අවුරුදු පහකට පස්සේ සෙනාලි සිනමාවේ

gossiplanka image 1
 


ඔන්න ඉතිං කාලෙකට පස්සේ සෙනාලි ෆොන්සේකාව අපිට රිදී තිරයෙන් දකින්න ලැබෙනවා. ඒ අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කරනු ලබන එදා රෑ සිනමා නිර්මාණයේ ඇනට්ගේ චරිතයෙන්. ඉතිං කාලෙකට පස්සේ රිදී තිරයෙන් ඔබ හමුවට එන සෙනාලි වෙනුවෙන් මේ වෙලාවේ ‘මීවිත’ අතිරේකයෙන් ඉඩක් වෙන්කරන්න අපි අදහස් කළා.


සෙනාලි කොහොමද ඉතින්?


මේ දිනවල හොඳින් සතුටින් කලා ලෝකයේ වැඩකටයුතු එක්ක කාලය ගෙවිලා යනවා. ඉතිං නැවතත් සිනමාවේ සහ පුංචි තිරයේ රංගන වැඩකටයුතු එක්ක පොඩ්ඩක් විතර කාර්යබහුල වෙලා ඉන්නේ.


මේ දවස්වල රිදී තිරයෙන් දකින්න ලැබෙනවා?


ඔව්. මේ දවස්වල මම කලින් කරපු සහ අලුතෙන් කරපු සිනමා නිර්මාණ දැන් ආයෙත් එකින් එක රිදී තිරයේ ප්‍රදර්ශනය වෙනවා සහ සූදානමින් තියෙනවා කියලා ආරංචිය මටත් ලැබුණා. එතැනදී මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ ජීවිත කතාව පාදක කරගෙන නිර්මාණය වුණු එදා රෑ චිත්‍රපටය තමයි මුලින්ම තිරගත වෙන්නේ. එතැනින් පසුව ජැක්සන් ඇන්තනි මහත්මයා අධ්‍යක්ෂණය කළ එකගෙයි සොකරි චිත්‍රපටයත් නොවැම්බර් මාසයේ අන්තිමට හෝ දෙසැම්බර් මාසයේ මුල තිරගතවීමට නියමිතයි.


එදා රෑ චිත්‍රපටයේ ඇනට්ව මුණගැසුණේ කොහොමද?


ඇත්තටම එදා රෑ චිත්‍රපටය මට හම්බවෙන්නේ හරියට හීනයක් වගේ. හිතුවෙත් නැති විදිහට තමයි මට මේ නිර්මාණය හම්බවෙන්නේ. අරුණ ජයවර්ධන අධ්‍යක්ෂවරයා සමග නිර්මාණයක් කරන්න මට ගොඩාක් කාලයක ඉඳලා තිබුණු හීනයක්. සාමාන්‍යයෙන් මම රඟපාන්න ආසා අධ්‍යක්ෂවරුන්ගේ ලිස්ට් එකක් තියෙනවා. ඒ අධ්‍යක්ෂවරුන්ගේ ලැයිස්තුවේ අරුණ අයියාගේ නමත් තිබුණා. මේ නිර්මාණයේ කාස්ටින් ඩිරෙක්ටර් මෙවන් ලියනගේ තමයි මට මුලින්ම ජනවාරි 01 වැනිදා ආරාධනාව කරන්නේ. ඉතිං කාලෙකට පස්සේ ලැබෙන ආරාධනාවක්. ජනවාරි 01 වැනිදා ලැබෙන ආරාධනාවක් වගේම අරුණ අයියාගේ වැඩක් වගේම මිල්ටන් මල්ලවාරච්චිගේ වැඩක් හින්දා තමයි භාරගන්න හිතුවේ.


ඇනට් වෙනුවෙන් මොනවද කරපු කැපකිරීම්?


චිත්‍රපටයට ආරාධනාව ලැබිලා පිටපත සහ මේකප් ටෙස්ට් එකක් සඳහා මම අරුණ අයියවත් සුනෙත් අයියවත් මුණගැසෙන්න ගියා. ඒ අවස්ථාවේදී අරුණ අයියත් සුනෙත් අයියත් ඇනට්ගේ ඡායාරූපයක් පෙන්වලා කිව්වා මේ තමයි ඔයා රඟපාන චරිතයේ සැබෑ කෙනා කියලා. ඒ වෙලාවේ ඇඟේ හිරිගඩුත් පිපුණා. මම මේ අවුරුදු ගණනාවටම කරපු නිර්මාණ මනඃකල්පිත කතා. මට රෙෆරන්ස් එකක් දීලා ඔයා චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණය කරන්නේ මෙන්න මේ කෙනාව කියලා රූපයකින් පෙන්නුවහම මට


හිතාගන්න බැරිවුණා. පොඩි වෙලාවකට ඒ අත්දැකීම හරි අමුතු එකක් වුණා. මම ඒ චරිතය ගැන තොරුතුරු දැනගන්න මහන්සි වුණා. සුනෙත් අයියත් එක්ක වගේම අරුණ අයියත් එක්ක කතාබහ කරලා තිරයට අවශ්‍ය විදිහට චරිතය ගොඩනඟන්නේ.


සිනමාව, සිනමාව විදිහට ගොඩනැඟෙද්දී සිනමාව ඇතුළේ කලාව ඇතුළේ ඒ චරිතයට උපරිම සාධාරණයක් කරන්න තමයි මගේ උපරිම උත්සාහය තිබුණේ.


එදා රෑ චිත්‍රපටය නැරඹුවට පස්සේ මොකද හිතුණේ?


පිටපත කියවද්දිත් මට ඇහට කඳුළක් ආවා. හැබැයි ඊට පස්සෙ චිත්‍රපටය බලද්දී මම ඇතුළුව එදා දවසේ අපිත් එක්ක බලපු හැමෝටම අනිවාර්යයෙන්ම ඇහැට කඳුළක් ආවා. හරි ලස්සන හීනයක් වගේ චිත්‍රපටයක් තමයි මේක මගේ ජීවිතයට. නැවත වතාවක් අවුරුදු පහකට විතර පස්සේ තමයි මම මාව රිදී තිරයෙන් දකින්නේ. ඉතිං මට හරි සතුටුයි ඒ හින්දා. සිරිපැරකුම් නරඹලා පළමුවැනි දවසේ මට දැනුණ හැඟීම වගේ ඒ හා සමාන හැඟීමක් නැවතත් එදා රෑ චිත්‍රපටය නරඹලා ලැබුණා. මම ආපහු සිනමාවට අලුතෙන් ආපු කෙනෙක් විදිහට දැනෙන්න ගත්තා. චිත්‍රපය බලනකොට හරිම ලස්සන හීනෙක පැටලිලා ඉන්නවා කියන අදහසක් තමයි ආවේ. දැන් ඉතිං මෙතැනින් එහාට චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ට භාරයි. ඔවුන් තමයි කියන්න ඕනෑ ඔවුන්ට දැනෙන දේ.


රොෂාන් රවීන්ද්‍ර වගේ ප්‍රවීණයෙක් එක්ක වැඩ කරන්න ලැබුණු අත්දැකීම මොන වගේද?


රොෂාන් රවීන්ද්‍ර වගේ දක්ෂයෙක්, ප්‍රවීණයෙක් එක්ක වැඩකරන්න ලැබුණ අවස්ථාව මගේ රංගන ජීවිතයටත් හොඳ අවස්ථාවක්. මම රංගන ශිල්පිනියක් විදිහට ආසාකරන දෙයක් තමයි දක්ෂයෝ එක්ක වැඩකරනකොට ඔවුන්ගෙන් මගේ හැකියාව මට තවත් වැඩිදියුණු කරගන්න පුළුවන් කියලා. ඉතිං රොෂාන් අයියත් එක්ක වැඩකරනකොට ඔහු මේ චරිතයට කැපවෙන විදිහට දකිනකොට ඔහු චරිතය තුළ ජීවත්වෙනකොට මම හිතනවා මගේ කලා ජීවිතයට මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා.


සෙනාලිත් මිල්ටන්ගේ රසිකාවියක්ද?


අනිවාර්යයෙන්ම. මමත් මිල්ටන් මල්ලවාරච්චිගේ රසිකාවියක්. මොකද ඔහුගේ ගීත අපි පොඩි කාලේ ඉඳලම ඇහෙන ගීත. අපේ හිත්වල අපේ හදවතේ තියෙන ගීත. ඉතිං අනිවාර්යයෙන්ම අදවුණත් ඒ ගීතයක් ඇහෙද්දී අපිව වෙනම ලෝකයකට අරගෙන යනවා. අපේ රටේ මිනිස්සුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් මිල්ටන්ගේ ගීතවලට ආදරෙයි. ඉතිං ඒ ප්‍රතිශතයේ මමත් ඉන්නවා.


දිනේෂ් විතානඡායාරූප – shifter photography

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post