සත්‍ය කතා පුවතක් වටා නිර්මාණය වූ Room No 106 චිත්‍රපටය සාර්ථකව දින 50ක් තිරගත වීම නිමිත්තෙන්,
අද (16) වන ඉරුදින, විශේෂ ආරාධිතයින් සහ නළු නිළියන් වෙනුවෙන් දර්ශන වාර කීපයක් දවස පුරා මාලබේ ස්කයි ලයිට් සිනමා ශාලාවේදී පැවැත්වීමට නිෂ්පාදන අංශය කටයුතු සූදානම් කර ඇත. ඒ අතරතුර, එම සිනමා ශාලා පරිශ්‍රයේදීම, ක්ෂේත්‍රයේ ප්‍රවීණ සිනමා විචාරක හා විද්වතුන් පිරිසක් එක්ව ගෙන එනු ලබන සිනමා පටය පිළිබඳව විශේෂ කතිකාවක් සවස 3.00 සිට 5.00 දක්වා පැවැත්වෙන අතර, එම අවස්ථාවේදී චිත්‍රපටය නැරඹූ ඕනෑම ප්‍රේක්ෂකයෙකුට විද්වතුන්ගෙන් ප්‍රශ්න ඇසීමටද අවකාශය සලසා ඇත.
මෙරට අපරාධමය ඉතිහාසයේ මහත් ආන්දෝලනාත්මක ඛේදවාචකයක් ලෙස සැලකුණ, කොළඹ වේල්ල වීදියේ ජනාකීර්ණ ප්‍රදේශයක අතහැර දමා ගොස් තිබියදී හමුවූ ගමන් බෑගයක සඟවා තිබූ හිසක් නොමැති කාන්තා මළ සිරුර පිළිබඳව සිඳුවීම සිනමා පටය සඳහා පාදකව ඇත.
නිර්මාණවේදී සුරංග ද අල්විස් විසින් නිර්මාණය කරන ලද ‘Room No 106‘ චිත්‍රපටය මේ වන විට ප්‍රේක්ෂක ආකර්ෂණය හා අවධානය ඉතාමත් ඉහළින් දිනා ගනිමින් සාර්ථක අයුරින් දිවයින පුරා සිනමා ශාලාවන් රැසකදී තිරගතවේ.
මෙම සත්‍ය සිදුවීම පිළිබඳව සිදුකළ දීර්ඝ ගවේෂණයකින් පසුව, සුනෙත් මාලිංග ලොකුහේවා විසින් තිර පිටපත ලියූ මෙහි, බිමල් ජයකොඩි, ඩිස්නි රාජපක්ෂ, ශ්‍යාම් ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන, දමිතා අබේරත්න, ප්‍රියන්ත සිරිකුමාර, නයෝමි තක්ෂිලා, කළණ ගුණසේකර, ගීතිකා රාජපක්ෂ, අමිත්ත වීරසිංහ, ධනූ ඉන්නසිතම්බි, ජීවන් සප්තරංග, ඉසාන් මෙන්ඩිස් ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් සිය දායකත්වය දක්වා ඇත.