මනීෂා කොයිරාලා පිළිකා රෝග විනිශ්චයෙන් පසු මුහුණ දුන් බියජනක අත්දැකීම්

gossiplanka image 1
 

නේපාලයේ නොර්වික් ජාත්‍යන්තර රෝහලේදී තමාට සිව්වන මට්ටමේ ඩිම්බකෝෂ පිළිකාවක් වැළඳී ඇති බවට වෛද්‍යවරුන් විසින් හෙළි කළ රාත්‍රිය සිය ජීවිතයේ අතිශයින්ම බියජනක සහ හුදකලා වූ අවස්ථාව වූ බව ප්‍රකට බොලිවුඩ් නිළි මනීෂා කොයිරාලා පවසයි.


එම රෝහල් කාමරය තුළ තමා තනි වූ මොහොතේ මරණය අසළටම පැමිණ ඇති බවක් හැඟී ගිය බවත්, එය කිසිදු ආලෝකයක් නොමැති අඳුරු සහ බිහිසුණු අත්දැකීමක් වූ බවත් ඇය සිහිපත් කළාය.


පිළිකා රෝගීන්ට මුහුණපෑමට සිදුවන දැඩි හුදකලා භාවය සහ මානසික පීඩනය මෙම අත්දැකීම හරහා තමාට තදින්ම අවබෝධ වූ බවත්, එය කිසිදු මිනිසෙකුට විඳදරාගත නොහැකි තරම් බිහිසුණු කාල පරිච්ඡේදයක් බවත් ඇය සඳහන් කළාය.


ජීවිතය සහ මරණය අතර සටනින් ජය ලබා තමාට ලැබුණු දෙවන ජීවිතයත් සමඟම, ජීවිතයේ අනවශ්‍ය සහ වැදගත් නොවන දෑ සම්පූර්ණයෙන්ම බැහැර කිරීමට කටයුතු කළ බව ඇය ප්‍රකාශ කළාය.


ස්වභාවධර්මය සමඟ කාලය ගත කිරීම, සැබෑ මිතුරන් ඇසුරු කිරීම සහ ජීවිතය උපරිමයෙන් විඳිමින් තවදුරටත් ජීවත්ව සිටීම පිළිබඳව කෘතඥ වීම වර්තමානයේදී තම ප්‍රමුඛතාවය වී ඇති බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.


අතීතයේදී සති අන්ත හෝ නිවාඩු නොමැතිව දිනකට පැය දහඅටක් පුරා එකවර චිත්‍රපට තුනක හෝ හතරක වැඩ කටයුතුවල නිරත වෙමින් දැඩි ලෙස වෙහෙසට පත්ව සිටි බව මනීෂා සිහිපත් කළාය.


කෙසේ වෙතත්, ප්‍රතිකාර ලබන සමයේදී ලොව පුරා සිටින ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු ප්‍රාර්ථනා සහ ආදරය හේතුවෙන් තමා කළ කලා සේවයේ සැබෑ වටිනාකම තමාට වැටහුණු බව ඇය පැවසුවාය.


නිව්යෝර්ක් නුවර පිහිටි මෙමෝරියල් ස්ලෝන් කෙටරින් පිළිකා මධ්‍යස්ථානයේදී සාර්ථක ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව, ඇය 2013 වසරේදී යළිත් වරක් කලා ක්ෂේත්‍රය වෙත පිවිසියේය.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post