හොලිවුඩ් තරු පිරිවරාගෙන ලන්ඩන් නුවර අතිඋත්කර්ෂවත් විදිහට පැවැත්වුණු Spider-Man: Brand New Day චිත්‍රපටයේ මංගල දර්ශනය ගැන මේ දවස්වල ලෝකයම කතා වෙනවා.
ලොව පුරා ප්‍රසිද්ධ තාරකාවන් රැසක්ම මිල අධික, උසස් මට්ටමේ ගවුම් සහ විලාසිතාවලින් සැරසිලා මේ රතු පලස හැඩ කරන්න ඇවිත් හිටියා.
හැබැයි මේ හැමෝම අස්සේ එදා රාත්‍රියේ කැමරා කාච සියල්ලම වගේ එකපාරටම නතර වුණේ වෙනස්ම විදිහේ විලාසිතාවකටයි. ඒ තමයි අතිශය අපූරු 'Spidey Saree' එක!
බටහිර ගවුම් සහ සූට්ස් අස්සේ රතු පලසට අමුතුම හැඩයක් ගෙනාපු මේ අපූරු සාරිය ඇඳගෙන හිටියේ ලන්ඩන් නුවර පදිංචි රූපලාවන්‍ය ශිල්පිනියක සහ Beauty content creator කෙනෙක් වන අතිෆා අර්ෂාඩ් (Atifa Arshad).
මෙම සාරිය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවෙන්නේ ලන්ඩනයේ පදිංචි ලෙබනන ජාතික මෝස්තර නිරූපණ ශිල්පිනියක් වන රීටා කරන්බාච්ට (Rita Qaranbach). ඇය විසින් මේ කළු පැහැති සාරිය පුරාම ස්පයිඩර් මෑන්ගේ මකුළු දැල් රටාව රතු පැහැති එම්බ්‍රොයිඩර්වලින් ඉතා ආකර්ෂණීය විදිහට සකසලා තිබුණා.
මේකේ තියෙන අනිත් විශේෂත්වය තමයි, මේ සාරිය මසා නිමකරලා තියෙන්නේ අතිෆාගේ පාකිස්තානයේ ඉන්න පවුලේ ඇඳුම් මසන්නා (Family Tailor) විසින් වීම.
අතිෆාගේ මේ නිර්මාණාත්මක සාරියට රතු පලසේදී විතරක් නෙවෙයි, සමාජ මාධ්‍ය හරහාත් ලොකු ප්‍රතිචාරයක් ලැබෙමින් පවතිනවා. සුප්‍රකට රූපලාවන්‍ය හා විලාසිතා ශිල්පියෙක් වන ලෝ රෝච් (Law Roach) පවා අතිෆාගේ මේ අපූරු විලාසිතාව අගය කරලා තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් එක්කර තිබීමත් විශේෂත්වයක්.
චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළි යුවළ වන ටොම් හොලන්ඩ් (Tom Holland) සහ සෙන්ඩෙයා (Zendaya) ගැනත් කතා නොකරම බැහැ. එයාලත් ස්පයිඩර් මෑන් තේමාවට ගැලපෙන විදිහට ලස්සනටම සැරසිලයි හිටියේ.
සෙන්ඩෙයාගේ විලාසිතාව: ඇය Tamara Ralph සන්නාමයේ සුදු පැහැති දිගු ගවුමකින් සැරසී සිටි අතර, එහි පිටුපස රන් පැහැති මකුළු හැඩැති බ්‍රෝච් (spider brooch) එකක් පළඳලා තිබුණා.
ටොම්ගේ විලාසිතාව: ටොම් හොලන්ඩ් තමන්ගේ ගෙල පළඳනාවේ (neck tie) වර්ණය වෙනස් වන සුළු අපූරු මකුළු හැඩැති බ්‍රෝච් එකක් පළඳිමින් රතු පලසට වෙනස්ම ආලෝකයක් ගෙනාවා.
කොහොම වුණත්, හොලිවුඩයේ දැවැන්ත තරු පිරිවරාගත්තු මේ මංගල දර්ශනයේදී දකුණු ආසියාතික අනන්‍යතාවය විදහාපාන "සාරියක්" මේ විදිහට ලෝකයේම අවධානය දිනාගැනීම නම් ඇත්තටම ආඩම්බරයක්!