උරුවිසි නාට්‍යයේ රාජ කුමාරිගේ බාල පුතු සුරේෂ් -ඕදාත හංසක

gossiplanka image 1
රංගන ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ ගමනක් යන්නට සමත් වූ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියකු ලෙස ඕදාත හංසක හැඳින්විය හැකියි. කලා දිවියේ තවත් සුවිශේෂී මංසලකුණු සනිටුහන් කරමින්, ‘උරුවිසි’ නව නිෂ්පාදනය හරහා ඔහු මේ දිනවල ප්‍රේක්ෂකයන් හමුවට පැමිණ සිටී.


අදින් වසර 40කට පෙර එනම් 1986 වසරේ දී ඩී. කීරගලආරච්චි වේදිකාවට දායාද කරන ලද ‘උරුවිසි’ වේදිකා නාට්‍යය, ප්‍රවීණ රංගන ශිල්පිනී වීණා ජයකොඩිගේ මූලිකත්වයෙන් යළිත් නිෂ්පාදනය වී මේ දිනවල වේදිකාගත වේ. එහි රාජකුමාරිගේ බාල පුතු ‘සුරේෂ්’ ලෙස රඟන්නේ ඕදාතයි.


“වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය තුළ උරුවිසි නාට්‍යය හරහා ලබන අත්දැකීම් සහ පුහුණුව මගේ සිනමා හා ටෙලිනාට්‍ය රංගනයන් ඔපවත් කිරීමට විශාල දායකත්වයක් ලබා දෙනවා. කැමරාවක් ඉදිරිපිට රූප රාමුවෙන් රූප රාමුවට රූගත කරන්නේ. මොකක් හරිම වැරදුණොත් නැවතත් රූපගත කරන්නට පුළුවන්. වේදිකාව ඊට හාත්පසින්ම වෙනස්. අපි දෙබස් කියන්නේ ප්‍රේක්ෂකයන් ඉදිරියේ. අපි කියන දේවල් වරදින්න බැහැ. දෙබස් මතක තබා ගන්න ඕන. සුරේෂ්ගේ චරිතය රඟපා තිබුණේ කැළුම් විජේසූරිය අයියා. ඊටත් පෙර තවත් රංගන ශිල්පීන් රඟ දක්වලා තිබෙනවා.”


දැවැන්ත රංගන ශිල්පීන් කිහිපදෙනකු සමඟින් ‘උරුවිසි’ හා එක්වන්නට ඕදාතට අවස්ථාව ලැබෙනුයේ මාලි ජයවීරගේ ආරාධනයෙනි. ඒ හිරු නාළිකාවේ විකාශය වන ‘ඔබ එන්න ඇවිත් යන්න’ රඟද්දි ඔහුගේ ආච්චි ලෙස පෙනී සිටින්නේ මාලි ජයවීරයි. ඉන් පෙර වේදිකාවේ අත්දැකීම් නොලද ඕදාත මෙම චරිතය භාරගෙන ඇත්තේ තරමක චකිතයකිනි. නමුදු ඕදාත විසින් මාලි ජයවීරගේ ආරාධනාව ඉතාම සතුටින් භාර ගත්තේ ඉන් ලබන පන්නරය තම කලා ජීවිතයට බොහෝ වටිනා බැවිනි.


නර්තනයේ විවිධ ඉසව් සොයා යමින් එහි දස්කම් පාන ඕදාත වෙස් බැන්දේ පාසල් වියේදීමයි. මොරටුව වේල්ස් කුමර විදුහලෙන් හා කොළඹ ආනන්ද විදුහලෙන් සිප්සතර හදාරද්දී නර්තනයේ විවිධ ඉසව් සොයා ගියත් රංගනය ඔහුට ආධුනික විය.


සමාජ මාධ්‍ය හරහා ‘කහ ෂර්ට්‘එක නිසා බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වී, පසුව මෙරට දැවැන්තම රූපවාහිනී තරගාවලියක් වන ‘හිරු අවුරුදු කුමරා‘ තරගයේ දෙවැනි ස්ථානය දිනාගනිමින් තම ජයග්‍රහණය සනිටුහන් කරන්නට ඕදාත හංසකට ලැබෙන අවස්ථාව හරිම සුවිශේෂියි.


නමේ තේරුම සුදු පැහැය වූවාට ඕදාත වැඩියෙන්ම ජනප්‍රිය වුයේ කහ ෂර්ට් එක නිසයි. පැවිද්දෙකුව සිටින ලොකු තාත්තා ‘ඕදාත’ යන නම ඔහුට දැමීය.


හිරු අවුරුදු කුමරා තරගයට ඕදාත ඉල්ලුම් කරන්නේ 2024 වසරේදීය. එහිදී ඔහුට හිමිවන්නේ දෙවැනි ස්ථානයයි.


“මම නර්තනය හදාරන්නේ ඔෂාන් ලියනගේ සර්ගෙන්. ඒ වෙද්දි අපේ පන්තියෙන් කළ නර්තන අංගයක් අප්‍රේල් 9 වගේ දවසකදී යූටියුබ් එකේ සෑහෙන්න ජනප්‍රිය වෙනවා. ඒ තමයි කහපාට ෂර්ට් එකේ වීඩියෝව.


මේ වීඩියෝව සමාජ මාධ්‍යවල හොඳින් වයිරල් වුණු නිසා මට හොඳ ප්‍රතිචාර ලැබෙන්න පටන් ගන්නවා. ඉන්පසු අප්‍රේල් 14 දා හිරු අවුරුදු කුමරා තරගය විකාශය වෙලා මම දෙවැනි ස්ථානය ලැබුවත් වැඩිම ප්‍රතිචාර ලැබෙන්නේ මට.”


ඕදාත ලැබූ ඒ ජයග්‍රහණයත් සමඟින් ඔහුට හිරු ටී.වී. හි විකාශය වන ‘ඔබ එන්න ඇවිත් යන්න’ නාට්‍යයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබේ. හිරු මෙගා ස්ටාර් නර්තන තරගාවලියෙදි ඔහු නර්තනයේ යෙදෙන්නේ සංජනා ගමාච්චි සමඟයි. උදයකාන්ත වර්ණසූරියගේ ‘මේඝ වර්ෂා’ හි උප ප්‍රධාන චරිතයක් රඟන ඔහු මියුසික් වීඩියෝ කිහිපයකටම එක්වී ඇත. තමාගේ ස්වරූපය එහෙම පිටින් ම වෙනස් කළ රසික සිත්හි හැමදාමත් ජීවත් විය හැකි චරිත රඟ දක්වන්නට ඕදාත නොතිත් ආශාවකින් සිටියි.


ඕදාත වෘත්තියෙන් භෞත චිකිත්සක ක්ෂේත්‍රයට අදාළව කටයුතු කරන කෙනෙකි, ක්‍රීඩා සම්බාහකවරයෙකි, ඇරොබික්ස් උපදේශකවරයෙනි. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් හදාරා පසුව ඔස්ට්‍රේලියාවට ගොස් ඒ පිළිබඳ වැඩිදුර හදාරා ඇත.


” හැමවිටම ප්‍රවීණයන් ඇසුරු කරමින් ඔවු⁣න්ගෙන් ගුරුහරුකම් ලබන්නට තරම් මම භාග්‍යවන්ත⁣ වූවා. ඒ හැම කෙනාටම බොහොමත් ම ස්තුතියි කියන්නට මම මෙය අවස්ථාවක් කරගන්නවා”.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post