දින දොළහකදී කෝටි 241ක් ඉපයූ Drishyam 3

gossiplanka image 1
 

Georgekutty යනු කේබල් රූපවාහිනී සේවයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකි. ඔහු බිරිය රානි, දියණියන් දෙදෙනා වන අන්ජු හා අනු සහිත ආදරණීය කැදැල්ලක ආරක්ෂකයාය. තම පවුලට පමණක් දෙවැනි වන තවත් ආදරයක් ඔහුට ඇත. ඒ සිනමාව කෙරෙහි දක්වන අධික ඇල්මයි.


නමුදු පවුලේ සාමය බිඳීයන සිදුවීමකින් සියල්ල කණපිට හැරේ. අන්ජු අතින් තමන්ට බලහත්කාරකම් කිරීමට පැමිණෙන Varun නමැති තරුණයා මියයයි. තම පවුල ආරක්ෂා කිරීමට පෙරට එන Georgekutty විසින් Varunගේ සිරුර සඟවයි. මේ අතරතුර සිය ආදරණීය පුත්‍රයාගේ අතුරුදන්වීම සමඟ කම්පනයට පත් වන IGP Geetha Prabhakar ගේ මූලිකත්වයෙන් විමර්ශන ඇරඹේ. පොලිසියේ තාඩන පීඩනවලට මැදිවන Georgekutty සිය පවුල බේරාගැනීම සඳහා තම බුද්ධිය මෙහෙයවයි. නිසි පාසල් අධ්‍යාපනයක් නොලද ඔහුට එහිදී සහයට පැමිණෙන්නේ සිනමාපට නැරඹීමෙන් වැඩිදියුණු කරගත් සාමාන්‍ය දැනුමයි.


මේ Drishyam චිත්‍රපට මාලාවේ පසුබිම් කතාවයි.


මෙම සිනමාවලියේ තෙවන දිගහැරුම ඉකුත් මැයි මස 21 වන දින සිට ලොව පුරා රිදී තිරයන් වර්ණවත් කිරීම ආරම්භ කළේය. විශේෂත්වයක් වන්නේ පළමු දින දොළහ ඇතුළත ලොව පුරා තිරගත කිරීමෙන් ලැබූ ආදායම ඉන්දියන් රුපියල් කෝටි 241 ක අගයකට පැමිණීමය. ඒ අනුව Drishyam 3 එතෙක් මෙතෙක් වැඩිම ආදායම් ලැබූ මලයාලම් චිත්‍රපට කිහිපය අතරට එක් වීමේ වරම් ලබා ගනියි.


Drishyam 2 අවසාන වී වසර පහක් ගතවූ තැන Georegektty ගේ දිවිය සාමකාමී ලෙස ගෙවෙමින් පවතී. ඔහු තම අතීත කතාව තමන් නිපදවන ලද සිනමාපටයක් තුළට සාර්ථක ලෙස එබ්බවීමෙන් අනතුරුව සිය පවුල සමඟ සතුටින් ජීවත් වේ. මෙය දෙදරා යන්නේ මාධ්‍යවේදීන් දෙපළක් වන Yami සහ Rony විසින් Varunගේ මියයාම හා බැඳුණු සිද්ධි ගැන ගවේෂණයක යෙදීම ආරම්භ වීමත් සමඟිනි. ඔවුන් දෙදෙනා Varun ගේ අතුරුදන් වීමත් Georgekutty නිපදවන ලද චිත්‍රපටයේ කතාවත් අතර සබඳතාව සැසඳීමට උත්සාහ කරයි. නමුත් උක්ත සිද්ධි මාලාව සහ චිත්‍රපටය අතර සම්බන්ධතාවක් ඇති බව පිළිගැනීම Georegektty ප්‍රතික්ෂේප කරයි. ඔබට කතාවේ ඉතිරිය සඳහන් නොකර සිටින්නේ මෙතෙක් සිනමාපටය නරඹා නොමැති රසිකයින්ට අසාධාරණයක් විය හැකි බැවිනි.


Drishyam 3 හි තිරපිටපත සහ අධ්‍යක්ෂණය Jeethu Joseph ගෙනි. Ashirvad Cinemas සමාගම වෙනුවෙන් චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ Antony Perumbavoor ය. කැමරාව මෙහෙයවීම Satheesh Kurup, සංස්කරණය V.S Vinayak, සංගීතය Anil Johnson යනාදී ලෙස ප්‍රධාන ශිල්පීන් නිෂ්පාදනය පසුපස සිටිති.


මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ දකුණු ඉන්දීය සුපිරි නළු Mohanlal ය. මීට අමතරව Rani ලෙස Meena, Anju ලෙස Ansiba Hassan, Anu ලෙස Esther Anil සිය රංගනය මුසු කරද්දී Geetha ගේ චරිතයට පණ පොවන්නේ Asha Sharath විසිනි.


Drishyam 2 මුදා හැරීමෙන් පසු එහි තෙවන කොටසක් නිපදවිය හැකි දැයි Mohanlal විමසා ඇත. එහිදී තම සිතෙහි ඒ වන විටත් ඇදී තිබූ තෙවන කොටසකට අදාළ උච්චස්ථානයක් (Climax) සම්බන්ධයෙන් Joseph විසින් Mohanlal ට පවසා ඇත. ඊට Mohanlal ගේ කැමැත්ත හිමි වීමත් සමඟ තිරපිටපතට අදාළ වර්ධනය කිරීම ඇරඹිණි.


රූගත කිරීම් ඇරඹුණේ 2025 සැප්තැම්බර් 22 දිනය. ඒ කේරළයේ Ernakulam දිස්ත්‍රික්කයේ Poothotta හි පිහිටි Sree Narayana නීති විද්‍යාලයේදීය. මීට අමතරව Thodupuzha, Vagamon සහ Thiruvalla යන ප්‍රදේශවලදීද රූගත කිරීම් සිදු විය. රූගත කිරීම් නිමාවූයේ 2025 දෙසැම්බර් 02 දිනය. කලින් සූදනම් කර තිබුණේ සිනමාපටය 2026 අප්‍රේල් මස 21 වන දින මහජන ප්‍රදර්ශනය සඳහා මුදාහැරීමටය. මෙයට ඉරාන යුද්ධය හරස් වූ බැවින් මැයි මස 21 වන දින දක්වා කල් ගියේය. එම දිනය සිනමාපටයේ ප්‍රධාන භූමිකාව හොබවන Mohanlal ගේ උපන්දිනය වීමද සුවිශේෂී කරුණකි. Drishyam 3 යනු විචාරකයින් වෙතින් මිශ්‍ර ප්‍රතිචාර ලද සිනමාපටයකි. The Hollywood Reporter India සගරාවේ Vishal Menon පවසා තිබුණේ Drishyam 3 ඔස්සේ චිත්‍රපට ත්‍රිත්වය වඩාත් යෝග්‍ය අවසානයක් කරා ගෙනැවිත් ඇති බවයි. සාම්ප්‍රදායික ත්‍රාසජනක කථාවකින් (Traditional Thriller) ඔබ්බට ගොස් සදාචාරාත්මකභාවය ගැන සංකීර්ණ වියමනක් ගෙතීමට අධ්‍යක්ෂවරයා සමත්ව ඇති බව ඔහු වැඩිදුරටත් පවසා තිබිණි.


මීට වෙනස්ව යමින් Mid-Day හි Athulya Nambiar පවසා තිබුණේ කතාවේ එන කරකැවුම් (Twist) සහ හැරවුම් (Turn) සැලකූවිට ඒවා ප්‍රථම සිනමාපට ද්විත්වයට සාපේක්ෂව සාධනීය මට්ටමක නොමැති බවයි.


Drishyam ලොව පුරා භාෂා ගණනාවකට නිල වශයෙන් ප්‍රතිනිර්මාණය වූ චිත්‍රපට මාලාවකි. හින්දි, දමිළ, තෙළිඟු, කන්ණඩ, සිංහල මෙන්ම චීන මැන්ඩරීන් ද ඒ අතර වේ. ධර්මයුද්ධය නමින් ලංකාවේ සිදුකෙරුණු ප්‍රතිනිර්මාණය මෙරට ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැලඳ ගත්හ. ඉදිරියේදී ඉංග්‍රීසි, කොරියන් සහ ස්පාඤ්ඤ බසින් කෙරෙන ප්‍රතිනිර්මාණයන්ද දැනටමත් සැලසුම් කර ඇත.


Drishyam නිකුත් වීමට පෙර මලයාලම් චිත්‍රපට රැඳී තිබුණේ අඩු ඉපැයුම් පරාසයක් තුළය. මෙම තත්වය කණපිට හරවමින් ඉන්දීය රුපියල් කෝටි 50 සීමාව ඉක්මවූ ප්‍රථම මලයාලම් චිත්‍රපටය වශයෙන් Drishyam (2013) අබිසෙස් ලැබීය. එය අනෙක් අතට උත්තර ඉන්දීය ප්‍රධාන ධාරාවෙන් පරිබාහිරව චිත්‍රපටවලට වාණිජ සාර්ථකත්වයක් ලැබිය නොහැකි බවට තිබූ දුර්මතය බිඳ දැමීමකි.


සිනමාලෝලීන්ට Drishyam හි හතරවන කොටසක් ගැන බලාපොරොත්තු තබාගත හැකිද? ඒ ගැන අධ්‍යක්ෂ Joseph විසින් දැනටමත් ප්‍රකාශයක් නිකුත් කර ඇත. රූපවාහිනි වැඩසටහනකට එක් වෙමින් ඔහු පවසා තිබුණේ තමා මුලින් අදහස් කර තිබුණේ Drishyam 3 ඔස්සේ Georgekutty ගේ කතාවට නැවතීමේ තිත තැබීමට බවය. නමුත් සිනමාපටය ගැන විවෘත වී ඇති උද්‍යෝගිමත් සාකච්ඡා වට සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර හේතුවෙන් මෙම චිත්‍රපට මාලාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට තමා අදහස් කරන බව ඔහු පවසා ඇත.


Drishyam හි අසාමාන්‍ය සාර්ථකත්වය ගැන විමසූ කළ අපිට එක් නිගමනයක් කරා එළඹිය හැකිය. එනම් කොතරම් තාක්ෂණය වැඩි දියුණු වුවද, කොතරම් නිර්මාණ කරලියට පැමිණියද, හොඳ කතාන්දර ඇසීම සඳහා ප්‍රේක්ෂකයා තුළ ඇති නොනිමෙන ආශාව දිගටම පවතින බවය.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post