‘තාප්පෙන් පැන්නා’ ටෙලිනාට්‍යයේ ‘ස්ටෙලා’ නම් අත්තම්මා ඇයයි. ප්‍රේක්ෂක ආදරය ලබමින් ‘ස්ටෙලා’ ට ජීවය දෙන විශිෂ්ට රංගනවේදිනී මාලනී වීරමුණි සිය නවතම ටෙලි රංගනය ගැන කීවේ මෙවැන්නකි.
“ධනංජය සිරිවර්ධන අධ්‍යක්ෂණය කළ ‘තාප්පෙන් පැන්නා’ ටෙලිනාට්‍යයේ ‘ස්ටෙලා’ කියන්නේ අත්තම්මා කෙනෙක්. ඇය සැමියා සමඟ ජීවත්වෙන්නේ. ප්‍රවීණ රංගධර විල්සන් ගුණරත්න තමයි මගේ සැමියට රඟපාන්නේ. මම හරිම ආසාවෙන් රඟපෑ චරිතයක්. ස්ටෙලා කියන්නේ විශ්‍රාමික විදුහල්පතිනියක්. පාසලේ සේවය කළ කාලයේ, දරුවන්ට උගන්වපු ආකාරයේ හැසිරීමකින්, විනයවත්භාවයකින් සාමාන්‍ය ජීවිතයේත් ජීවත් වන කාන්තාවක්. ස්ටෙලාට දුවක් ඉන්නවා ඩිලානි කියලා. ඩිලානිට දුවක් ඉන්නවා. ස්ටෙලා තමන්ගෙ මිනිපිරියට හරිම ආදරෙයි. ඒ මිණිබිරිය ගැන ස්ටෙලා ආත්තම්මා තමයි මවටත් වඩා සැලකිලිමත් වෙන්නේ. ඇය ගැන සොයාබලන්නේ. දුව මිනිපිරියව රට යවන්න හදද්දී ආත්තම්මා එයට විරුද්ධ වෙනවා. මේ චරිතය තවම සුළු වශයෙන් විකාශය වුණේ. ඉදිරියේදී මොන මොන වෙනස්කම් වේවිද කියන්න බැහැ. ඒ වගේම මගේ සැමියාට රඟපාන විල්සන් ගුණරත්නගෙනුත් ලොකු සහායක් ලැබෙනවා. සීන් එකක් අවසන් වුණාම මම ඔහුගෙන් නිතරම අහනවා මගේ රඟපෑම හොඳින් වුණාද කියලා.”
‘ස්ටෙලා’ චරිතයට තමන්ට ආරාධනය ලද ආකාරය ද මාලනී සිහිපත් කළාය.
“‘තාප්පෙන් පැන්නා’ අධ්‍යක්ෂ ධනංජය සිරිවර්ධන තමයි මට මේ චරිතයට ආරාධනා කළේ. ධනංජය ගැන මම හොඳින් දන්නවා. මම ඔහුට හරිම කැමැතියි. මීට පෙර මම ධනංජය සමඟ ටෙලිනාට්‍යවල රඟපා තිබෙනවා. එනිසා ඔහුගේ හැකියාව, දක්ෂතාව මම හොඳින්ම හඳුනනවා.”
මාලනී වීරමුණි රඟපෑ ‘දූවරු’ ටෙලිනාට්‍යය ගැනත් ඇය සතුටු සිතින් කතා කළාය.
“නාලන් මෙන්ඩිස්ගේ නිර්මාණ රැසකටම මම රංගනයෙන් දායක වුණා. ‘දූවරු, හිරු කුමරි, තරුකුමරි’ ‘ ඒ අතර විශේෂයි. ‘දූවරු’ ටෙලිනාට්‍යයේ මම රඟපෑ චරිතය නම් කිසිදා අමතක වෙන්නේ නෑ. මම හරිම වාසනාවන්තයි කියා සිතනවා එහිදී අයිරාංගණී සේරසිංහ, මාලිනී ෆොන්සේකා, යශෝධා විමලධර්ම යන තුන්දෙනා සමඟ රඟපාන්න ලැබීම නිසා. ඒක මට ලොකුම දෙයක්. ”
‘තාප්පෙන් පැන්නා’ ටෙලිනාට්‍යයේ ඇයට නවකයන් සමඟ ද රඟපෑමට සිදුවූවාය. නවක පිරිස පිළිබඳ ඇයට ඇත්තේ මෙවැනි හැඟීමකි.
“අලුත් අය හරිම දක්ෂයි. ‘තාප්පෙන් පැන්නා’ ටෙලියේ ප්‍රධාන චරිතය කරන්නේ අභිෂේක් ප්‍රමුදිත නමැති තරුණ දරුවෙක්. ඔහුත් අති දක්ෂයි, නිහතමානියි වගේම හරිම නිවුණු දරුවෙක්. අද නවක රංගන ශිල්පින් ගැන සතුටුයි. එයාලට කලාව ඉගෙන ගන්න ඕනෑකම තියෙනවා. නිතරම හැදෑරීම් කරනවා. ඒක විය යුතු දෙයක්. එසේම ඔවුන් ජ්‍යේෂ්ඨයන්ට ගරු කරනවා.
දැන් වගේ නොවෙයි ඉස්සර නම් මුලින්ම ටෙලිනාට්‍යයේ පිටපත ලැබුණා. ඒක වටිනවා. අපට එතකොට හොඳින් චරිතය වටහාගෙන එයට අනුගත වෙන්න පුළුවන්. දැන් කාලයේ යම් දර්ශනයක් රූගත කරද්දි එන හදගැස්ම වටහාගෙනයි පිටපත ලියන්නේ. අනික ඉස්සර මට පිටපත ලැබුණාම මගේ චරිතයට අදාළ ඇඳුම් පැලඳුම් මමමයි සකසාගන්නේ. මගේ ඇඳුම්, ආභරණ මම මට අදාළ චරිතයට බොහෝවිට ගන්නවා. කලින් පිටපත ලැබුණම චරිතය අපට වැඩිදියුණු කරගන්නත් පුළුවන්. නමුත් අද ඒක වෙනස් වෙලා. අද නිර්මාණ තාක්ෂණයෙන් බොහෝ දියුණු මට්ටමක තිබෙනවා. දක්ෂ කැමරා ශිල්පීන් ඉන්නවා. ඒත් අද නිර්මාණවල කතාවක් නැහැ. කතාවේ ගලායෑමක් නැහැ. ඒ කාලයේ බොහෝදුරට තිබ්බේ පවුලේ කතා. අද කලා අධ්‍යක්ෂණය අංශයෙන් වගේම බොහෝ අංශවල පිරිස හරිම පීඩනයකින් ඉන්නේ. ”
මාලනී වීරමුණි කලාවට ප්‍රවිෂ්ට වී ඇත්තේ 1964 මුල් භාගයේදීය. ඒ තම සැමියා වූ නාමෙල් වීරමුණි අධ්‍යක්ෂණය කළ ‘ගොළු බිරිඳ’ වේදිකානාට්‍යයෙනි.
“ඒ කාලයේ මම හරිම කෙට්ටුයි. එතකොට මට දුව ලැබෙන්න හිටියේ. 1964දී එකම දිනක කෙටි නාට්‍ය 02ක් වේදිකාගත වුණා. එකක් නාමෙල් වීරමුණි අධ්‍යක්ෂණය කළ ‘ගොළු බිරිඳ’. අනික ‘පරාස්ස’ නාට්‍යය. එහිදී ‘ගොළු බිරිඳ’ නාට්‍යයේ ගොළු ගැහැනියක් ලෙස මම රඟපෑවා.
ඒක තමයි මගේ මුල්ම රඟපෑම. ටෙලිනාට්‍යවලදී නම් ප්‍රියංකර රත්නායක සමඟ රඟපෑ ‘හිරු කුමරි’ මගේ මුල්ම ටෙලිනාට්‍යය. පාසලේදී නම් රඟපාලා තියෙනවා. චිත්‍රපට නම් එකයි රඟපෑවෙ. ඒ සේන සමරසිංහගේ චිත්‍රපටයක්. එහි නාමෙලුත් රඟපෑවා. එහි මාලිනීගේ මව ලෙස රඟපෑවා.”
නිර්මාණයක් භාරගැනීමේදී ඇය සලකා බලන කරුණු ගැන කීවේ මෙසේය.
“මුලින්ම මම බලන්නේ මොන වගේ චරිතයක් ද, ඒක මට උචිතද නැද්ද කියලයි. රඟපෑමක් වුණත් ඒක හිතට එකඟව කරන්න ඕනේ. එක් අධ්‍යක්ෂවරයකුගේ ටෙලිනාට්‍යයක මට ලැබුණු චරිතය හා සමානම චරිතයක් ඔහුගේ අනෙක් ටෙලිනාට්‍යයේත් මට ලැබුණා. ඒකේ විවිධත්වයක් නැහැනේ. ඒක මගේ හිතට හරි නෑ. ඒ නිසා මම ඒක භාරගත්තේ නැහැ.“
නාමෙල් වීරමුණි, මාලනී වීරමුණි දෙදෙනාගේ එකතුවෙන් නිර්මාණය වූ නාමෙල් _මාලනී පුංචි තියටර් රඟහල ගැන ද කතා කරන්නට අමතක නොකළාය.
“2002 දෙසැම්බර් 13 දින තමයි අපේ පුංචි තියටර් එකට මුල්ගල් තිබ්බේ. කලාවට තිබෙන ආදරය නිසයි මෙය නිර්මාණය කළේ. මේක නාමෙල්ගේ සිහිනයක්. මම ඔහුගේ බිරිය ලෙස ඒ සිහිනය ඉටු කළා. තවමත් ඉටු කරමින් ඉන්නවා. අදටත් මෙහි වේදිකා නාට්‍යය පෙන්වනවා. සති අන්තයේ තමයි පෙන්වන්නේ. අද මේ තියටර් එක බොහෝම අමාරුවෙන් කරගෙන යන්නේ. රජයෙන් හෝ වෙන කිසියම් හෝ ආයතනයකින් අපට උදව්වක් නැහැ. ලයිට් එකක් කැඩුණොත්, වායු සමීකරණ කැඩුණොත් ඒවාට යන වියදම් දරාගන්න අමාරුයි. අද ආර්ථිකයත් එක්ක අපේ පුංචි තියටර් එක ගොඩාක් අමාරුවෙන් අපි පවත්වාගෙන යන්නේ.”
සිය ආදරණීය සැමියා ගැන මාලනී වීරමුණි සංවේදී වූයේ මෙලෙසිනි.
“නාමෙල් කියන්නේ හරිම හොඳ කෙනෙක්. ඔහු කාගේවත් හිත රිදෙන්න දෙයක් කියන්නේ නැහැ. කිසි දෙයකට කෑගහන්නේ නැහැ. ඉස්සරනම් ටිකක් තරහ යනවා. ඔහු හරිම උගත් තැනැත්තෙක්.
මම මගේ ජීවිතයට වඩා ඔහු ගැන සොයාබලනවා. ඔහුගේ සිහින එකිනෙක ඉටු කළ මම, බිරියද ලෙස අදටත් ඒ යුතුකම ඉටුකරමින් ඉන්නේ. කාන්තාවක් වුණාම පොසිටිව් මානසිකත්වයෙන් ඉන්න ඕනේ. මම නම් අදටත් එහෙමයි. අපේ රටේ බොහෝ කාන්තාවන් වියපත් වීමත් එක්ක නෙගටිව් විදිහට සිතන්නේ. මම කියන්නේ අපි සෑම දෙයක්ම ධනාත්මකව දකින්න ඕනේ කියලයි.”