හේෂරාවි වරංගනා කියන්නේ වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රය ඔස්සේ ජනප්‍රියත්වයට පත් වූ නවක රංගන ශිල්පිනියක්. හේෂරාවි වරංගනා පුංචි තිරයට වගේම සිනමාවට එන්නද වාසනාව ලබා තිබේ. ඒ අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කරන ලද ‘එදා රෑ‘ චිත්‍රපටය හරහා. ඒ ගැන වගේම කලාවේ ඉදිරි නිර්මාණ ගැනයි මේ කතාබහ
කලාවට සම්බන්ධ වෙන්න මුලින්ම අවස්ථාව ලැබුණේ කොහොමද?
මම රංගන ක්ෂේත්‍රයට ආවේ පුංචි කාලේ එක්තරා මාධ්‍යකින් තිබුණු තරගයකින්. ඒ වෙනකොට මම ඉගෙනීම් කටයුතුවල නියැළුණා. ඒ නිසා වැඩිපුරම කලාවේ නියැළෙන්න බැරි වුණා.
ඔබ පාසල් ගියේ කොහෙද?
පාසල් ගියේ මාතර ඉල්ම කොලේජ් එකට. ඒක මුස්ලිම් පාසලක්. අපේ පාසලේ මුස්ලිම් සිංහල, දෙමළ මේ හැමෝම හිටියා. අපි අතරේ පුදුම සහෝදරත්වයක් තිබුණේ. පුංචි කාලේ ඉඳලා රණ්ඩුවෙවී යාළුවෙවි ලස්සන ජීවිතයක් ගත කළා.
එයාලා මාත් එක්ක පුදුම ආදරේකින් හිටියේ. මට වැඩියෙන්ම හිටියේ මුස්ලිම් යාළුවෝ ද සිංහල යාළුවෝ ද කියලා කවුරු හරි ඇහුවොත් කියන්න තියෙන්නේ වැඩිම යාළුවන් හිටියේ මුස්ලිම් අය කියලා. සිංහල අය උපරිම දහයක් විතර හිටියේ. මට ලස්සන පාසල් කාලයක් තිබුණේ.
එයාලගේ අවුරුදුවලට අපේ අවුරුදුවලට අපි එක්වෙලා වැඩ කළා. එයාල හරි ආසයි අපේ අවුරුදු උත්සවයට. පාසලේ හිටිය විදුහල්පතිවරුන් සහ ගුරු මණ්ඩලය මට ගොඩක් ආදරේ කළා.
මම තරගවලට ගිහිල්ලා ආවම එයාලා හරි සතුටින් ඒවා චැනල් එකේ බලලා මාත් එක්ක සතුට බෙදාගත්තා. මට හොඳ යාළුවෝ ටිකක් හිටියා ඒක ගෑනු පිරිමි කියල වෙනසක් නෑ . අදටත් ඒ යාළුවෝ මා එක්ක කතා කරනවා. මගේ ජීවිතයේ සුන්දරම අවධිය තමයි පාසල් කාලය. මම මගේ පාසලට ගොඩක් ආදරෙයි.
වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයෙන් ලැබුණු ප්‍රතිචාර රංගනයට පාර හැදුවේ කොහොමද?
වෙළෙඳ දැන්වීම් 16ක් විතර කරලා තියෙනවා.
රූපවාහිනි මාධ්‍යයේ ගිය මම රඟපාපු වෙෙළඳ දන්වීමක් නිසා මට රංගනයට ආරාධනා ලැබුණා. ඒ පටන් ගත්ත ගමන තමයි මේ දක්වා එන්නේ.
මෙතෙක් රඟපෑ චරිත අතරින් ඔබට වඩාත්ම සමීප හෝ අභියෝගාත්මක වූ චරිතය කුමක්ද?
මේ වෙද්දී මම ටෙලිනාට්‍ය කීපයක වගේම චිත්‍රපට කීපයකත් සාමාන්‍ය චරිත රඟපෑවා.
හැබැයි මටම අභියෝගයක් වෙන අභියෝගාත්මක චරිතයක් කියන එකක් මේ වෙනකම් නම් ලැබුණේ නෑ. මම හිතනවා ඉස්සරහට හොඳ අභියෝගාත්මක චරිතයක් ලැබේවි කියලා.
‘දෙමංඇල්ම‘ ටෙලිනාට්‍යයේ ඔබේ චරිතය මොකක් ද?
‘දෙමංඇල්ම‘ ටෙලිනාට්‍යයේ මම රඟදක්වන්නේ කේතකි කියන පුංචි දියණියකගේ මව විදියට.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ වැඩ කරද්දී ලැබෙන අත්දැකීම් මොන වගේද?
මම ප්‍රවීණයන්ට ගරු කරනවා. අපට එයාලගෙන් ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා. ඔවුන්ගෙන් ලැබෙන අවවාද ගුරුහරුකම් ගොඩක් වටිනවා. මම හරි කැමතියි ප්‍රවීණයන් සමඟ වැඩ කරන්න සහ එයාලගෙ අත්දැකීම් මගේ රංගන ජීවිතයට එක්කර ගන්න.
සිනමාවට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා නේද?
ඔව් මට සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථා කීපයක් ලැබුණා. ඒ ප්‍රියන්ත කොළඹගේ මහත්මයාගේ සහ අරුණ ජයවර්ධන මහත්මයාගේ සිනමා නිර්මාණවලට. දෙන්නම ඉතාමත් දක්ෂ අධ්‍යක්ෂවරු දෙන්නෙක්. විශේෂයෙන්ම ‘එදා රෑ‘ චිත්‍රපටය මගේ රංගන ජීවිතේ කඩඉමක් කිව්වොත් හරි. මම හරි ආසාවෙන් ඒ ලැබුණු චරිතය කළේ.
මම හිතනවා ‘එදා රෑ‘ චිත්‍රපටය ප්‍රේක්ෂකයෝ ඉතාමත් ආසාවෙන් නරඹයි කියලා.
‘එදා රෑ‘ චිත්‍රපටය මට ලොකු අත්දැකීමක් එකතු කළා. ‘එදා රෑ‘ චිත්‍රපට කණ්ඩායමට එක් වෙන්න ලැබීමම මගෙ වාසනාවක්.
ඉදිරි කාලයේදී ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබෙන අලුත් නිර්මාණ මොනවාද?
මේ වෙද්දී නිර්මාණ කීපයකටම ඇරියුම් ලැබුණා.
ඉතාමත් ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක මගේ ජීවිතේ ලොකු කඩඉමක් වෙයි. මම හරි ආසාවෙන් භාරගත්ත චරිතයක්. මම භාර ගන්න චරිතයට උපරිම දායකත්වය දෙනවා.
පෞද්ගලික ජීවිතයේ තොරතුරු කිව්වොත්?
අම්මයි, තාත්තයි, අක්කයි, අයියලා දෙන්නෙකුයි මට ඉන්නේ. එයාල මගේ කලා ජීවිතයට උදවු කරනවා.
පෞද්ගලික ජීවිතේ ගත්තම මම කරන්නේ මගේ ඉගෙනීම් වැඩකටයුතු කරගෙන යන ගමන් කලා කටයුතුත් කරගන්නවා. මම බොහෝම නිදහසේ කාලය ගත කරන කෙනෙක්.