සමාජ මාධ්‍ය සහ කෘතිම බුද්ධි තාක්ෂණය ඔස්සේ තම නම, රූපය සහ අනන්‍යතාවය අවභාවිත වීම වැළැක්වීම සඳහා බොලිවුඩ් නිළි ජාන්වී කපූර් දිල්ලි මහාධිකරණය හමුවේ නීතිමය පියවර ගෙන තිබේ.
ඇයගේ නීතිඥ මණ්ඩලය විසින් අසභ්‍ය අන්තර්ගතයන්, ඩිප්ෆේක් දර්ශන, පෝර්නෝග්‍රැෆි සහ අවසරයකින් තොරව වෙළඳ දැන්වීම් සඳහා ඇයගේ රූපය භාවිතා කරන ලද යූ.ආර්.එල්. හාරදහසකට ආසන්න ප්‍රමාණයක් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
ප්‍රසිද්ධ පුද්ගලයින් පිළිබඳ සමාජ මාධ්‍යවල සාකච්ඡා කිරීම, විවේචනය කිරීම සහ උපහාසයට ලක් කිරීම සාමාන්‍ය දෙයක් බැවින්, සියලුම රසික පිටු සහ විවේචනාත්මක අදහස් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට අධිකරණය එකඟ වී නැත.
ඒ අනුව, නීතිය උල්ලංඝනය වන අන්තර්ගතයන් නිවැරදිව හඳුනා ගැනීම සඳහා අදාළ යූ.ආර්.එල්. තොගය අසභ්‍ය අන්තර්ගතයන්, පෞරුෂත්වය වාණිජමය ලෙස අවභාවිත කිරීම සහ නිෂ්පාදන අලෙවි කිරීමට නම වැරදි ලෙස භාවිතා කිරීම යන කාණ්ඩ තුන යටතේ වර්ගීකරණය කරන ලෙස අධිකරණය ඇයගේ නීතිඥ මණ්ඩලයට නියෝග කර ඇත.
අද වන විට කෘතිම බුද්ධිය සහ ඩිප්ෆේක් තාක්ෂණය පුළුල් වීමත් සමඟ බොලිවුඩ් නිළියන් තම කීර්ති නාමයට සහ වාණිජමය වටිනාකමට සිදුවන හානි වළක්වා ගැනීම සඳහා අධිකරණයේ පිහිට පැතීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.