත්. ඒ දෙන්නා වෙනුවෙන් කරන්න ඕනෙ දේවල් ඉක්මනින්ම දවසක කරනවා.
හර්ෂට ජීවිතේ සිදුවුණු ලොකුම අසාධාරණය මොකක්ද?
මට ජීවිතේ වුණු ලොකුම අසාධාරණය තමයි මගේ දරුවන්ගෙන් මාව වෙන්කළ එක. ඒ ගැන මම කාටවත් චෝදනා කරන්නේ නැහැ. මම කර්මය විශ්වාස කරන කෙනෙක්. කවදාහරි දවසක කැරකිලා මගේ චාන්ස් එක එයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මම කාටවත් හිංසා කරන්නවත්, කාගෙන්වත් පලිගන්නවත් යන්නේ නැහැ.
හර්ෂ, අපි දැකලා තියෙනවා ඔබ සමහර වෙලාවට කුරුල්ලන් නිදහස් කරන අවස්ථා සමාජ මාධ්‍යයට මුදාහරිනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවද?
ඔව්. අපි හැමෝම නිදහසට කැමැතියි. මම කරන දේවල්වලින් සමාජ මාධ්‍යයට දාන්නේ ඉතා සුළු ප්‍රමාණයක් විතරයි. මම කරන දේවල් දැකලා තවත් කෙනෙක් ඒ දේවල්වලට නැඹුරු වෙයි කියලා මට බලාපොරොත්තුවක් තියෙනවා. මේ සතුන් කූඩුවෙන් නිදහස් වෙලා යනවා වගේම, මේ අයත් සංසාරයෙන් නිදහස් විය යුතුයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ අය නිදහස් කිරීමෙන් ලැබෙන පිනෙන් අපිත් සංසාරයෙන් නිදහස් විය යුතුයි කියලා මම ඒ හැම අවස්ථාවකම ප්‍රාර්ථනා කරනවා.
හර්ෂ, ඔබ බෞද්ධාගමිකයෙක්ද නැත්නම් කතෝලික භක්තිකයෙක්ද?
මගේ ගම නුවර කුණ්ඩසාලේ. මම උපතින් බෞද්ධයෙක්. මම හැදෙන්නේ බෞද්ධ පරිසරයක හරිම මුරණ්ඩු කෙනෙක් විදිහට. ඒත් මම පොඩි කාලේ ඉඳන්ම බණ අහනවා. මම මොන වැඩක හිටියත් රේඩියෝ එකේ බණ ඇහුණම හැම දේම නතර කරලා ඇවිත් ඉඳගෙන බණ අහනවා. ඒක සංසාරික පුරුද්දක් වෙන්න ඇති. ඒක අපේ ගෙදර අයටත් පුදුමයි. මම බෞද්ධ දර්ශනයේ සමහර දේවල් ප්‍රායෝගිකව මගේ ජීවිතයට එකතු කරගත්තා. ප්‍රශ්නයක් වුණත් දුර තියා හඳුනාගෙන ඉන් වැළකෙන විදිහට මම වැඩ කරලා තියෙනවා. ඒ සමකාලීනව මට ජේසුස් එක්කත් ගනුදෙනුවක් තිබුණා. ඒක කොහෙන් ආවාද කියන එක මම දන්නේ නැහැ. අදටත් මම ජේසු විශ්වාස කරනවා සහ මම අදහන දෙවිවරු කොටසක් ඉන්නවා. පසුගිය කාලයේ මම මානසික වැටිලා ඉන්නකොට මාව යථා තත්ත්වයට ගේන්න ඒ හැමදෙනාම මට උදව් වුණා. මම බය නැතුව කියනවා දෙවියෝ ඉන්නවා කියන එක.
අවසාන වශයෙන් සමාජයේ මිනිසුන්ට ඔබ ලබාදෙන්න කැමැති පණිවුඩය?
මිනිස්සු බොහෝ වෙලාවට තමන් ළඟ තියෙන දේවල් ගැන නොසිතා, නැති දේවල් ගැන හිතලා දුක් වෙනවා. ජීවිතයේ සිහිනයක් තිබිය යුතුයි, ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කළ යුතුයි. ඒත් ඒ ගමන අතරේ තමන් ළඟ තියෙන දේවල් අගය කරලා සතුටින් ජීවත් වෙන්නත් අපි ඉගෙනගන්න ඕනේ.
අද ලෝකයේ රෝගවලින් පීඩා විඳින, නිවාස නැති, කෑමක් හෝ වතුර පොදක්වත් නැති මිනිස්සු කොච්චර ඉන්නවද? දවසට කොච්චර දෙනෙක් මියයනවද? අපි ඒ දේවල් ගැන නොසිතා අතීතය ගැන හෝ අනාගතය ගැන හිතමින් වර්තමානය මගහරිනවා. ඒ නිසා මට කියන්න තියෙන්නේ, මේ දුවන දිවිල්ල ටිකකට නතර කරලා සන්සුන් වෙලා වටපිටාව දිහා බලන්න කියලයි. ජීවත් වෙනවා කියන්නේ ලෝකයට ණය වෙලා, ප්‍රශ්නවලට යටවෙලා මැරි මැරී ජීවත් වෙන එක නෙමෙයි. තමන්ගේ හැකියාව හඳුනාගෙන, තමන් වෙන්න උත්සාහ කරමින් මධ්‍යස්ථ ජීවිතයක් ගතකිරීමයි වැදගත්. මමත් ඒ වෙනුවෙන් උත්සාහ කරමින් ඉන්නවා.
ස්ටෙෆනි කොතලාවල