“පහුගිය දවස්වල මට ටෙලි නිර්මාණ බොහොමයකට ආරාධනා ලැබුණා. නමුත් ඒ හැම එකකින්ම වගේ බලාපොරොත්තු වුණේ ලොකු බ්‍රදර්මයි. ලොකු බ්‍රදර්ලා එක් කෙනෙක් ඇති කියන එක මම තීරණය කරලා ඉවරයි. ඒ නිසා මං ඒ හැම එකක්ම ප්‍රතික්ෂේප කළා. මට ඕන විවිධ චරිත කරන්න. හිතාගන්නම බැරි කතාවක් ටෙලි නිර්මාණයේ චරිතය ඊට හාත්පසින්ම වෙනස් එකක් නිසා මං ඒක හරිම ආසාවෙන් භාරගත්තා. රංගන ශිල්පියෙක් විදිහට විවිධ චරිත කරන්න ඕන. මේක ලංකාවනේ. එකම චරිතයකට කොටු වුණු ගමන් ලේබලයක් වදිනවා. මං ආස නෑ එක එහෙම සීමාවකට කොටුවෙලා ලේබලයක් වෙන්න.
ඔය අතරේ තමයි නිවන්ත ප්‍රසාර අයියා මට ‘මීෂා‘ ටෙලි නිර්මාණයට ආරාධනා කරන්නේ. ඔහු මට කතා කරලා කිව්වේ “මල්ලි උඹ මට මේ වැඩේට ඕනමයි. උඹේ තියෙන දිනේකට හරි මම සූටිං කරනවා. මං උඹව වෙනස් කරනවා. මට උඹෙන් වෙනසක් ඕනේ. ඒ නිසා මං උඹව සම්පූර්ණයෙන්ම කඩනවා. ඒ වෙනස කරගන්න මට උඹව ඕනෙමයි“ කිව්වා. ඔහු කියපු විදිහට මාත් හරිම කැමැත්තෙන් ඔහුගේ ආරාධනාව පිළිගත්තා.
දේවින්දට කප්පම් රාජා ගැන තිබෙන්නේ මෙවැනි ආකල්පයකි.
“කප්පම් රාජා කියන්නේ විලන් කැරැක්ටර් එකක්. මීෂා ටෙලි පිටපත ලියන්නේ නිවන්ත අයියාමයි. ඔහු මාව මවාගෙනමයි මේ චරිතය ගොඩනඟලා තියෙන්නේ. ඔහු මූලිකවම කිව්වේ මට උඹව වෙනස්ම පැත්තකට ගන්න ඕන. මේක උඹ කරන්නම ඕන කියලා. අධ්‍යක්ෂවරයෙක් විදිහට ඔහු චරිතය විස්තර කළ ආකාරයට මටත් ගොඩක් ආස හිතුණා. හොඳ වීරයෙක් බිහිවෙන්න නම් හොඳ ප්‍රතිවීරයෙක් ඉන්නම ඕන කියන එක මං හැමදාම විශ්වාස කරන දෙයක්. මං හරිම කැමැතියි ප්‍රතිවීරයා වෙන්න. මටත් ඕන වුණා මගේ වෙනත් පැත්තක් පෙන්වන්න. ලොකු බ්‍රදර් කොමඩි චරිතයක් විදිහට ජනතාව පිළිගත්තට මං මීට කලින් ගොඩක්ම කරලා තියෙන්නේ සිරියස් චරිත. පිටකොටුවේ කප්පම් රාජා ගැන නිවන්ත අයියා මට හැම අවබෝධයක්ම ලබාදුන්නා. අපි ලොකුවට ගන්න උත්සාහ නොකළත් කප්පම් රාජා හරහා පොඩි තමින්නාන්ඩු, තෙළිඟු හැඩයකුත් ඇවිත් තියෙනවා. මං ගොඩක් දමිළ, තෙළිඟු, මලයාලම් චිත්‍රපට බලන කෙනෙක්. එයත් මට මේ චරිතය ගොඩනඟාගන්න යම්තාක් අත්දැකීමක් වෙන්න ඇති. මගේ චරිතය විකාශය වුණු පළවෙනි කොටස් කිහිපයෙන්ම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉදිරියටත් ගොඩක් හැලහැප්පීම් වෙන්න නියමිතයි. මීෂා හිතාගන්න බැරි විදිහට සාර්ථකව විකාශය වේවි කියලා හිතෙනවා.“
කුඩා කළ මාමා සමඟ ගිය පිටකොටුව සවාරි කප්පම් රාජා මවාගන්නට ලොකු රුකුලක් වූ බව දේවින්ද සිහිපත් කළේය.
“මගේ මාමා කළේ වාහන බිස්නස්. පොඩි කාලේ නිතරම ඔහු මාව පිටකොටුවේ පැත්තේ එක්ක යනවා. ඒ යන ගමන් පිටකොටුවේ පළමු හරස්විදිය, දෙවැනි හරස්වීදිය ගැන ලොකු කතන්දර කියලා දෙනවා. මුට්ට කරගහන නාට්ටාමි සහෝදරයෝ ගැන, කප්පම් ගන්න අය, කප්පම් මාෆියාවක් විදිහට කරගෙන යන අය ගැන, ඔවුන්ගේ හැසිරීම් ගැන මාමා මට හොඳ අවබෝධයක් ලබාදුන්නා. කප්පම් රාජාගේ චරිතය සම්පූර්ණයෙන්ම රූගත කෙරෙන්නේ පිටකොටුවේමයි. පරණ එළවළු බඩු ගබඩා තියෙන ජනාකීර්ණ සංකීර්ණ පරිසරයක. එක දවසට ලොකු සීන් ප්‍රමාණයකට යන්නත් බැහැ. තද අව්වේ හරිම වෙහෙසක් දරලා කරන නිර්මාණයක්. මුළු කණ්ඩායමම මේ සඳහා ලොකු සහායක් ලබා දෙනවා. චානුක ප්‍රබුද්ධ, මිෂෙල් දිල්හාරා, චතුරංග කොඩිතුවක්කු ඇතුළු ලොකු පිරිසක් ඉන්නවා. මේක ප්‍රේක්ෂකයන්ටත් ලොකු වෙනසක් වේවි කියලා හිතෙනවා. මේක ආදරය, ත්‍රාසය, භීතිය වගේ හැඟීම් එක්ක ගලායන වෙනස් කතා තේමාවක්. ප්‍රේක්ෂකයන්ට වෙනදට වඩා වෙනසක් දැනේවි. මම වීරයාට වඩා ප්‍රතිවීරයා වෙන්නයි ගොඩක්ම කැමැති. මොකද ප්‍රතිවීරයාට ප්‍රේක්ෂකයන්ගෙන් වෙනම ආදරයක් ලැබෙනවා. ගොඩක් වෙලාවට ළඟ සාධාරණය පේන්නේ පොඩි මනුස්සයාගේ දුක දැනෙන්නේ ප්‍රතිවීරයාටනේ. ඒකට මං කැමතියි. කාලෙකින් කැමැත්තෙන්ම භාරගත්ත චරිතයක්. මං කැමැතියි හැම චරිතයකම අයිකන් එකක් වෙන්න. පාට කුරුල්ලෝ බලද්දි ලොකු බ්‍රදර් ඉන්න ඕන. මීෂා බලද්දි කප්පම් රාජා ඉන්න ඕන. එහෙම නැතුව හැම කතාවෙන්ම එකම කෙනා පේනවා නම් ඒකෙන් වැඩක් නෑ. නළුවෙක් විදිහට එක චරිතයකින් තව චරිතයකට අංශය 360ක්ම කරකවන්නයි මං කැමැති. ගොඩක් අය අහනවා ආයෙ කොමඩි චරිතයක් කරන්නෙ නැද්ද කියලත්. පාට කුරුල්ලෝ අවසන් වුණහම නැවත ඒ ගැන සලකා බලනවා.“