ඩිනාරා කලාවට ආදරේ කරන්න ගත්තේ කොයි කාලේ ඉඳන්ද?
චූටිම කාලේ ඉඳලා මම රංගන ශිල්පිනියක් වෙන්න තමයි කැමැති වෙලා හිටියේ. පාසැල් වේදිකාව හරහා තමයි මම මේ ගමන පටන් ගත්තේ. මම ගියේ ලේඩිස් කොලේජ් එකකට. පොඩි කාලේ ගොඩාක් චිත්‍රපට බැලුවා. ඉංග්‍රීසි, දෙමළ, හින්දි, සිංහල චිත්‍රපට හැම එකක්ම බැලුවා. මම හිතන්නේ ඒකෙන් තමයි කලාවට ආදරය ඇති වුණේ. ඊට පස්සේ මම නාට්‍ය සහ රංගනය ඉගෙන ගත්තා. ලන්ඩනයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයේදී උසස් අධ්‍යාපනය ලැබුවේත් නාට්‍ය හා රංගනය පැත්තෙන්. ඒ ඔක්කොම කරලා ලංකාවට ඇවිල්ලා තමයි මගේ පළමුවැනි චිත්‍රපටය ‘ගාඩි‘ කියන චිත්‍රපටයට සම්බන්ධ වෙන්න මට ලැබුණේ.
රඟපාන්න ඕනේ එහෙම නැත්නම් කලාකාරිනියක් වෙන්න ඕනේ කියලා මුල්ම සිතුවිල්ල ඇති වුණේ කවදද ?
මට මතකයි කහපාට මල් තියෙන පිට්ටනියක කාජල් දුවගෙන එනවා ඇවිත් ශාරුක් ඛාන්ව බදාගන්නවා. ඒ ෆිල්ම් එක තමයි Dilwale Dulhania Le Jayenge.එතකොට මම ගොඩක් පොඩියි. හැබැයි මම හිතන්නේ එදා ඒ ෆිල්ම් එක තමයි මගෙ හිතට කලාවට එන්න ඕනේ කියන ආසාව ඇති කළේ.
ඩිනාරා කියන්නේ නිහඬව තමන්ගේ කොටස කරලා ඉන්න කෙනෙක් කිව්වොත්?
කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන්. මම මේ ආපු ගමන දිහා බැලුවහම ඒක හුඟක් සද්දේ දාගෙන ආපු ගමනක් නෙමෙයි. නිහඬව ශක්තිමත්ව ආපු ගමනක් කියලා මටත් හිතෙනවා. මගේ දේවල් සමාජ මාධ්‍යවල වුණත් මම නිතරම පළ කරන්නේ නැහැ. නමුත් මේ වෙද්දී මට හොඳ අධ්‍යක්ෂවරු යටතේ චිත්‍රපට ලැබිලා තියෙනවා. මගේ පළමුවැනි චිත්‍රපටය වූ ‘ගාඩි‘ චිත්‍රපටයට ප්‍රසන්න විතානගේ මහත්තයාගේ අධ්‍යක්ෂණය යටතේ වැඩ කරන්න ලැබුණු එක මගේ රංගන ජීවිතේට ලොකු ආශීර්වාදයක් වුණා. ප්‍රසන්න විතානගේ මහත්මයාගෙන් පටන් අරගෙන ඊට පස්සේ මහාචාර්ය ආරියරත්න අතුගල මහත්මයත් එක්ක, වර්තමානය ගත්තාම ‘විහඟ ප්‍රේමය‘ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සජීව පුෂ්පකුමාරත් එක්ක වැඩ කරන්න ලැබුණා. ඒ හරහා මම විදෙස් සිනමාව එක්ක ගනුදෙනු කරන අධ්‍යක්ෂවරුන් සමඟ වැඩ කළා
විහඟ ප්‍රේමය මේ දිනවල තිරගත වන නිසා ඒ නිර්මාණය ගැන කතා කළොත්?
සංජීව කියන්නේ නිර්භීත සිනමාකරුවෙක්. ඒ කියන්නේ සමාජයේ පෙනෙන්නෙ නැති පැත්තක් තමයි සංජීව තිරයට ගේන්නේ. මේ චිත්‍රපටයෙත් ‘බේබි ෆාම්ස්‘ ගැන තමයි කතා කරන්නේ. මම සංජීව එක්ක වැඩ කරන දෙවැනි සිනමා නිර්මාණය. මුලින්ම ‘ආසු‘ චිත්‍රපටය. එහි මම උදාරිගේ නංගි විදියට රඟපෑවා. මෙතැනදී විහඟ ප්‍රේමය තුළ මගේ භූමිකාව වුණේ නදී කියන චරිතය. නදී කියන්නේ අඩු වයසින් අම්මා කෙනෙක් වුණු කෙනෙක්. ඒ චරිතේ රඟපාද්දී මම අම්මා කෙනෙක් වෙන්න හිතලවත් නැහැ. එය මට අලුත්ම අත්දැකීමක් වුණා. ඒ එක්කම මේ තුළින් කතා කරන්නේ ළමයි විකුණන ජාවාරමක් ගැන වුණත් මේකේ අස්සේ ලස්සන ආදර කතාවකුත් තියෙනවා. මම හිතන්නේ අපේ ජීවිත දිහා බැලුවත් ගොඩක් අඳුරු මොහොතවල් තියෙනවා. නමුත් හැමෝටම ආදරය ඕනේ. හැමෝටම බලාපොරොත්තුවක් ඕනේ. ඒ ගැන ලස්සනට කතා වෙන, පවුලේ හැමෝටම නැරඹිය හැකි නිර්මාණයක් විහඟ ප්‍රේමය කියන්නේ.
ප්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා එක්ක එක රාමුවේ රඟපාන්න ලැබුණු අවස්ථාව ගැන මොකද හිතෙන්නේ
ලොකු ආශීර්වාදයක්. ඇය ඉතාම දක්ෂ නිළියක්. මේ ලැබුණු අවස්ථාව ගැන මම ගොඩාක් සතුටු වෙනවා. ඒක මගේ රංගන ජීවිතේට ලැබුණු ලොකු භාග්‍යයක්.
අකලංක ප්‍රභාෂ්වර ගැනත් කතා කරන්නම ඕනේ
ඔව්. මට මේ චිත්‍රපටය තුළ වැඩියෙන්ම රඟපාන්න තිබුණේ අකලංක එක්ක. අකලංක කියන්නේ විශිෂ්ට රංගන ශිල්පියෙක්. මට අකලංකව හම්බ වෙන්නේ වේදිකාවේදී. ඊට පස්සේ අපේ පළමුවැනි සිනමා නිර්මාණය තමයි විහඟ ප්‍රේමය. ඇත්තටම ඔහු කරපු අමිල කියන චරිතය තුළ ජීවත්වෙන එක ලේසි නෑ. හැබැයි අකලංක අමිල කියන චරිතය ලස්සනට නිරූපණය කළා.
මේ දවස්වල නියැළී ඉන්න නිර්මාණ මොනවද?
මේ දවස් ටිකේ රූගත කරන චිත්‍රපටය තමයි ස්නෝබර්ඩ්ස් (Snowbirds) කියන චිත්‍රපටය. Snowbirds කියන්නේ තරුණ සිනමාකරු ආකාෂ් සුනෙත් කුමාර විසින් අධ්‍යක්ෂණය කරන ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ක්‍රියාදාම සහ ත්‍රාසජනක (action-thriller) සිනමා නිර්මාණයක්. මගේ පළමුවැනි ඇක්ෂන් ෆිල්ම් එක වෙන්නෙත් Snowbirds. ඒ චිත්‍රපටයට කලින් කළා ඉසුරු ගුණතිලකගේ ‘කොල්ලෙක්‘ කියන කොමර්ෂල් ෆිල්ම් එක.
එන්න තියෙන නිර්මාණ මොනවද?
අනිෂ්ක ජයසිංහගේ ‘Beginning‘ චිත්‍රපටය, රුක්මල් නිරෝෂ්ගේ ‘අවාලු පැහැ වලාකුළක්‘ චිත්‍රපටයත් එළියට එන්න තියෙනවා. ඒ එක්කම මම පොඩි සර්ප්‍රයිස් රෝල් එකක් කළා. ඒක ගැන නම් දැන්ම කියන්න බැහැ.