කාලෙකට පස්සේ සමින්දි ලෙසින් එන හර්ෂි අංජුමාලා

gossiplanka image 1
 

හර්ෂි අංජුමාලා කියන්නේ ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක්. නර්තන ශිල්පිනියක්. ඒ වගේම නිවේදිකාවක් සහ හඬකැවීම් ශිල්පිනියක්. පසුගිය කාලේ නම් හර්ෂි අංජුමාලා හිටියේ විදෙස්ගතව. කාලයකට පසුව ලංකාවට ආව හර්ෂි අංජුමාලා මේ දිනවල රූපවාහිනියෙන් ද දැක ගන්න ලැබෙනවා. ඒ ‘අමුතු සංක්‍රාන්තිය‘ ටෙලි නාට්‍යයෙ සමින්දී ලෙසින්. කාලයකට පසුව ප්‍රේක්ෂකයන් අතරට එන හර්ෂි අංජුමාලා සමඟ කළ කතාබහකි මේ.


දිගු කලකට පසු නැවතත් ලංකාවේ ප්‍රේක්ෂකයන් අතරට රංගනයෙන් පැමිණීමට ලැබීම ගැන මොකද හිතෙන්නේ?


අවුරුදු 4කට පස්සේ තමයි මම ටෙලි නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ. ලංකාවට ආවම ටෙලි නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලොකු ආසාවකින් හිටියේ. ඒ හීනේ හැබෑ වුණේ මේ සැරේ ලංකාවට ආවට පස්සේ. අවුරුදු 4ක් කියන්නේ ලොකු කාලයක්. ඒ ලොකු කාලය එක්ක මම මේ නාට්‍යයකට සම්බන්ධ වෙන්නේ හොඳම කාලයක. ඒ ගැන මට ලොකු සතුටක් තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ, ලංකාවට ඇවිත් නිර්මාණයක් කරන්න ඕනේ කියන ආසාව ඇති වුණා. එහෙ ඉන්නකොට මට නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. මිහිර සිරිතිලක අයියාගෙන්, තිළිණ බොරලැස්ස අයියාගෙන් සහ ලක්ෂාන් අයියාගෙන් මට ආරාධනා ලැබුණා. නමුත් මට ඒවාට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒ ගැන මට හරි කනගාටුයි. කොහොම වුණත් මම මේ සැරේ ලංකාවට ආවේ වැඩිපුර කාලයක් ලංකාවේ ගත කරන්න සහ ඒ කාලය තුළ නිර්මාණවලට යොමු වෙන්න බලාගෙන.


මේ දිනවල ප්‍රේක්ෂකයින්ට ඔබව දැකගන්න ලැබෙන අලුත්ම නිර්මාණය සහ එහි ඔබේ චරිතය ගැන මුලින්ම කිව්වොත්?


ජාතික නාළිකාවේ විකාශය වන ‘අමුතු සංක්‍රාන්තිය‘ ටෙලි නාට්‍යයෙන්. අධ්‍යක්ෂණය කපිල සමරකෝන් අයියාගේ. මට මේකට අවස්ථාව ලැබෙන්නෙත් මේ ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වෙන ශාන්ත සොයියා සර් හරහා. ඒ වගේම කපිල සමරකෝන් අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායමේ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා මාව මේ වැඩේට සම්බන්ධ කර ගත්තට. අවුරුදු 4කට පස්සේ නැවත රඟපාද්දි දැනුණේ ආයෙම මුල ඉඳන් වැඩ කරන හැඟීම. සමින්දි නැමති ප්‍රධාන චරිතයක් මට ලැබුණේ. චානුක අයියා එක්ක තමයි රඟපාන්න තියෙන්නේ. මේ කතාවේ දී ගොඩක් ප්‍රවීණ රංගන ශිල්පින් ශිල්පිනියන් එක්ක වැඩ කරන්න ලැබෙනවා. ජාතික රූපවාහිනියේ ‘සකල ගුරු‘ හි රෝෂිණිට පස්සේ ප්‍රේක්ෂකයන් අතරට එන චරිතය.


කාලයකට පසු කැමරාවක් ඉදිරියට එද්දී මුහුණ දුන් අභියෝග හෝ දැනුණු වෙනස මොන වගේද?


පළවැනිම දවසේ ෂූටින් යද්දී ඒ පරිසරය එක්ක මුලින්ම හැඩගැහුණා. එදා මට දැනුණේ මම මුලින්ම රඟපාන්න ගිය දවසේ දැනුණු හැඟීමමයි. සමින්දි කියන චරිතය ගැන මම අධ්‍යක්ෂ කපිල අයියා එක්ක සෑහෙන්න කතා කළා. මට ඕනේ වුණේ මගේ උපරිමය කරන්න. මට මුල්ම රූපගත කිරීම කරන්න වුණේ රොෂාන් පිලපිටිය අයියා, උමයංගනා අක්කා සහ නිරෝෂා අක්කා වගේ ප්‍රවීණයන් එක්ක. ඒ දවස කවදාවත් මට අමතක වෙන්නේ නැති දවසක්.


විවාහයෙන් පස්සේ ඔස්ට්‍රේලියාවේ ගත කරපු කාලය මොන වගේද?


ඔස්ට්‍රේලියාවේ ජිවිතේ සහ මෙහෙ ජිවිතේ මට දැනෙන විදියට හරිම වෙනස්. එහේ ජිවිතේ මම ගත කරන්නේ මගේ සැමියා එක්ක. ඒ ජීවිතේටත් මම ගොඩක් ආසයි. ලංකාවේ ගොඩක්ම වැඩ කරන කාලේ ඔස්ට්‍රේලියාවට යන්න වුණාම මට තිබුණු එකම දේ තමයි නිකම් ඉන්න බැරිකම. එතකොට තමයි මම ඩාන්සින් ක්ලාස් පටන් ගත්තේ. මම වෙනුවෙන් මම දෙයක් කරන්න ඕනේ කියලා මටම හිතුණා. සමාජ මාධ්‍ය හරහා මගේ නර්තනයට ආදරේ කරන අය එකතු වුණා. ඉන්ස්ට්‍රග්‍රෑම් හරහා ඉන්දියාවෙන් ලොකු පිරිසක් එකතු වුණා. ඒ දේ මට වාසි දායක දෙයක් වුණා.


එහේ ඉදිද්දී ලංකාවේ කලාව, යාළුවෝ මඟ හැරුණේ නැද්ද?


එහේ ඉන්නකොට මෙහෙ නිර්මාණවලට මගේ දායකත්වය අඩු වුණා. හැබැයි මෙහෙ නිර්මාණ එහෙට අරන් ආවම ඒ දේවල් බලන්න යන්න පුරුදු වුණා. ‘යක්කු බොලව්‘ කියලා සහන් රන්වල සර්ගේ ලස්සන ප්‍රසංගයක් තිබ්බා. මම කරන්නේ මට වේලාව තියෙන වෙලාවට ඒ දේවල් බලනවා. ඒ හරහා මම කලාව කියන දේ සහ අපේ ශිල්පීන් එක්ක යම් තාක් දුරකට සමීප වුණා. ඒ එක්කම මට ඕනේ වුණා එහේ රැකියාවක් කරන්න. ඒ නිසා මම Early Childhood Education පැත්තෙන් ඉගෙන ගත්තා. නැවත මට එහෙ ගියත් ඒ පැත්තෙන් රැකියාවක් කරන්න අවශ්‍ය කරන සුදුසුකම් මට තියෙනවා.


ඔබ නැවත ලංකාවට ඇවිත් රංගන කටයුතු ආරම්භ කරද්දී ස්වාමිපුරුෂයාගෙන් සහ පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කෙබඳු ද?


මෙවර ලංකාවට ඇවිත් වැඩ කරන්න ලොකුම සහයෝගය ලැබුණේ මගේ සැමියා අම්ජුගෙන්. මම එයා එක්ක නිතරම මේ ගැන කතා කරනවා. එයා හැමවෙලාවේම කිව්වේ පටන් ගත්ත පාඨමාලාව අවසන් කරලා ලංකාවට යන්න. එතකොට ඔළුව නිදහසේ තියාගෙන වැඩක් කරන්න පුළුවන් කියලා. එයා තමයි මට කිව්වේ ඔයාට ආස කාලේදී ආස දේ කරන්න කියලා. මගේ දක්ෂතා එක්ක වැඩ කරන්න අවශ්‍ය කරන නිදහස ලබා දුන්නේ මගෙ සැමියා.


අම්මත් එක්ක ශූට් එකක් කරන්න හිතුවෙ ඇයි?


මම ලංකාවට එනවා කිව්වාම අම්මා මට කිය කියා හිටියේ ෂූට් එකක් කරමු කියලා. මිට අවුරුදු පහ හයකටත් කලිනුත් එකක් කළා. ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. මගේ උපන් දිනය අගෝස්තු 12. අම්මගේ උපන් දිනය 13. ඒ නිසා මේ සැරේ අපි අම්මාගේ උපන් දිනය දවසේ ඇයත් එක්ක ෆොටෝ ෂූට් එකක් කළා.



ඡායාරූප- ප්‍රශාත් වීරසිංහ

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post