ලොවම මවිත කළ Spider-Man අලුත්ම කතාව

gossiplanka image 1
 


Spider-Man (මකුළු මිනිසා) යනු ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් වසඟයට ගත් චරිතයකි. මුලින්ම අමෙරිකානු සුපිරි වීර චිත්‍රකතා මාලාවක (American Superhero Comic) චරිතයක් ලෙස පෙනී සිටි මකුළු මිනිසා සිනමාවට ඇතුළු වී එහි උඩු කරණම් ගැසීමට සමත් විය. සිනමා රසිකයින් ගේ හදවත් සොරාගත් මකුළු මිනිසාගේ නවතම සිනමා නිර්මාණය Spider -Man: Brand New Day මේ වන විට ආදායම් වාර්තා තබමින් ලොව පුරා තිරගත වේ.


වෛද්‍ය ස්ටීවන් ස්ට්‍රේන්ජ් ගේ මායාත්මක දැහැනින් අනතුරුව පීටර් පාර්කර් ගැන මතකය ලෝකයා වෙතින් වියැකී යයි. පාර්කර් සිය පෙම්වතිය මිචෙල් සහ හොඳම යෙහෙළිය නෙඩ් ලීඩ්ස් ගේ ආරක්ෂාව ගැන සිතා සිය අනන්‍යතාව හෙළි නොකරමින් ජීවත් වේ. ඉදිරි වසර හතරක කාල සීමාව තුළ පාර්කර් නිර්නාමිකව පෙනී සිටිමින් මකුළු මිනිස් වේශයෙන් නිව්යෝර්ක් නගරය ආරක්ෂා කරයි. එහිදී ඔහුගේ ප්‍රමුඛ සතුරන් වන මැක් ගාර්ගන් (Mac Gargan) සහ නින්ජාවරුන්ව පරාජය කිරීමට පාර්කර් සමත් වේ. ඒ ඔස්සේ රහස් පරීක්ෂක ජීන් ඩිවුල්ෆ් (Jean Dewolff) ගේ ප්‍රශංසාවට ලක් වේ. මෙම තත්ත්වය කණපිට හැරෙන්නේ ෆ්රෑන්ක් කාසල් (Frank Castle) විසින් සිරගතව සිටින ගාර්ගන්ව බේරා ගැනීම පිණිස ඔහුගේ ටෙලිපති බලය භාවිත කිරීම ආරම්භ කිරීමත් සමඟිනි.


සිනමාපටයේ තිර රචනය ක්‍රිස් මැකෙන්නා (Chris McKenna) සහ එරික් සෝමර්ස් (Erik Sommers) වෙතිනි. අධ්‍යක්ෂණය කළේ ඩෙස්ටින් ඩැනියල් ක්‍රෙටොන්(Destin Daniel Cretton) ය.


නළු නිළි කැල ලෙසින් ටොම් හෝලන්ඩ් (පීටර් පාර්කර්/Spider -Man ලෙස), සෙන්ඩේයා ( මිචෙල් ලෙස), ජෝන් බර්න්තෝල් (ෆ්රෑන්ක් කාසල් ලෙස) රංගනයේ යෙදේ.


චිත්‍රපටය රූගත කිරීම 2025 අගෝස්තු සිට දෙසැම්බර් දක්වා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ සහ එංගලන්තය පුරා සිදු කෙරිණි. එහිදී ඇතැම් දර්ශන ලෝ ප්‍රකට පයින්වුඩ් චිත්‍රාගාරය (Pinewood Studios) තුළ සිදු විය.


චිත්‍රපටයේ මුඛ්‍ය අංගයක් වූ Spider – Man ගේ ඇඳුම නිර්මාණය වූයේ ඇඳුම් නිර්මාණ ශිල්පී සැන්ජා මිල්කොවික් (Sanja Milkovic) අතිනි. මෙම ක්‍රියාවලිය සඳහා ටොම් හෝලන්ඩ් ද විශේෂ අවධානයක් යොමු කර තිබේ. එහිදී අරමුණ වූයේ මකුළු මිනිසා සඳහා වෙනදා නොමැති පරිණත පෙනුමක් ලබා දීමයි. බඳ පටිය සාපේක්ෂව පහළින් පිහිටුවා ඌනකාය දීර්ඝව පෙන්වීම සහ සපත්තු නිර්මාණය තුළින් කකුල් දිගට පෙන්වීම ඊට උදාහරණ වෙති.


සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂණය බ්‍රෙට් පෝලැක් (Brett Pawlak) සිදු කළේය. ඔහු අධ්‍යක්ෂක ක්‍රෙටොන් සමඟ මින් පෙර ව්‍යාපෘති කිහිපයකම සම්බන්ධ වූ නිර්මාණ සගයෙකි. චිත්‍රපටයේ තවත් විශේෂත්වයක් වූයේ හැකි සෑම විටම සටන් දර්ශන යථාවත් අයුරින් සිදු කිරීමයි. සටන් අධ්‍යක්ෂණය පෙන්ග් සෑන්ග් (Peng Zhang) වෙතිනි. ඒ සඳහා උත්තේජනය සපයා ඇත්තේ මාර්වල් වීඩියෝ ක්‍රීඩාවල ඇති ක්‍රියාදාම ජවනිකාය.


චිත්‍රපටයේ සංගීත නිර්මාපකයා මයිකල් ගියාචිනෝ (Michael Giacchino) ය. ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදීම මකුළු මිනිසා සිටින චිත්‍රපටවල සත්සර රටා සමඟ සම්බන්ධ වූවෙකි. නවතම චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ පීටර් පාර්කර් ගේ ජීවිතයේ අහිමිව ගිය අංග නිරූපණය කිරීම සඳහා මින් පෙර චිත්‍රපට වල භාවිත වූ ඇතැම් සංගීත ස්වර ඉවත්කර තිබීමය.


සිනමා පටයේ මංගල දර්ශනය පැවැත්වුණේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රංගශාලාවේදී (Dolby Theatre) ය. ඒ පසුගිය ජූලි 27 වැනිදාය. ජූලි 31 දින සිට චිත්‍රපටය ලොව පුරා තිරගත වීම ඇරඹිණි.


මේ වන විට චිත්‍රපටය ලොව පුරා තිරගත වීමෙන් උපයාගත් ආදායම ඩොලර් බිලියන 2 සීමාව පසුකර ඇත. මේ අනුව එතෙක් මෙතෙක් වැඩිම ආදායමක් ඉපැයූ Spider – Man චිත්‍රපටය, 2026 මේ දක්වා වැඩිම ඉපැයීමක් කළ සිනමාපටය සහ සිනමා ඉතිහාසයේ අටවැනි ඉහළම ආදායමක් ලබාගත් චිත්‍රපටය වශයෙන් Spider – Man: Brand New Day වාර්තා පොත් අලුත් කරමින් සිටියි.


මකුළු මිනිසා පළමුවෙන්ම පණ ලැබුවේ මාර්වල් චිත්‍රකතා සමාගම යටතේ ලෝ ප්‍රකට චිත්‍රකතා රචක සහ කතා සංස්කාරක ස්ටෑන් ලී (Stan Lee) ගේ පෑනෙන් සහ චිත්‍ර ශිල්පී ස්ටීව් ඩිට්කෝ (Steve Ditko) ගේ තෙලිතුඩිනි.


මකුළු මිනිසා සිනමාපටවල පෙනී සිටින්නේ 1977 වසරේ සිටය. පළමුව CBS රූපවාහිනී නාළිකාවේ ටෙලි චිත්‍රපටයක් විලසින් කලඑළි බැසි මකුළු මිනිසා පුළුල් තිරය වෙත ගෙන ඒමට සැලසුම් සකස් විය. චරිතයේ බුද්ධිමය දේපළ සම්බන්ධයෙන් පැවති නීතිමය ක්‍රියාමාර්ගවලින් අනතුරුව 1999 දී සෝනි චිත්‍රපට සමාගම සහ ඊට අනුබද්ධිත කොලොම්බියා (Columbia) සමාගම එක්වී මකුළු මිනිසාගේ චිත්‍රපට අයිතිය මාර්වල් සමාගම වෙතින් ඩොලර් මිලියන 7 කට මිලට ගැනීමට සමත් විය. පසුව සෝනි සමාගම මකුළු මිනිසාගේ චිත්‍රපට අයිතිය ආපිට මාර්වල් වෙතම පැවරීය. ඒ මකුළු මිනිසා මාර්වල් සිනමාත්මක විශ්වය (Marvel Cinematic Universe) තුළට අන්තර්ග්‍රහණය කිරීමේ කොන්දේසිය සමඟිනි.


ප්‍රධාන ධාරාවේ චිත්‍රපට පෞරාධිකාරයන් (Franchises) අනුව ගත් කල එදා මෙදා තුර ඉහළතම ආදායමක් උපයාගත් චිත්‍රපට මාලා අතර දෙවන තැන Spider -Man වෙත හිමිව තිබේ. ඒ සමස්ත ඉපැයීම ඩොලර් බිලියන 11ක සුවිසල් අගයක් සනිටුහන් කරමිනි. මීට අමතරව හොඳම දෘශ්‍ය ප්‍රයෝග (Best Visual Effects) සහ හොඳම සජීවිකරණය (Best Animation) සඳහා ඇකඩමි සම්මාන උලෙළේදී චිත්‍රපට මාලාව අවස්ථා කිහිපයකදීම සම්මානයට පාත්‍ර වී ඇත.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post